History

Wednesday, 31 May 2017

රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම


රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම

                                                    

රේඛීය සිතීම (ලීනියර් තින්කින්) හා විශ්ලේෂණාත්මක සිතීම (ඇනැලිටිකල් තින්කින්) ගැන බටහිරයන්ගේ නිර්වචන තිබෙනවා. ඔවුන්ට අනුව රේඛීය සිතීමේ දී පියවරෙන් පියවර අනුමාන නීති (රූල්ස් ඔෆ් ඉන්ෆරන්ස්) යොදා ගෙන එක් ප්‍රස්තුතයක සිට තවත් ප්‍රස්තුතයක් කරා යනවා. එහි මුලක්, පටන් ගැන්මක් තියෙනවා. පටන් ගැන්ම ඇත්ත ද බොරු ද කියා දන්නේ නැහැ. ඒ බවක් අහන්නෙත් නැහැ. අවශ්‍ය වන්නේ පියවරෙන් පියවරට අනුමාන නීති යොදා ගැනීමයි. විශ්ලේෂණාත්මක සිතීමේ දී යමක් කොටස්වලට කඩා අධ්‍යයනයක් කෙරෙනවා. ඉන්පසු ඒ කොටස් එකතු කරනවා. විශ්ලේෂණාත්මක සිතීමේ දී සමස්තය කොටස්වල එකතුවක් ලෙස සැලකෙනවා. බොහෝ දෙනා රේඛීය සිතීම හා විශ්ලේෂණාත්මක සිතීම බුදුදහමේ ඇතැයි සිතනවා. එහෙත් එය එසේ නො වෙයි. මෙහි සඳහන් සිතීම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි කියැවෙන චින්තනය සමග පටලවා ගන්න එපා. මා සිතීම යන වචනය යොදා ගන්නේ එය චින්තනය යන්නෙන් වෙනස් බව අවධාරනය කිරීමටයි.




රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම් ගැන බටහිරයන් නොකියන කරුණු කිහිපයක් තිබෙනවා. පළමුව මේ සියල්ලෙහි දී යොදා ගැනෙන න්‍යායක් (ලොජික්) තිබෙන බව. ඒ න්‍යාය එක් න්‍යායක් පමණක් නොවන බව ඔවුන් කියන්නේ නැහැ. අපට කියන්නේ ඇත්තේ එකම න්‍යායක් පමණක් බවයි. ඔවුන් යොදා ගන්නේ ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යායයි. සමස්තය යනු කොටස්වල එකතුවක් බව කියැවෙන්නේත් ඒ න්‍යායෙහි. එය ඇත්තක් ලෙස සැලකෙනවා. ඒ න්‍යායෙහි අනුමාන නීති තියෙනවා. වැදගත් වන්නේ මේ නීති. මේ නීති ලබා ගන්නේ කෙසේ දැයි ඔවුන් කියන්නේ නැහැ. ඒ නීති ද ඇත්ත ලෙස ගැනෙනවා. එහෙත් ඇත්ත කියන්නේ මොකක් ද කියා නිර්වචනය කෙරෙන්නේ නැහැ. ඇත්ත යනු කුමක් දැයි කිසිවකු කියන්නේ නැහැ.



කොහොමටත් නිර්වචනය කිරීම බංකොළොත් විධි ක්‍රමයක්. යම් සංකල්පයක් නිර්වචනය කරන්න තවත් සංකල්ප තියෙන්න ඕන. ඕනම නිර්වචනයක් සංකල්පයක නිර්වචනයක. එය වෙනත් සංකල්පවලින් කියන්න ඕන. ඒ වෙනත් සංකල්ප තවත් සංකල්පවලින් කියන්න ඕන. එහි මුල කොතැන ද? මුල් සංකල්පය නිර්වචනය කරන්නේ කිනම් සංකල්පවලින් ද? මුල් සංකල්පය නිර්වචනය කරන්න බැහැ. එවිට සමස්ත පද්ධතිය ම ගොඩ නැගෙන්නේ නිර්වචනය නොකරන ලද සංකල්ප මත. ගණිතයේ දී සරල රේඛාවක් ඇතැම් විට ලක්‍ෂ්‍යය යන සංකල්පය ආධාර කර ගනිමින් නිර්වචනය කරනවා. එහෙත් ලක්‍ෂ්‍යය යනු කුමක් ද? එය නිර්වචනය කෙරෙන්නේ නැහැ. ලක්‍ෂ්‍යය යන්න අනිර්වචනීයයි. ගණිතයේ මෙවැනි අනිර්වචනීය සංකල්ප එමට තියෙනවා. අනෙක් විෂය ගැන කියනුම කවරේ ද? 



ග්‍රීකයන්ගේ ස්වසිද්ධාත්මක ක්‍රමයත් ඒ වගේ. ස්වසිද්ධි ඇත්ත ද බොරු ද කියා අහන්නේ නැහැ. එහෙත් ස්වසිද්ධි (ඇක්සියම්ස්) මත පදනම් ව අනුරූප නීති යොදා වෙනත් ප්‍රස්තුත ලබා ගන්නවා. අනුමාන නීති උද්ගමනයෙන් (ඉන්ඩක්ෂන්) ලබා ගත් දේ. යමක් යමකට සමාන ය කියා කියනවා. ඒ කියමන ලබා ගන්නේ කෙසේ ද? අප දකින පුටුවක් ඒ පුටුවට සමානය කියා හිතනවා. එය සංයුක්ත නිරීක්‍ෂණයක් ලෙස පෙනෙනවා. එනම් පංචෙන්ද්‍රියවලට ගෝචර, ඇහැට කණට පේන, නිරීක්‍ෂණයක් ලෙස අප හිතනවා. අප පුටුවක් දකින්නේ ඇහෙන් පමණක් නොවෙයි. මනසේ පුටුව කියන සංකල්පය නැතිව අපට පුටුව පෙනෙන්නේවත්, අල්ලන්නවත් බැහැ. එහෙත් පුටුවක් ඇති බව අප දන්නේ කෙසේ ද? එය මනසේ නිර්මාණයක් විය නො හැකි ද?



අනෙක් අතට පුටුව පුටුවට සමාන වන්නේ ක්‍ෂණයක දී ද? ක්‍ෂණයක් යනු කුමක් ද? අටුවාට අනුව කාලය යනු පඤ්ඤත්තියක් නම් ක්‍ෂණයක් තිබිය හැකි ද? විනාඩි දහයක පවතින්නේ එකම පුටුව ද? පුටුව වෙනස් වන්නේ ද? වෙනස්වන පුටුව ඇතුළත වෙනස් නොවන පුටු ආත්මයක් පවතින්නේ ද?  පුටුව පුටුවට සමාන වන්නේ ය යන නිරීක්‍ෂණය පසු පස ඇත්තේ පුටුව වෙනස් නොවන්නේ ය යන්න ය. එය හුදු ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණයක් නො වේ. එය හුදු සංයුක්ත නිරීක්‍ෂණයක් ලෙස පෙනුනත් එහි වියුක්ත බවක් තියෙනවා. වෙනස් නොවන පුටු ආත්මයක් ඉන්ද්‍රිය ගෝචර නැහැ. එය අප විසින් නිර්මාණය කර ගනු ලැබූ සිතෙන් මවා ගත නොහැකි වියුක්ත සංකල්පයක්. එවැනි නිරීක්‍ෂණ මත පදනම් ව අප පුටු, මේස, පුද්ගලයන් ගැන කරනවා. මේ සියලු නිරීක්‍ෂණ උද්ගමනය කර තවත් වියුක්ත ව අප කියනවා යමක් යමකට සමානය කියා. එය සංකේතාත්මක ව  a=a ලෙස ප්‍රකාශ කරනවා. අනෙක් අනුමාන නීති ගැනත් කිව හැක්කේ එයයි. a=b නම් b=a, හා a=b, b=c  නම් a=c බව සාධනය කළ හැකි අයකු සිටිනවා ද? ඒ සඳහා යොදා ගන්නා අනුමාන නීති මොනවා ද? වෙනත් අයුරකින් කියන්නේ නම් අනුමාන නීති ලබා ගන්නේ කිනම් අනුමාන නීතිවලින් ද? නැවතත් අප මුලට යනවා. මුලකින් පටන් ගන්නා රේඛීය සිතීමේ බංකොළොත් බව පැහැදිලි වෙනවා.



එහෙත් මේ අනුමාන නීති නැතිව අපට කිසිවක් ඇරිස්ටෝටලීය න්‍යායට අනුව නිගමනය කරන්න බැහැ. අනුමාන නීති ලැබෙන්නේ උද්ගමනයෙන් (ඉන්ඩක්ෂන්) බව පෙන්විය හැකියි. මා ඒ බව විවිධ ලිපිවලින් හා දේශනවලින් පෙන්වා තිබෙනවා. එහෙත් මෙරට බුද්ධිමතුන් විද්වතුන් උගතුන් විදග්ධයන් ආදී කිසිවකු ඒ ලිපිවලට අබමල් රේණුවකවත් වැදගත්කමක් දෙන්නේ නැහැ. විද්‍යුත් ජනමාධ්‍යයෙහි ඒ අදහස්වලට ඉඩක් නැහැ.



විශ්ලේෂණාත්මක සිතීමේ දී කෑලිවලට කැඩූ පසු යොදා ගන්නේත් රේඛීය සිතීම. වෘත්තයක් ඉතා කුඩා කෑලිවලට කැඩූ විට ලැබෙන්නේ සරල රේඛා ඛණ්ඩ රාශියක්. මේ රේඛා ඛණ්ඩයක් අත්‍යුණකයක් (ඉතා කුඩා) ලෙස ඇතැම් විට වෘත්තයට අඳින ස්පර්ශකයක් විය හැකියි. වෘත්තයක් යනු ස්පර්ශක රාශියක් නො වෙයි. විශ්ලේෂණය සමහර විට හරියනවා කියන එකෙන් එය හරි කියා කියැවෙන්නේ නැහැ.



අපට ඇත්තේ චක්‍රීය සිතීම. පටිච්චසමුප්පදාය රේඛීය සිතීමක් නො වේ. දේව නිර්මාණයෙහි හෝ මහා පිපිරුමෙහි හෝ මෙන් නොව සසරෙහි මුලක් නැහැ. එය පියවරෙන් පියවරට යෑමක් ද නො වේ. එය එකට ඉපදීමක්. යමක් නිසා තවත් යමක් ඇතිවනවා නොව යමක් ඇත්නම් තවත් යමක් ඇතිවීම හා යමක් නැත්නම් තවත් යමක් නැතිවීම ගැන එහි කියැවෙනවා. නිවනට පෙර අපේ න්‍යාය ලෙස ගත හැකි චතුස්කෝටිකයෙහි ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යායත් අඩංගු වෙනවා. එහෙත් අනුමාන නීති යොදාගෙන ඉන් නිගමන ලබාගැනීමට බැරි අවස්ථාත් තිබෙනවා. අප පසක් කර ගන්නා යමක් අනෙකෙකුට සන්නිවේදනය කිරීමේ දී අපට චතුස්කෝටිකයෙහි ඇති ද්විකෝටිකය යොදා ගැනීමට සිදුවෙනවා. බුදුන්වහන්සේත් එසේ කර තිබෙනවා. එහෙත් ඇතැමුන් ඇතැම් ප්‍රත්‍යක්‍ෂ වැරදි විධියට විවරණය කරනවා. චතුරාර්ය සත්‍යය එයට උදාහරණයක්. එහි ඇත්තේ දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍යය මිස දුක හා දුකට හේතුව නො වෙයි.



මිහිඳු මහා රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජුගෙන් ඇසූ ප්‍රශ්නවල රේඛීය සිතීමක් හෝ විශ්ලේෂණාත්මක සිතීමක් හෝ නැහැ. එයින් පෙන්වන්නේ ඇරිස්ටෝටලීය න්‍යායෙහි කඩා වැටීමක්. එ බව මා අවුරුදු තිහකට පමණ පෙර පෙන්වා දුන් නමුත් මෙරට දාර්ශනිකයන් තාර්කිකයන් ගණිතඥයන් ආදීන් ඔවුන්ගේ බුද්ධි මහිමයෙන් ඒ ගැන අවධානය යොමු කෙළේ නැහැ. බොහෝ විදග්ධයන්ට අනුව මා මිථ්‍යා මත විශ්වාස කරන මනුෂ්‍යත්වය ගැන හැඟීමක් නැති ඊනියා පර්යේෂණ නොකරන අයකු පමණයි. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 31