History

Thursday, 6 April 2017

රනිල් අගමැතිකමින් ඉවත් කරමු  


රනිල් අගමැතිකමින් ඉවත් කරමු



දැනට තිබෙන තත්වය අනුව මේ ආණ්ඩුව පෙරළා දැමීමට පුළුවන් වන්නේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්. විප්ලව, හර්තාල්, වැඩ වර්ජන ආදිය බොරු කයිවාරු පමණයි. මෙරට විප්ලවයකින් පසු ඇති කෙරෙන්නේ අනුර කුමාරගේ ආණ්ඩුවක් ද?  නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ ආණ්ඩුවක් ද? එයට කලින් විජේවීරගේ මරණය ගැන යුද්ධාපරාධ චෝදනාවක් ඉදිරිපත් කිරීමට ඒ පක්‍ෂවලට පුළුවන් ද?




රනිල් ඉවත් කරන්නේ කෙසේ ද? අද දේශපාලනයේ ඇති ප්‍රධාන ම ප්‍රශ්නය එයයි. නව ව්‍යවස්ථාව, බැඳුම්කර මගඩිය, පළාත් පාලන මැතිවරණ ආදිය කැරකැවෙන්නේ මේ ඊනියා මිස්ට ක්ලීන් වටා. ඔහු ඉවත් කිරීමට ව්‍යවස්ථාව යොදා ගන්නේ කෙසේ ද? පැහැදිලි ව ම ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ නායකයන් මෛත්‍රිපාල කණ්ඩායම සමග එක් වී රනිල් ඉවත් කිරීමට සූදානම් නැහැ. වාසුදේව හැරෙන්නට වෙනත් අයකු ඒ ගැන කතා කරන්නේවත් නැහැ.



ඒ වෙනුවට ඔවුන් කියන්නේ ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමටවත් අගමැතිගෙන් නාසා බැරිය කියා. ඔවුන් කියන්නේ භ්‍රෙෂ්ඨාධිකරණයට යමක් අතපසු වී අගමැතිගෙන් ඇසිය යුතු ය යන වගන්ති එසේ ම තිබීමට කටයුතු කළ බව ය. මෙය පිළිගත හැකි නිදහසට කරුණක් නො වෙයි. අද රනිල්ට අභියෝගයක් වීමට ඒකාබද්ධ විපක්‍ෂයට බැහැ කියන කරුණ ප්‍රසිද්ධ වේගෙන යනවා. එය එතරම් හොඳ තත්වයක් නො වෙයි.



අද බොහෝ දෙනා මන්දොත්සාහි කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බවක් පෙනෙනවා. ඔවුන් දහනවවැනි සංශෝධනයක් ගැන කතා කරන්නේ එය ඔවුන්ගේ කැමැත්තකින් තොරව කෙරුණු දෙයක් බව පෙන්වීමට මෙන්. එහෙත් එදා දහනවවැනි සංශෝධනය සම්මත වුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ ද සහාය ඇතිව. ඒකාබද්ධ විපක්‍ෂය සරත් වීරසේකර මෙන් සංශෝධනයට විරුද්ධ වුණා නම් අද අගමැතිට එතරම් බලයක් නැති වෙන්න තිබුණා. සරත් වීරසේකරට අමතර ව ජානක බණ්ඩාර දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන්නේ නැහැ. ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටියා.



අමාත්‍ය මණ්ඩල පත්කිරීම් ගැන අගමැති සමග සාකච්ඡා කළ යුතු බවට වගන්ති ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද ඡන්දය දුන් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා. ඒ්කාබද්ධ විපක්‍ෂයටත් ඒ වගන්ති අතපසු වීමකින් මග හැරුණා ද? ඒකාබද්ධ විපක්‍ෂයට අවශ්‍ය මාධ්‍ය සංදර්ශන පවත්වමින් ආණ්ඩුව දිගට ම පවත්වාගෙන යෑම ද? දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියැවෙන්නේ කුමක් ද?



ව්‍යවස්ථාවේ 43 (1) හා (2) වගන්තිවලට අනුව ජනාධිපති අමාත්‍ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව නිර්ණය කිරීමේ දී මෙන් ම අමාත්‍ය මණ්ඩලයට ඒ ඒ අය පත් කිරීමේ දි ද අගමැති විචාළිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. එහෙත් 43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අගමැතිගෙන් ස්වායත්ත ව අමාත්‍ය මණ්ඩලයේ වෙනස්කම් සිදු කළ හැකියි. ඒ සඳහා ජනාධිපති අගමැති විචාළිය යුතු නැහැ.



ජනාධිපතිට ඒ වගන්තිය යටතේ ක්‍රියාත්මක විය හැකියි. ඒකාබද්ධ විපක්‍ෂයේ අය කළ යුත්තේ එවැනි වගන්ති කෙරෙහි ජනතාවගේ ද මන්ත්‍රීවරුන්ගේ ද ජනාධිපතිගේ ද අවධානය යොමු කිරීමයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය එසේ කරන්නේ නැහැ. අගමැති පත් කිරීමේ දී ද ජනාධිපතිට සුවිශේෂ බලයක් තිබෙනවා.



42 (4) වගන්තිය යටතේ ජනාධිපති අගමැති ලෙස පත් කළ යුත්තේ තම මතය අනුව පාර්ලිමේන්්තුවේ විශ්වාසයක් දිනා ගත හැකි පුද්ගලයා ඒ වගන්තිය ඉතා පැහැදිලියි. අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි විය යුතු බවක් ඉන් කියැවෙන්නේ නැහැ.  2015 ජනවාරි නවවැනි දා ජනාධිපති රනිල් අගමැති ලෙස පත් කෙළේත් ඒ වගන්තිය යටතේ. අද මෛත්‍රිපාලට හා රනිල්ට ඒ බව අමතක වෙලා ද?



මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වූ බව ඇත්ත. ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඇත්ත. එහෙත් ඔහු රනිල් වෙනුවට වෙනත් අයකු අගමැති පදවියට පත් කරන්නේ නම් ඔහුට සහාය දිය යුතුයි. ඔහු වෙනත් අයකු අගමැති පදවියට පත් කරන්නේ නම් ටික කලකට වුවත් ඒ ආණ්ඩුව රැකීමට ඒකාබද්ධ විපක්‍ෂයට කටයුතු කළ හැකියි. අද අවශ්‍ය වන්නේ රනිල් නොමැති අන්තර්කාලීන ආණ්ඩුවක්.   









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 06