History

Thursday, 4 May 2017

මෛත්‍රිපාලට කඩේ යෑම




 මෛත්‍රිපාලට කඩේ යෑම


රනිල් ඉවත් කළ යුතු බව මා කියන්නේ යහපාලන ආණ්ඩුව පටන් ගත් මුල් කාලයේ පටන්. අප 2015 මුල සම්මන්ත්‍රණයක් පැවැත්වූවා මහින්ද අගමැති කරමු කියා. එහි දී අප පෙන්වා දුන්නා ව්‍යවස්ථාව අනුව 42 (4) ව්‍යවස්ථාව යටතේ මෛත්‍රිපාලට මහින්ද ජනාධිපති කළ හැකි බව. එහි දී අවශ්‍ය වන්නේ ජනාධිපතිගේ කැමැත්ත පමණයි. ජනාධිපතිගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි වීමට වඩාත් ඉඩකඩ ඇති  පුද්ගලයා අගමැති ලෙස පත් කළ හැකියි. මෙහි ඇත්තේ ජනාධිපති එසේ අදහස් කිරීම පමණයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන් කිරීමක් අවශ්‍ය නැහැ. මෙය ඉතාමත් සුවිශේෂ වගන්තියක්. අවශ්‍ය වන්නේ ජනාධිපතිගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා වීම නොව එසේ වීමට ඉඩකඩ ඇති පුද්ගලයා වීම.




මෛත්‍රිපාල රනිල් අගමැති කරන විට ඔහුට ඡන්ද හතළිස් ගණනක් තිබුණේ. ජනවාරි අටවැනි දාට පසුව ඒකාබද්ධ විපක්‍ෂය නමින් අද හැඳින්වෙන කණ්ඩායම ක්‍රියා කෙළේ කරන්නේ බුද්ධිමත් ආකාරයකින් කියා කියන්න බැහැ. ජනවාරි අටවැනි දා තීරණය බොහෝ දෙනා කිසිසේත් ම බලාපොරොත්තු වූවක් නො වෙයි.  අදෘශ්‍යමාන ප්‍රාණීන් නම් ඒ බව කියා තිබුණා. නායකයන් හා ජනතාව ආධ්‍යාත්මික ව දියුණු තත්වයක නොපැවතීම එයට හේතුව ලෙස ඔවුන් දන්වා තිබුණා. එහෙත් නායකයන් හා ජනතාව ආධ්‍යාත්මික පැත්තට යොමු කිරීම එක රැයකින් කළ හැකි නො වෙයි.



රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්නේ ඉතා හදිසියෙන්. මෛත්‍රිපාල දිවුරුම් දී මොහොතකින් රනිල් අගමැති කෙරුණා. එවිට දි මු ජයරත්න අගමැති. අපත් සිතා සිටියේ දි මු ජයරත්න අස්නොවී හෝ අස් නොකර හෝ වෙනත් අගමැතිවරයකු පත් කළ නොහැකී බවයි. එහෙත් ව්‍යවස්ථාව හොඳින් කියවන විට පැහැදිලි වන්නේ එය අවශ්‍ය නොවන බවයි. අගමැතිවරයකු සිටින විට ම වෙනත් අයකු අගමැති ලෙස පත්කළ හැකියි. මේ දහනවවැනි ව්‍යවස්ථාවට පෙර. දහනවයෙන් ඒ තත්වය වෙනස් වුණේ නැහැ.



දහනවයෙන් වෙනත් දේ එකතු වුණා. දහනවය ප්‍රධාන වශයෙන් ම ජනාධිපතිගේ බලතල කිහිපයක් අගමැතිට ලබා ගැනීමටත් මහින්ද රාජපක්‍ෂට  නැවතත් ජනාධිපති තනතුරට තරග කිරීමට නොහැකි වන පරිදිත් කරන ලද්දක්. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් ලෙස හැඳින්වූවා. ඒකාබද්ධ විපක්‍ෂයත් එයට සහාය දුන්නා. ඔවුන් සහාය දුන්නේ මහින්දට විරුද්ධව.  ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන්නේ නැතිනම් දහනවය සම්මත වන්නේ නැහැ. පඬියකු කියන්න පුළුවන් එකල ඒකාබද්ධ විපක්‍ෂයක් නොතිබූ බව.  පසුව ඒකාබද්ධ විපක්‍ෂය වූ කණ්ඩායම අඩු වැඩි වශයෙන් එදත් හිටියා.



ඔවුන් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේත් නැහැ. රනිල් අගමැති ලෙස පත් කෙරුණත් ඔහුට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ ජනාධිපතිගේ අදහස අනුව පමණයි. පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ සංධානයට (ඒකාබද්ධ විපක්‍ෂයට). එහෙත් ඔවුන් වික්‍ෂිප්ත ව බලා සිටියා පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම මෛත්‍රිපාලට ලැබුණෙත් මේ වික්‍ෂිප්ත බව නිසයි. ඔවුන් ජනවාරි අටවැනි දා තීරණයට සූදානම් වී නොසිටීම මෙයට ප්‍රධාන හේතුව. එහෙත් ජනතාව නම් ඒ තීරණය ගණන් ගත්තේ නැහැ. ඔවුන් දැන සිටින්න ඇති මෛත්‍රිපාල ජනාධිපති වුණේ නොමග ගිය තරුණයන් නිසා කියලා. තරුණ ඡන්ද ලක්‍ෂ දෙකක් එහාට මෙහාට වුණා නම් මහින්ද ජනාධිපති. එහෙත් මේ සියල්ලට ආධ්‍යාත්මික පිරිහීම බලපෑවා. ඊනියා බෞද්ධ ප්‍රබෝධයක් ගැන කතා කළත් එවැන්නක් සිදු වී නැති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පමණක් නොව අපරාධ රැල්ලෙන් ද පැහැදිලි වෙනවා. 



සංධානයේ අය සියලු බලාපොරොත්තු අත්හැරිය නමුත් නමුත් සංධානයට ඡන්දය දුන් අය ඉදිරියට ම ගියා. ඔවුන් ජනධිපති කිවුවේ මහින්දට. මහින්දගේ මොන අඩුපාඩුකම් තිබුණත් ඔහු දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළා. ඒ බව ව්‍යවස්ථාවට ඇතුල් කරලා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න රාජිත, වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර වැනි සිංහල විරෝධීන් ඉඩ දුන්නේ නැහැ. චම්පකලාට, විමල්ලාට, දිනේෂ්ලාට ඔවුන් පරාජය කිරීමට නොහැකි වුණා. දැනුත් දේශපාලනික ව පරාජය වී ඇති දහතුන නෛතික ව පරාජය කිරීමට කිසිවකු කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රනිල්ගේ ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වෙනවා. මහින්ද ඔවුන්ට ආශිර්වාද කරනවා.



හෙට වැඩවර්ජනය කරන වෛද්‍යවරුන් ගුරුවරුන් පෙරටුගාමීන් ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් කියාවි එය වෘත්තීය කටයුත්තක් නොවේ කියලා. ජෝස්ප් ස්ටැලින්ලාට ඇත්තේ සිංහල විරෝධයක්. මේ කිසිවකු පෞද්ගලික පාසල්වලට පමණක් නොව සයිටම්හි වෙනත් උපාධිවලටත් විරුද්ධ නැහැ. මොවුන් මහා වැඩ වර්ජනයක් කළහොත් ඒ ආණ්ඩුව තහවුරු කිරීමටයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එ ජා පාක්‍ෂිකයන් ඉන්නවා. ජෝසප් ස්ටැලින්ලා මේ ආණ්ඩුව පිහිටුවීමට සම්මාදන් වූ බව අමතක කරන්න බැහැ. මහා වැඩවර්ජනයකින් ආණ්ඩුව වැටුණා යැයි කියමු. ජෝසප් ස්ටැලින්ලා මහින්ද නායකත්වයට පත් කරන්න කැමති වෙනවා ද? මේ අය වර්ජන කරන්නේ ආණ්ඩුව වැට්ටවීමට නොව රනිල් තහවුරු කිරීමට.



වර්ජකයන් එට්කා ගිවිසුමට විරුද්ධ වෙන එක හොඳයි. එහෙත් සයිටම් අහෝසි කරීමෙන් ඉන්දියාවෙන් "ඉහළ ප්‍රමිතියේ" වෛද්‍යවරුන් ගෙන්වීමට උදවු කරනවා. මොවුන් දන්නා නිදහස් අධ්‍යාපනයක් නැහැ. අර තෙල් සංගම් කාරයන් වර්ජනය කෙළේ මොකට ද? රනිල් ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ දී කිවුවා තෙල් සමාගම් අතර ගිවිසුමක් ඇතිවන බව. එය ආණ්ඩුවේ ගිවිසුමක් නොවන්න පුළුවන්. එහෙත් ඔය ගිවිසුම මගින් ඉන්දියාව තෙල් ටැංකි හරහා ත්‍රිකුණාමල වරායේ පාලනයක් ගෙන යනවා.   
.    .   


ජනවාරි අටවැනි දාට පසු මහින්ද කණ්ඩයම වික්‍ෂිප්ත වූ නමුත් සංධාන ජනතාව මහින්ද අත්හැරියේ නැහැ. ඔවුන් වැඩි වැඩියෙන් මහින්ද වටා රොක් වුණා. නුගේගොඩ රැස්වීම ගැන කවුරුන් ගෞරවය ලබා ගත්තත් එය සංධාන ජනතාවගේ රැස්වීමක්. අද ඒ ජනතාව ලක්‍ෂ ගණනින් ගාලු මුවදොරට රැස්වෙනවා. ඒත් මේ ජනතාවට 2019/20 වන තුරු බලාසිටින්න කියනවා ද? 2019 දී කරන දේ ගැන කියන්න සංධානයට ඊනියා දේශපාලන විචාරකයන් ඉන්නවා. ඔවුන්ගේ බහට රැවටී ඒකාබද්ධ විපක්‍ෂය වෛද්‍යවරුන් ආදීන් චූන් දේශපාලනයේ යෙදෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට සහාය දීමට තීරණය කරලා. මේ වර්ජන අවසාන වන්නේ ලේ වැගිරීමකින්, රනිල් තහවුරු වීමෙන්, ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් හා මහින්ද කණ්ඩායම නැත්තට ම නැති වීමෙන්. 2019 ට පෙර මෙරට බොහෝ දේ වෙනවා. මට අවශ්‍ය ඒ පරාජය කර සිංහල බලය තහවුරු කිරීමටයි. අද අපට මෛත්‍රිපාල නැතිව එය කරන්න බැහැ. ව්‍යවස්ථාවෙ 43 (3) ට අනුව මෛත්‍රිපාලට අගමැතිගෙන් නොවිමසා අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරන්න පුළුවන්. දහනවය කෙටුම්පත් කළ අයට අමතක වෙලා ඒ සඳහා අගමැති විමසිය යුතුය කියා ඇතුල් කිරීමට. මෛත්‍රිපාල ආප්ප කෑ අන්දම කතා කළා හොඳට ම ඇති. මා මෛත්‍රිපාලට කඩේ යනවා පිංසෙන්ඩු වෙනවා ආදී වශයෙන් කරන චෝදනා මා සතසපහකට ගණන් ගන්නේ නැහැ. පඬියන් කියන විධියට මා කී දෙනකුට කඩේ ගොස් තිබෙනවා ද? කොහොමටත් මා බුද්ධිමතකු නො වෙයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 04