History

Saturday, 6 May 2017

දොස්තර දොස්




                                     දොස්තර දොස්



දොස්තර වර්ජනය සාර්ථක ද නැද්ද යන්න මා කියන්නේ නැහැ. ඒ සම්බන්ධ විවිධ පුද්ගලයන් කියන කතා කියවන්න, අහන්න පුළුවන්. එහෙත් ප්‍රවෘත්ති කියවන්නන්, ප්‍රවෘත්ති සංස්කාරකවරුන් ලියන කියන දේ තමයි අපට ලැබෙන්නේ. මොවුන් පක්‍ෂග්‍රාහීයි. ඇතැමුන් ආණ්ඩුවට පක්‍ෂයි. ඇතැමුන් දොස්තරලාට පක්‍ෂයි. අපක්‍ෂපාත මාධ්‍යවේදීන් නැහැ. අපට අතීතය  හා වර්තමානය ගැන යම් විශ්ලේෂණයක් කළ හැකි වුවත් අනාගතය ගැන කීමට ඇත්තේ මේ මේ දේ විය හැකිය යන්න පමණයි. ඒ පිළිබඳ ව කිව හැක්කේ සම්භාවිතාවක් සමග පමණයි. දොස්තරලාට අවශ්‍ය අවුල් කිරීම. ඔවුන් සමහර දෙනකු අනාවැකිවලින් මෙහෙයවෙනවා.




අද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වර්ජනයේ සටන් පාඨය ඔවුන්ට කලින් තිබුණේ නැහැ. සයිටම් ජනසතු කළ යුතු ය කියා ඔවුන් මුලින් ඉල්ලා සිටියේ නැහැ. එය ඉදිරිපත් වූයේ පසුව. මට මතක හැටියට සයිටම් උපාධිධාරිණියක අභියාචනාධිකරණයෙන් තමන්ට වෛද්‍ය සභාවේ තාවකාලික ලියා පදිංචිය ලබා දෙන ලෙස තීන්දුවක් ලබා ගැනීමෙන් පසුව. මේ පසු ඉල්ලීමෙන් ගම්‍ය වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීමට ප්‍රතිපත්තියක් වශයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් විරුද්ධ බවයි.



මා මේ ප්‍රශ්නය සම්බන්ධ ලිපි ගණනාවක් ම ලියා තිබෙනවා. බොහෝ දෙනා ඒ කියවා නැහැ. ඉරිදා රිවිර පත්‍රයෙහි හා ඉරිදා දිවයින පත්‍රයෙහි මා ලියු ලිපියක් උපුටා පළ කර තිබුණා. එය නම් කිහිප දෙනකු කියවන්න ඇති. මේ ප්‍රශ්නය ගැන ආණ්ඩුව සාකච්ඡා කළ යුතු යැයි සමාදානයට කැමති හාල්මැස්සන් (මේ මැයෙන් පාඩමක් අපේ අම්මලා ඉගෙන ගත් කාලයේ පොතක තිබූ බව අම්මා කියා තිබෙනවා) තම ව්‍යාජත්වය පෙන්වමින් සඳහන් කරනවා. ඒ අතර ආචාර්ය සමිති සම්මේලනයකුත් තිබෙනවා. මේ බොරු සමාදාන කාරයන්ට මතක නැහැ නොයෙකුත් සාකච්ඡා විවිධ පාර්ශ්ව අතර පැවැත්වූ බව. ජාතික වශයෙන් දිර්ඝ සාකච්ඡාවක් මාධ්‍ය හා සමාජයීය මාධ්‍ය මගින් පැවැත්වුවා. අවසානයේ දී ආණ්ඩුව විසඳුමක් ඉදිරිපත් කළා. ඒ විසඳුමෙහි මා මගේ ලිපිවල කී ඇතැම් කරුණුත් අඩංගු වී තිබුණා. ඉන් කියැවෙන්නේ නැහැ ආණ්ඩුව ඒ අදහස් මගෙන් ගත් බව.



ප්‍රේමදාස හැරෙන්නට වෙනත් කිසිම ආණ්ඩුවක් මගෙන් අදහස් වීමසා නැහැ. ප්‍රේමදාස මගෙන් අදහස් විමසුවේ භීෂණ සමයේ මා ඔහුගේ දේශපාලන විරුද්ධවාදියකු ලෙස දැන දැන ම. මා එකල විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්/සභාපති බව වත්මන් ආචාර්යවරුන් නොදන්නවා වෙන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂය (පවිත්‍රා වන්නිආරච්චි හැරෙන්නට) හරි ජාතික ව්‍යාපාරය හරි ජනමාධ්‍ය හරි මා කියන කිසිම දෙයක වටිනාකමක් දකින්නේ නැහැ. ඔවුන් කිසි දා මට ඔවුන්ගේ රැස්වීමක කතා කරන්න ආරාධනා කර නැහැ. එහෙම නැත්නම් මා වෙනත් තැනක කී දෙයක් වාර්තා කරන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මා විශ්ලේෂණය නොහැකි, තර්කානුකූල නොවන, හැඟීම් බර, මිථ්‍යා කතා පතුරවන, නාථ දෙවියන් පසුපස යන ඉක්මන් තීරණ ගන්නා අයකු කියා. එහෙත් ඔවුන් නාථ දෙවියන් අනුගමනය කරන දොස්තරවරුන්ට ගරු කරනවා!  



ප්‍රේමදාස මගෙන් ගත් අදහස් අතර උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කිරීමත් එතෙක් එහි ඉගෙන ගත් සිසුන්ට සංක්‍රමණීයව එම වෛද්‍ය විද්‍යාලයේ ම උපාධිය දීමත් එවකට ඇක්ට් 16 නමින් හැඳින්වු පරීක්‍ෂණයට පෙනී සිටීමට සැලැස්වීමත් වූවා.  එදාත් තිබුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳ ප්‍රශ්නයක් වුවත් එය සයිටම් ප්‍රශ්නයට වඩා වෙනස්. එදා ඔවුන් රජයේ පහසුකම් යොදා ගනිමින් තම ශිෂ්‍යයන්ට පුහුණුව ලබා දෙන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධියත් ඉල්ලා සිටියා. එය ප්‍රෝඩාවක්. සයිටම් එසේ නොවෙයි. ඔවුන්ට වෙන ම වෛද්‍ය විද්‍යාලයක් තිබෙනවා. එහි සුදුසුකම් ලත් ආචාර්යවරුන් ඉන්නවා. ඇතැම් රජයේ පීඨවලටත් වඩා පහසුකම් එහි තිබෙනවා. ඔවුන් තමන්ගේ ම වූ උපාධියක් ප්‍රදානය කරනවා.



සයිටම් ප්‍රශ්නය අවුල් කෙළේ වෛද්‍ය සභාවයි. එහි සභාපති කාලෝ ෆොන්සේකා රැල්ල අනුව යනවා. ඔහු එතැනට පත් කෙළේ පහුගිය ආණ්ඩුවෙන්. මා මේ පිළිබඳ දන්නා විස්තර කියන්නේ නැහැ. කාලෝ සයිටම් ගැන මා සමග වාදයකට එන්නේ නම් මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකියි. අද ඔහුත් සයිටම් ජනසතු කළ යුතු ය යන අදහසේ ඉන්නවා. එහෙත් එදා එහෙම නොවෙයි. ජනසතු ඉල්ලීම මෑතක ඇති වුවක්. සයිටම් පිළිබඳ  තිබුණේ  ප්‍රධාන වශයෙන් ම ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්. එයට හේතුව වූයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් නොපැමිණීම. මා ඉදිරිපත් කළ විසඳුමේ තිබුණේ මේ රෝහල ජයවර්ධනපුර නව රෝහල මෙන් රජයේ හා පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම. එහෙත් අද එයටත් වඩා දුර ගොස් රෝහල මුළුමනින් ම රජයට පැවරීමට කැමැත්ත පළ වී තිබෙනවා.  එවිට රෝගීන් නැති කමේ ප්‍රශ්නය විසඳේවි. 



මා ආණ්ඩුවේ විසඳුම සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවන්නේ එක් කරුණක දී. එහෙත් ප්‍රායෝගිකව එයට එකඟ වීමට සිදුවෙනවා. මා ඉල්ලා සිටියේ සයිටම් උපාධිධාරීන්ගේ සීමාවාසික කාලය මාස හයකින් හෝ අවුරුද්දකින් හෝ දීරඝ කරන ලෙස. එහෙත් එය කළ යුතු වන්නේ වෛද්‍ය සභාවෙන්. මේ පිළිබඳවත් මා මගේ ලිපිවල විස්තර කර තිබෙනවා. අද ආණ්ඩුව ඒ වැඩෙත් භාර ගෙන තිබෙනවා. එය ප්‍රායෝගිකයි.  සයිටම් උපාධිධාරීන්ට මාස හයක අතිරේක පුහුණුවක් ලබා දීමට අදාළ අමාත්‍යාංශ දෙක කටයුතු කර තිබෙනවා. එයින් කියැවෙන්නේ නැහැ සයිටම් උපාධියේ තත්වය බාල කියා. උපාධි මට්ටම තීරණය කරන්නේ අදාළ ආයතනය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින්. එය වෛද්‍ය සභාවේ කටයුත්තක් නො වෙයි. වෛද්‍ය සභාවට කළ හැක්කේ ස්ථිර ලියාපදිංචිය දීමට පෙර අවශ්‍ය නම් උපාධිධාරීන්ට වැඩිදුර පුහුණුවක් ලබා දීමයි. අද රජයේ වෛද්‍ය උපාධිධාරීන්ට මෙන් ම පිටරට උපාධිධාරීන්ට ද සීමාවාසික පුහුණුවක් ලබා දෙන්නේ ඒ පදනමෙන්. ඔවුන්ටත් සායනික පුහුණුව මදි. ඒ සීමාවාසික පුහුණුව ලබා දීම නිසා රජයේ වෛද්‍ය පීඨවල උපාධිය බාල්දු වෙනවා කියා කිසිවකු කියන්නේ නැහැ.



ආණඩුව සයිටම් ප්‍රශ්නයට විසඳුමක් දී තිබෙනවා. ඒ සාකච්ඡා නොකර නො වෙයි. එහෙත් ඒ අතර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සටන මැද අලුත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එසේ කරන්න බැහැ. තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දීමේ දී අලුත් ඉල්ලීම් ඉදිරිපත් කිරීම වෘත්තීය සමිති සම්ප්‍රදාය නො වෙයි. අනෙක එය අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. සයිටම් ජනසතු කරන්න කියන්නේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වීමෙන්. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට පහරක් නො වෙයි. මගේ ලිපිවල ඒ බව පැහැදිලි කර ඇති.



අනෙක අද මේ ඊනියා සමාජවාදීන් විරුද්ධ වන්නේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට පමණයි. මෙරට වෙනත් ක්‍ෂෙත්‍රවල උපාධි ලබා දෙන පෞද්ගලික ආයතන රාශියක් තිබෙනවා. එමෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති විවෘත විශ්වවිද්‍යාලයේත් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙත් මුදල් අය කරනවා. කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයකුත් තිබෙනවා. වෛද්‍ය නිලධරීන්ගේ සංගමයට පැහැදිලි ප්‍රතිපත්තියක් හෝ ස්ථිර ප්‍රතිපත්තියක් හෝ නැහැ. ඔවුන් මේ ප්‍රශ්නය උඩ මහා වැඩවර්ජනයක් කැඳවන්නේ නම් එය බලය ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. දේශපාලන ව්‍යාපාරය පිටුපස අනාගත ඇමතිවරුන් වීම ආදිය ගැන විවිධ පුරෝකථනත් තිබෙනවා. මට ඒ පුරෝකථන ගැන අත්දැකීම් තිබෙනවා. එහි දී තමයි සම්භාවිතාව වැදගත් වන්නේ. මහා වැඩ වර්ජනයක් කැඳවන්නේ නම් වෛද්‍ය නිලධාරි සංගමය කරන්නේ ආණ්ඩුවට මර්දනය සඳහා ආයුධ සැපයීමක්.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 06