History

Thursday, 13 April 2017

අවුරුද්ද හා නැකැත් කෙළි  


අවුරුද්ද හා නැකැත් කෙළි



අද ද්‍රවිඩ දේශය යැයි හැඳින්වෙන ප්‍රාන්තවල අලුත් අවුරුද්ද එකම දිනයක ඇරඹෙන්නේ ද යන ප්‍රශ්නය සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්දක් ගැන කියන අයගෙන් ඇසුවහොත් ඔවුන් අමාරුවේ වැටෙනවා. එයට හේතුව ආන්ද්‍ර ප්‍රදේශය, කර්ණාටක හා තෙළඟනා ප්‍රාන්තවල එක් දිනයකත් තමිල් නාඩුවේ හා කේරළයේ තවත් දිනයකත් අලුත් අවුරුද්ද ඇරඹීම. ආන්ද්‍ර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල අලුත් අවුරුද්ද යුගාදි යනුවෙන් හැඳින්වෙයි. යුගාදි යන්නෙහි තේරුම යුගය (වසර) ඇරඹීම යන්න ය. එය යුග ආදි(මුල) වචනවලින් සකස් වී ඇත.  මේ යුගාදි අවුරුද්ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි ද එදින ම හෝ ආසන්නයේ හෝ  පැවැත්වෙයි.




යුගාදි චන්ද්‍ර වර්ෂ මත පදනම් වෙයි. එය සූර්ය වර්ෂවලට (බටහිර දින දර්ශනයට) සාපේක්‍ෂව වසරින් වසර වෙනස් වෙයි. මේ වසරේ ආන්ද්‍ර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල එය මාර්තු 29 වැනි දා පැවැත්වුණා. මහාරාෂ්ට්‍රයේ එය පැවැත්වුණේ මාර්තු 28 වැනි දා. කොළඹ කිසිවකු යුගාදි උත්සවය පැවැත් වී නම් එය ද මාර්තු 28 වැනි දින සිදු කරන්නට ඇති. 2016 දී කොළඹ යුගාදි උත්සවය මාර්තු 8 වැනි දාට යෙදී තිබුණා. ලබන වසරේ 2018 දී එය කොළඹ පැවැත්වෙනු ඇත්තේ මාර්තු 18 වැනි දින ය. සිංහල ද්‍රවිඩ අලුත් අවුරුදු පවත්වන අයට එය ප්‍රශ්නයක් වනු ඇත. කෙසේ වෙතත් මේ වසරේ දී, 2017 දී, යුගාදි උත්සවය පැවැත්වීමට තිබුණේ මාර්තු 28 වැනි දින ය. තරමක් පමා වී වුවත් අවශ්‍ය නම් ප්‍රබුද්ධයකුට අද එය පැවැත්විය හැකියි.



යුගාදි දිනය එලෙස වෙනස් වන්නේ චන්ද්‍ර මාස හා සූර්ය මාස අතර ඇති පරස්පර හේතුකොට ගෙනයි. අපේ වෙසක් දිනය ද සූර්ය දින දර්ශනයට සාපේක්‍ෂ ව එසේ වෙනස් වෙනවා. යුගාදි, වෙසක් ආදිය චන්ද්‍ර වර්ෂය මත ම පදනම් වෙනවා. ආන්ද්‍ර ප්‍රදේශ ආදී ප්‍රාන්ත යුගාදි දිනය අලුත් අවුරුද්ද ලෙස සලකන්නේ අහසෙහි (ඛගෝලයෙහි) චෛත්‍ර නම් තාරකාවට ප්‍රතිවිරුද්ධ ලක්‍ෂ්‍යයක ඇරඹෙන මාසයේ පළමු දිනයයි. මෙහි තරමක පටලැවිල්ලක් වෙනවා. චෛත්‍ර තාරකාවට ප්‍රතිවිරුද්ධ ලක්‍ෂ්‍යයක ඇරඹෙන මාසය නම් කර ඇත්තේ චෛත්‍ර මාසය ලෙසයි. වෛදික දින දර්ශනවල වෙනත් මාස සම්බන්ධයෙන් ද එවැනි නම් කිරීමක් සිදු වී තිබෙනවා. චෛත්‍ර තාරකාව ඇත්තේ සිත නැකතෙහි. එනම් අහස නැකැත්වලට බෙදූ විට සිත නැකත ලෙස නම් කෙරී ඇති ප්‍රදේශයෙහි.   චෛත්‍ර යන්න සිත සමග බැඳී ඇතැයි සිතන්න පුළුවන්. ඇතැමුන් චෛත්‍ර යන්න හතර ලෙස ද ගෙන තිබෙනවා. කලකට පෙර මේ කරුණු පටලවා ගත් පඬියකු සිංහල අවුරුද්ද ඇරඹෙන්නේ සිත නැකතෙන් යැයි කී බව මතකයි.



චෛත්‍ර මාසයේ පටන් ගැනීම ගැනත් ඒ ඒ ප්‍රාන්තවල විවිධ අදහස් තිබෙනවා. තමිල්නාඩුවේ හා කේරළයේ අලුත් අවුරුද්ද හා චෛත්‍ර මාසය පටන් ගැනෙන්නේ අපේල් 13, 14, 15 දිනවල. එපමණක් නොව ඇසෑම්, බෙංගාලය, ඔදිෂා (ඔරිස්සා) ප්‍රාන්තවලත් උතුරු හා මධ්‍යම ඉන්දියාවේත් අවුරුද්ද පටන් ගැනෙන්නේ අප්‍රේල් 13, 14, 15 දිනවල. එමෙන් ම මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය (චම්පා) වැනි රටවලත් ඒ දිනවල අවුරුද්ද පැවැත්වෙනවා. 1918 දී චෛත්‍ර මාසය ඇරඹෙන්නේ අප්‍රේල් 15 වැනි දා විය හැකියි. එසේ වුවහොත් සිංහල දෙමළ අවුරුද්ද එක දවසක පවත්වන්න බැරිවේවි. ලබන අවුරුද්දෙ සිංහල අවුරුද්ද උදා වෙන්නෙ අප්‍රේල් දහහතරවැනි දා උදේ අටයි දොළහට. එහෙම වුනොත් සිංහල දෙමළ අවුරුද්දට කරන්නෙ මොකක් ද?



තමිල්නාඩුවෙ පවත්වන අවුරුද්දට කියන්නෙ පුතන්ඩු කියලා. කේරළයෙ කියන්නෙ විෂු කියලා. ඒ ඒ සංස්කෘතිවල අවුරුදු සිරිත් විරිත් වෙනස් වෙනවා. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඒත් අපට ප්‍රශ්නයක් වෙන්නෙ ආන්ද්‍ර ප්‍රදේශය ඇතුළු ද්‍රවිඩ ප්‍රාන්ත කිහිපයක අවුරුද්ද මාර්තු හා අප්‍රේල් මාසවල චන්ද්‍ර වර්ෂ අනුව යුගාදි වන්නෙත් තමිල්නාඩුව හා කේරළයේ එය අප්‍රේල් 13, 14, 15 වන්නෙත්, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය (චම්පා) ආදී ථෙරවාද බෞද්ධ රටවල හා ථෙරවාදය පවතින චීනයේ යුනානි ප්‍රදේශයේත් අප්‍රේල් 13, 14 අවුරුද්ද පවත්වන්නෙත් මොකද  කියන එක.



ඉතා පැහැදිලි ව තමිල්නාඩුව හා කේරළය අනෙක් ද්‍රවිඩ ප්‍රාන්තවලින් වෙන් කෙරී තිබෙනවා. අනෙක් ද්‍රවිඩ ප්‍රාන්ත මහාරාෂ්ට්‍රයත් සමගත් එක් වී දිගට ම යුගාදි පවත්වන විට තමිල්නාඩුව හා කේරළය ථෙරවාද රටවල් සමග එක්වී අප්‍රේල් 13, 14 දිනවල අවුරුදු පවත්වනවා. ඒසේ වන්නේ ඇයි? කලකට ඉහත තමිල්නාඩුව හා කේරළය බෞද්ධ වී ද? තමිල්නාඩුවෙ උතුරෙ බෞද්ධ බලපෑමක් තිබුණෙ පල්ලව කාලෙ. ඒ දෙමළ බෞද්ධ කතාවක් නොවෙයි. පල්ලව බෞද්ධ කතාවක්. එහෙත් බෞද්ධ බලපෑම වැඩියෙන් තිබූ, සිංහලයන් සමග වැඩියෙන් සම්බන්ධකම් පැවැත් වූ ආන්ද්‍ර ප්‍රදේශයේ පැවැත්වෙන්නෙ යුගාදි. යුගාදි අවුරුදු හැටකට වතාවක් චක්‍රයක යනවා. ඒ ග්‍රහයන් තිදෙනකුගේ චලිත මුල් කරගෙන. චීනයේත් අවුරුදු හැටේ චක්‍රය තිබෙනවා.



ඇතැමකු කියන්න පුළුවන් තායිලන්තය ආදී රටවලට අවුරුද්ද ගෙන ගියේ චෝලයන් කියලා. චෝල චෝල රාජ්‍යය කලක දි වියට්නාමය දක්වා පැතිරී තිබෙනවා. රාමායන කතාව තායිලන්තයේ ජනප්‍රියයි. මේ සංස්කෘතික අන්තර් ක්‍රියා ගැන එතරම් අධ්‍යයනයක් කෙරිලා නැහැ. ආන්ද්‍ර ප්‍රදේශයත් සමග අප හයවැනි සියවසෙන් පමණ පසු එතරම් සමීප සම්බන්ධකම් පවත්වලා නැහැ. පොළොන්නරු යුගයේ  විශේෂයෙන් ම පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව  අපේ ජාත්‍යන්තර සම්බන්ධකම් වැඩි වශයෙන් පාණ්ඩ්‍ය චේර හා ථෙරවාද බෞද්ධ රටවල් සමග පැවතී තිබෙනවා.



අපට පුරුදු වෙලා තියෙන්නෙ අප හැම දෙයක් ම වෙනත් රටවලින් ගත්ත බව කියන්න. අපේ සංගීතය උත්තර භාරතීය ප්‍රස්තාරවල පිහිටුවන්න බැහැ. ඒත් අපේ සංගීතය අද වෙනත් සංගීතවලට යටවෙලා. අපේ ආවේණික සංගීතයක් ගැන කතා කරන්නෙ නැති තරම්. අපේ ශිල්ප ගැන අප කොහේවත් ලියා නැහැ. ශාස්ත්‍ර ගැන ටිකක් ලියවෙලා තියෙනවා. වැව් හා දාගැබ් අපට පේන්න තියෙනවා. ඒත් ඒ ශිල්ප ගැන ලියපු පොත් නැහැ. බැරි වෙලාවත් වැව් හා දාගැබ් නැතිවෙලා ගියා නම් අපට ඉදිකිරීම් සංස්කෘතියක් තිබුණෙ නැහැ කියලා පඬියන් කියාවි. අපේ සංගීතයක් කියලා කියන්න පුළුවන් යමක් පොතක පතක ඉතිරි වෙලා නැති නිසා පඬියන්ට කියන්න බැහැ අපට සංගීතයක් තිබුණෙ නැහැ කියලා. අප සංගීතයෙ හරි වෙන කොහෙ හරි ප්‍රවාද නිර්මාණය කෙළෙ නැහැ. එයින් කියන්නෙ අප කිසිත් ලෝකයට දී නැත කියන එක නො වෙයි. අද ඉන්න පඬියන් තමන් කිසිවක් ලෝකයට දෙන්නෙ නැති නිසා ඔවුන් හිතනවා ඇති අපේ පැරැන්නන් ද ඔවුන් මෙන් හිස් පුද්ගලයන් කියා. අද පඬියන් දන්නෙ බටහිර ආධිපත්‍යයට යටවෙන්න.



නැකැත් කෙළි අප ලෝකයට දුන් දේ. නැකැත් අපේ ම නිර්මාණයක්. අහස නැකැත් විසිහතකට බෙදුවෙ අපි. වෛදිකයො ඒකට අභිජිත් කියලා නැකතක් එතකු කළා. චීනයටත් ඒ නැකැත් විසි අට ගියා. අහස නැකැත්වලට බෙදුවෙ චන්ද්‍රයාගෙ ගමන අනුව. ඒත් සෘතු වෙනස් වෙන්නෙ සූර්ය ගමන අනුව. අපට ඉරත් හඳත් දෙක ම වැදගත්. ඒ දෙක තමයි අපේ ප්‍රධාන ග්‍රහයො. සූර්යයා තාරකාවක් පමණක් කියලා කියන්නෙ බටහිර තාරකා විද්‍යාවට අනුව. හඳ අනුව බෙදපු අහසෙ ඉර ගමන් කරන්නෙ කොහොම ද කියන එක අනුව තමයි නැකැත් කෙළි පවත්වන්නෙ. වෙනත් විධියකට කිවුවොත් නැකැත් අතරින් ඉර ගමන් කිරීම තමයි නැකැත් කෙළිවල පදනම. සිංහලයන් තමයි ඉරේ ගමනයි හඳේ ගමනයි එකතු කෙළේ. සිංහල අවුරුද්ද ආරම්භ වෙන්නෙ ඉර  රේවති නැකතෙන් අස්විද නැකතට යෑමත් සමග. ඉර මුවසිරසෙට යන විට දේවානම්පිය තිස්ස රජු මුව දඩයමේ ගියා. ඉර අස්ලිස නැකතට යනකොට අප ඇසළ නැකැත් කෙළිය පැවැත්වුවා. මේ නැකැත් කෙළි ඒ විධියට කේරළයෙ හරි තමිල්නාඩුවෙ හරි නැහැ.  ඔවුන් හා ථෙරවාද රටවල් අපේ එක නැකැත් කෙළියක් අරගෙන තිබෙන බව පේනවා.  ඒත් වෛදිකයන් ඒක අවුල් කළා. රාශි හා නැකැත් එකතු කරන්න ගිහින් මේෂ රාශියෙ ආරම්භය අස්විද නැකතෙ ආරම්භය එක්ක සමපාත කරලා අවුල් කළා. නිර්මාණශීලි බව නැති කර ගත් සිංහලයන් ඒ අවුල අරගෙන අවුරුදු දාට ඉර මීනයෙන් මේෂයට යවනවා. ඒත් එදාට ඉර මේෂයට ඇවිත් නැහැ. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org  



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 13