History

Monday, 19 June 2017

අපි මහා විහාරයේ


වෙල්ලස්සේ කුමරු සමරා පැමිණ මසකට පසු 1998 මාර්තු 04 වැනි දා මගේ පියා මිය ගියා. මේ ඒ නිමිත්තෙන් මා ලියූ ලිපිය. එය 1998 අප්‍රේල් 05 වැනි දා ඉරිදා දිවයින පුවත්පතේ පළ වුණා. මේ ලිපිය නැවත පළ කරන මෙන් භික්‍ෂූන් වහන්සේ නමක හා කිහිප දෙනකු ඉල්ලා සිටියා. ඒ අනුවයි මෙය පළ වන්නේ. එකල පුවත්පතකට ලියූ ලිපියක් බැවින් මෙය තරමක් දිගයි. මේ ලිපිය ලිවීමෙන් පසු මෙරට ඉතිහාසය ගැන මගේ අදහස් මූලික වශයෙන් වෙනස් වි නැහැ. ඉතිහාසය ගැන එකල නොකී සමහර දේ පසුව එකතු වී ඇති කරුණුත් සමග මා මෙකල කියනවා. ඒ පිළිබඳ විස්තරයක් පසුව පළ කරන්නම්. මේ ලිපිය මට ලබා දුන් මිත්‍රයකුට මගේ කෘතඥතාව හිමි වෙනවා.



2017 ජූනි 19









අපි මහා විහාරයේ



මෙම ලිපිය එක් අතෙකින් ගත්කල පසුගියදා මිය ගිය මගේ පියාගේ ගුණ සැමරීම සඳහා ලියැවෙන්නකි. අනෙක් අතින් පිය (මව්පිය) උරුමය හා ජාතික උරුමය හඳුනාගැනීම නිමිති කරගෙන ලියැවෙන්නකි. අප පියාගේ ගුණ සැමරීම ජාතික පුවත්පතක් මගින් කළයුත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පළමුව පිළිතුරක් දිය යුතුය. එයට ප්‍රධාන හේතුව අප පියා මා නිසා ජනමාධ්‍යයෙහි කතාබහට ලක්වී තිබීමය. වරක් සංදේශය වැඩසටහනෙහි ප්‍රධානියා මා දේවාදිත්‍ය කෙනකු බව පවසමින් (පාරම්පරිිකව ?) සිංහලයකු නොවන බවත් ඇඟවීමට උත්සාහ කළේය. තමන් මහා පඬිවරුන් යැයි සිතා සිටින ඇතැම් ජනමාධ්‍යකරුවන් මගේ නම සඳහන් කරන්නේ දේවාදිත්‍ය නලින් ද සිල්වා යනුවෙනි. ඔවුන් සිතන්නේ පිය උරුමයෙන් මට ලැබුනු දේවාදිත්‍ය යන්න සැඟවීමට මා උත්සාහ කරන බවය. එහෙත් ඔවුන් නොදන්නා කරුණක් වෙයි. මගේ දරුවන් ලෝකයෙහි පෙනීසිටින්නේ දේවාදිත්‍ය නමින් ය. පෘතුගීසි ද සිල්වා යන්නට වඩා ආසියාතික දේවාදිත්‍ය (ආදිත්‍ය යන්න උතුරු ඉන්දියාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ ද භාවිතයෙහි ඇති නමකි) අපට මනාප ය.




පසුගිය දිනෙක (1998 මාර්තු 8 ඉරිදා) එක් ප්‍රසිද්ධ ලේඛකයෙක් අප පියා ද ඇතුළු පිරිසක් සාම්ප්‍රදායික පාරම්පරික සිංහලයන් නොවන බව කීවේය. මේ සියල්ලන්ට ම ප්‍රශ්නය වී ඇත්තේ අප පියාගේ පරම්පරාව කිනම් කාලයක දී සිංහලයන් වී ද යන්න ය. මොවුන් ජාතිය හා ජාතිකයා යන්න අවබෝධ කරගන්නේ ලේ උරුමය මතය. එහෙත් ලේ මගින් ජාතිය නිර්ණය කළ නොහැකි බව කවුරුත් දනිති. ජාතිය නිර්ණය වන්නේ ප්‍රධාන වශයෙන් ම සංස්කෘතිය, ජාතික විඥානය ආදිය මතය. මට පියාගෙන් උරුම වූයේ පාරම්පරික අඛන්ඩ සංස්කෘතියකි. එම අඛන්ඩ සංස්කෘතිය තුළට ඔහුගේ කිනම් මී මුත්තා අවශෝෂණය විණි ද යන්න ඇතැම් ජනමාධ්‍යකරුවන්ට ප්‍රශ්නයක් වුව ද ප්‍රශ්නයක් නො වේ. ඒ මී මුත්තා විජයට පෙර සිටිය ද ඉන් පසුව සිටිය ද අපට පියාගෙන් උරුම වූයේ සිංහල සංස්කෘතියයි. එය මහා විහාරයේ සම්ප්‍රදායයි. ජාතිය ලේ වලින් නිර්ණය කරන්නා අවසාන වශයෙන් තහවුරු කරන්නේ ජාතියක් නොමැති බව ය. එයට හේතුව කිසිම කෙනෙකුට ඉතිහාසයේ ඈත කොනට විහිදෙන අමිශ්‍ර පරම්පරාවක් පෙන්විය නොහැකි වීම ය.



තරුණ වියෙහි දී පුතුන්ට බොහෝ විට තම පියා තේරුම් ගත නො හැකිය. පිය සෙනෙහස මවු සෙනෙහස මෙන් ප්‍රකාශිත වන්නක් නොවේ. පිය පුතුන් අතර ඇතැම් විට ඇත්තේ ගැටුමකි. විශේෂයෙන් ම පියා විසින් අදීනව සිතන්නට පුරුදු කෙරෙන පුතුන් සම්බන්ධයෙන් ඒ ගැටුම තරමක් තීව්‍ර වෙයි. එහෙත් පුතුන්ට පියා අභිබවා යෑමේ (රජ වීමෙන්, දේපොල හිමිකර ගැනීමෙන් හෝ වෙනත් අයුරකින්) අවශ්‍යතාවක් නොමැති නම් පුතුන් තරුණ කල ඇතිවෙන මෙම ගැටුම ක්‍රමයෙන් තුනී වෙයි. විශේෂයෙන් ම පුතුන් ද විවාහ වී දරුවන් ලැබූ විට එම ගැටුම නැත්තටම නැතිවී යයි. පුතා පිය උරුමය හා ඇට මිදුළු තුළට වැදෙන පිය සෙනෙහස කුමක් දැයි තම වැඩිමහල් පුතා (දුව) තුළින් ම දකියි.



තම පියා මැරීමට තීරණය කළ අජාසත් රජු පවා තමන්ට පුතෙකු උපන් බව දැනගත් මොහොතේ පිය සෙනෙහස අවබෝධ කර ගත්තේ ය. ඔහු තම තීරණය වෙනස් කෙළේ ය. එහෙත් ඒ වන විට බිම්බිසාර රජු පුතාගේ දණ්ඩනයට බිලි වී අවසාන ය. සිංහබාහු සිංහයා මැරීමට ගියේ ඔළමොට්ටලකම හේතුවෙන් ද? නැතිනම් ප්‍රාන්ත රජුගේ පෙළඹවීම උඩ ද? කෙසේ වෙතත් සිංහබාහුට පුතකු (දරුවකු) සිටියේ නම් ඔහු සිංහයා මරාවි ද? සිංහබාහුට හීනමානයක් වී නම්, තම පියා "වැදගත්" මිනිසකු නොවන බව අනෙක් අය දැනගැනීම වැළැක්වීමට අවශ්‍යතාවක් වී නම් ඔහු කෙසේ ක්‍රියා කරනු ඇත් ද?



ඒ කෙසේ වුවත් ජනප්‍රවාදය අනුව ඒ සිංහල ජාතියේ ආරම්භයයි. මෙම සිංහල ජාතියෙහි නොයෙකුත් වර්ග වල පුත්තු ඉපදෙති. ඇතැම් පුත්තු තම උරුමය හඳුනාගනිති. ඇතැම්හු තම උරුමය විකුණති. තවත් පුත්තු උරුමය මරා දමති.



අපේ පියා සිංහල ගුරුවරයෙක් විය. මව ද සිංහල ගුරුවරියක වූවා ය. අපි සිංහල ගුරුවරුන්ගේ දූ පුත්තු වෙමු. සිංහල ගුරුවරයකු වූ පියා අපට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට ලංකාවේ ලබාගත හැකි ඉහළ ම බටහිර අධ්‍යාපනය ලබා දුන්නේය. එහි අවදානමක් නොතිබුණා නො වේ. එහෙත් ඉන් ලැබුණු ප්‍රයෝජන ද විය.



පළමුවෙන් ම පියාගේ ඒ ක්‍රියාව හේතු කොටගෙන හීනමානයක් ඇතිවීමට යම් ඉඩක් තිබුණද එය නැතිවී ගියේ ය. ඉහළ ම පෙළැන්තියේ වූවන් අවුරුදු දොළහේ පමණ සිට ඇසුරු කිරීමට ලැබීම හේතුවෙන් ඔවුන් බොහෝ දෙනා පුස්සන් බව ඉක්මනින් ම අවබෝධ කර ගැනීමට හැකිවිය. ඔවුන්ගේ ඊනියා පෞරුෂය ඇඳුමට පැළඳුමට, ගමනට බිමනට, ඉංගිරිසි කතාබහට හා කෑම මේසයේ සිරිත්වලට පමණක් සීමාවන බව අත්දැකීමෙන් ම දැනගත හැකි විය. කිසිවකු හෝ කිසිවක් අනුකරණය කිරීමට අවශ්‍ය නො වීය. එහෙත් ලැබුණු අධ්‍යාපනයෙන් අතරමං නොවුනා නො වේ. එසේ වුවද එය කෙටි කාලීන විය.



ඕනෑම දෙයක් පිළිවෙලකට හා හරියට කිරීම අපේ පියාගේ පිළිවෙත විය. ඔහුට හොඳ විචාර බුද්ධියක් විය. ඔහු ඉගැන්වීමට වඩාත් ප්‍රිය කළ විෂය වූයේ සාහිත්‍ය විචාරයයි. ඔහු හොඳ රසිකයෙක් ද විය. තමා පාසලේ ඉගැන්වූ සාහිත්‍ය පාඩම ගැන පියා ඇතැම් දිනක මව සමග සාකච්ඡා කළේ ය. ඇතැම් දේ නොතේරුණ ද මම ඒ සාකච්ඡා මගින් බොහෝ දේ ඉගෙන ගත්තෙමි. සැළලිහිණිය, ගුත්තිලය ගැන අප දැනගත්තේ කුඩා කළ ය. ටවර් හෝල් නාට්‍ය බැලීමට අපි පාණදුරේ සිට දුම්රියෙන් ගියෙමු. මට අවුරුදු අටේදී පමණ කැළෑහඳ චිත්‍රපටිය බලා අප වැල්ලවත්තේ සිට ආපසු පැමිණියේ දුම්රියෙනි. පාණදුරේට පැමිණෙන තුරු පියා කැළෑහඳ චිත්‍රපටිය පතුරු ගැසූ බව මතක ය. පනස් හයේ පෙරළිය මනප්පුවන්ගේ වැඩක් යැයි කියන්නන් සමාජවිද්‍යා මනප්පුවන් බව ඔහු දැන සිටින්නට ඇත.



ඕනෑම විචාරයක් කෙළවර වන්නේ දර්ශනයෙනි. පාසලේ දී දර්ශනය හැදෑරීමට අවස්ථාවක් නො වීය. ගණිතය හා භෞතික විද්‍යාව එයට සුදුසු ආදේශයක් පමණක් නොව බටහිර දැනුමෙහි අග්‍රඵලය ද වෙයි. විශ්ලේෂණය, තර්කය, ඌණිත වාදය ආදිය නහර දිගේ ගමන් කරන්නට පටන් ගත්තේ එම ඉගෙනුමත් සමග ය. එහෙත් ඒ සමග පිය පුතු ගැටුම ද ඇරඹෙයි.



පියාගේ සාහිත්‍ය විචාරය සමස්තයෙන් වෙන් වූවක් නො වේ. පුතාගේ විශ්ලේෂණය සංස්ලේෂණයෙන් වියෝ වෙයි. ශක්‍රයා සීලවතී බිසවගේ නැබ පිරිමැද ගැබක් ලබා දුන් බව කියමින් පියා සිනාසෙයි. නැබ පිරිමැදීමෙන් දරුවන් ලැබෙන්නේ කෙසේ දැයි පුතා අසයි. පුතා පියාගේ ලෝකයෙන් ඈතට යයි. පුතා මහා විහාරයෙන් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් සම්ප්‍රදායට යයි.



තම වැඩිමහල් පුතාගේ උපත සමග පිය සෙනෙහස අත්දැකීමෙන් ම අවබෝධ කරගෙන පිය පුතු ගැටුම සමනය කරගන්නා පුත්තු වෙතැයි කලින් කීවෙමි. පුතකු (දුවක) යනු තමා නිසා උපන් නිර්මාණයකි. පුතා පියා වෙත එම නිර්මාණයත් සමග ආපසු යයි.



එවැන්නක් ශාස්ත්‍රීය ලෝකයෙහි ද සිදු වෙයි. තමාගේම වූ නිර්මාණයක් කිරීමට ගිය තැන හීනමානයෙන් තොර වූ විචාර බුද්ධියක් ඇති අයකුට තම සම්ප්‍රදාය සොයා යෑමට සිදුවෙයි. එසේ නැතහොත් තම නිර්මාණය වෙනුවට අනුන්ගේ (බටහිරයන්ගේ) දරුවන් වූ (නිර්මාණ) දැනුම පෝෂණය කරමින්, එය හුවා දක්වමින් මියයන තුරු අලින්ගේ අපේ වැඩ යැයි කියමින් පම්පෝරි පොරවල් ලෙස ජීවත්වීමට සිදුවෙයි. කිසියම් දෙයක ඉහළම ඵලය අත් නොදැකීම ඒ පිළිබඳ හීනමානයක් ඇති කරගැනීමට ඇතැම් විට තුඩු දෙයි.



මහා විහාර සමිප්‍රදායයෙන් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් සම්ප්‍රදායට ගිය පුතකු බොහෝ විට ආපසු එන්නේ අභයගිරි සම්ප්‍රදාය ඔස්සේ ය. ඔහු කලක් අභයගිරියෙහි වාසය කරයි. ඉන් පසුව මහා විහාරයට පැමිණෙයි. එය සැබැවින්ම පිය උරුමය හා පිය සෙනෙහස සොයා යෑමකි.



සිංහල ජාතියේ මුර දේවතාවුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ය යන්න සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් මෙය සිංහල ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ථෙරවාද භික්‍ෂූන් වහන්සේ යනුවෙන් සංශෝධනය විය යුතු ය. මහා විහාරය හා මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ සිංහල ජාතියේ පැවැත්ම සඳහා කර ඇති කාර්යභාරය අපි තවමත් හරිහැටි අවබෝධ කරගෙන නැත්තෙමු.



දකුණු ඉන්දියාවට ඉතා ආසන්නයේ පිහිටි අප රට හින්දු සංස්කෘතිය තුළ ගිලී යෑම නැවැත්වීම සුළුපටු දෙයක් නොවේ. විවිධ ආක්‍රමණ හමුවේ සිංහල ජාතියේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය මතවාදය (සංකල්ප, ප්‍රවාද), නිර්මාණය වූයේ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ අතිනි. අටුවා ටීකාදිය ලිවීමෙන් නව දැනුම නිර්මාණය කිරීමෙහි ද උන්වහන්සේ දායක වූහ. අසල්වැසි භාරතයෙන් බුදු සසුන තුරන් වනු උන්වහන්සේ දුටුවෝ ය. එහි බලපෑම ලංකාවට ද දැනෙන බව  උන්වහන්සේ අවබෝධ කර ගන්නට ඇත. හින්දු සංස්කෘතික ආක්‍රමණයට හසු වූවා නම් ලංකාවෙන් නැතිවෙන්නේ බුදු සසුන පමණක් නොවන බවත් ඒ සමග සිංහල ජාතිය ද නැතිවන බවත් උන්වහන්සේට තේරුම් යන්නට ඇත.



භාරතයේ බෞද්ධයන් වූයේ පසු කලෙක හින්දු සංස්කෘතිය බිහිකල ජනතාව ය. බුදු සසුන භාරතයෙන් නැතිවී ගිය ද භාරතීය ගෝත්‍රවල විශාල වෙනසක් සිදු නො වීය. එහෙත් ලංකාවේ එසේ නොවේ. මෙහි බුදු සමය පැරණි හෙළ ඇදහිලි සමග මිශ්‍ර වූවක් විය. බුදු සමය හේතු කොටගෙන සිංහල ජාතිය, ජාතියක් ලෙස වෙනස් නොවීය. එහි දී වූයේ වැවට දාගැබ එකතු වීමකි. එය රන් රස සේ විය. පැරණි දේවාල නැති නොවිණ. තවමත් අප රටේ පන්සල් සමග දේවාල ඇත. මේ දේවාල යනු හින්දු කෝවිල් නොවේ. කතරගමද ඇත්තේ හින්දු කෝවිලක් නොව දේවාලයකි. දේවාලවල දෙවිවරු පැරණි හෙළ දෙවියෝ වූහ. පසු කාලයකදී මෙම දෙවිවරු හින්දු දෙවිවරුන් සමග මිශ්‍රවීමක් දැකිය හැකි වුවද සමස්තයක් ලෙස ගත් කල දේවාල කෝවිල් බවට පත් නො විණි. දේවාල කෝවිල් ලෙස සලකන්නේ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය නො දන්නවුන් ය.



හින්දු ආක්‍රමණයකින් හෙළ දෙවි සිංහල බෞද්ධකම නැතිවී වෙනම ජාතියක් ඇතිවීමට තිබූ අනතුර දුටු මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ එය වැළැක්වීම සඳහා පියවර ගත්හ. ථෙරවාදය රැකගැනීම ඉන් එක් පියවරක් විය. බුදු දහම, එනම් ථෙරවාදී බුදු දහම රැක ගැනීම සිංහලයන්ගේ පරම වගකීමක් බවට පත් කරගැනීම ඉන් ගලා එන්නක් විය.



දුටුගැමුණු එළාර යුද්ධය රජවරුන් දෙදෙනකු අතර කෙරුණු දේශපාලන යුද්ධයක් බව ඇතැම් ඊනියා මහාචාර්යවරු පවසති. එය බලාගෙන "ප්‍රබුද්ධ" නාට්‍යකරුවෝ ටෙලිනාට්‍ය නිර්මාණය කරති. මොවුන් නොදන්නවාට ඕනෑම යුද්ධයක් දේශපාලන යුද්ධයකි. උප කුලපති පුටුවට තරඟ කිරීම පවා එක්තරා දේශපාලන අරගලයකි. දුටුගැමුණු එළාර යුද්ධය යනු ආක්‍රමණිකයකුට එරෙහිව විමුක්තිදායකයකු විසින් කරන ලද යුද්ධයකි. (වැඩි විස්තර සඳහා නිදහසේ පහන් ටැඹ, සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ හැඳින්වීමක් කියවන්න)



එළාරගේ ආධිපත්‍යය ව්‍යාප්ත විණි නම් මෙරට සිංහල කතා කරන සිංහල ජනතාවක් නොවන්නට ඉඩ තිබිණි. එළාර පරාජය කර වැඩි කල් යෑමට මත්තෙන් වලගම්බා කාලයේදී ම අනුරාධපුරය නැවත වරක් පරසතුරන් අතට පත් විය. මගේ නිගමනය නම් මහා විහාරික භික්‍ෂූන් වහන්සේ සිංහල ජාතියේ පැවැත්ම පිළිබඳව නිරවුල් මතවාද සකස් කරන්නට ඇත්තේ වලගම්බා සමය ආසන්නයේදී බව ය. බුදු දහම ග්‍රන්ථාරූඨ කිරීම මෙකල සිදුවූ වැදගත්ම කාර්යයක් වෙයි.



නාගර්ජුනපාදයෝ ඉතාම විශිෂ්ට දාර්ශනිකයෙක් වූහ. එහෙත් උන්වහන්සේගේ දර්ශනය පසු කලෙකදී හින්දු දර්ශනය මගින් යට කෙරිණි. ඇතැමුන් ථෙරවාදය හා මහායානය අතර වෙනසක් නැතැයි කීව ද, මම එය නො පිළිගනිමි. මට තේරෙන අයුරින් නම් ප්‍රඥා පාරමිතා සූත්‍රයෙහි ගැටළු තැන් ඇත. නාගර්ජුනපාදයන්ගේ ශුන්‍යතාවය අවසානයේදී ආත්මීයභාවයක් අත්කර ගනියි. ශුන්‍යතාවාදයෙහි සිට නිරගුණ බ්‍රහ්මන්ට ඇත්තේ කෙටි දුරකි. එම සංකල්ප එකම කාසියක දෙපැත්ත මෙනි.



මෙවැනි අදහස් මහා විහාරික භික්‍ෂූන් වහන්සේට ද ඇති වී උන්වහන්සේ ථෙරවාදී නොවන අදහස් ව්‍යාප්ත වීම වැළැක්වීමට විශේෂ අවධානයක් දැක්වූයේ නම් එහි ඇති වරදක් නැත. මහායාන අදහස් ථෙරවාදය තුළට නොගත්තේය යන්න මින් ගම්‍ය නොවේ. එම අදහස් ඉතා සුපරික්‍ෂාකාරී ව ගනු ලැබිණි. මේ සම්බන්ධයෙන් බෝධිසත්ව සංකල්පය කදිම නිදසුනකි. බෝධිසත්ව සංකල්පය ථෙරවාදයට පැමිණියේ මහායානයෙන් වුවත් සියළු මහායානික බෝධිසත්ව සංකල්ප ථෙරවාදය තුළට නොගැණින. බෝධිසත්ව යන්න අද ථෙරවාදය තුළ ගැනෙන්නේ එයට ම ආවේනික අයුරකිනි.



මහාවිහාරික භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධාන කාර්යය වූයේ ජාතිය රැකීමය. ජාතිය ථෙරවාදය සමග මුසු කිරීමෙන් ථෙරවාදය රැකෙන විට ජාතියත්, ජාතිය රැකෙන විට ථෙරවාදයත් රැකෙන බව උන්වහන්සේ අවබෝධ කරගත්හ.



මෙහි අනෙක් පැත්ත විජාතික බලවේග අවබෝධ කරගෙන ඇත. බ්‍රිතාන්‍ය පාලකයන් දැන සිටි කරුණක් නම් ථෙරවාද භික්‍ෂූන් වහන්සේ සිටින තුරු සිංහල ජාතිය දණ ගැස්සවිය නොහැකි බවය. අද පවා පැකේජයට විරුද්ධ ප්‍රධාන බලවේගය භික්‍ෂූන් වහන්සේ ය. එබැවින් භික්‍ෂු ශාසනය දුර්වල කිරීමට ඔවුහු විවිධ පියවර ගත්හ, ගනිති.



වරින් වර මතුවූ තාපස නිකාය ආදිය ද අප හඳුනාගත යුත්තේ මෙම පසුබිම තුළ ය. භික්‍ෂු ශාසනයේ අඩුපාඩුකම් නැතැයි මින් නො කියැවේ. එහෙත් ශාසන ශෝධනයක් කළයුත්තේ විජාතික රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටින නිසා නොවේ. ඇන්. ජී. ඕ. පරයන්ගේ (පිටස්තරයන්ගේ) ඉල්ලීමට ශාසන ශෝධන කරන්නේ කවුද? ශාසන ශෝධනයක් කළයුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක, ප්‍රබල බෞද්ධ නායකයකු ඇති විටෙක සුපේශල ශික්‍ෂාකාමී මහා සංඝරත්නය විසිනි.



මෙහෙණිසස්න ගැනද බැලිය යුත්තේ මේ පසුබිමෙහි ය. භික්‍ෂුණී ශාසනය ඇති කිරීමෙන් කාන්තා විමුක්තිය අත්වන්නේ ද නැත්ද යන්න ආදිය ව්‍යාජ ප්‍රශ්නය. කාන්තා විමුක්තිකාමිනියන්ගෙන් කී දෙනකුට භික්‍ෂුණීන් වීමේ අවශ්‍යතාවක් වේද? භික්‍ෂුණී ශාසනය ඇති කිරීම පිළිබඳ විනය ප්‍රශ්නය සාකච්ඡා කිරීම අපට පසුවට කල් තැබිය හැකිය. ප්‍රශ්නය වන්නේ අද භික්‍ෂුණී ශාසනය ඇති කිරීමෙන් භික්‍ෂු ශාසනය දුර්වල වන්නේ ද නැති ද යන්න ය. එමගින් ජාතියේ පැවැත්මට ඇති තර්ජන මදිවාට තවත් තර්ජනයක් එල්ල වේ ද යන්න ය.  

 

සියලු සිංහල විරෝධී රාජ්‍ය නොවන සංවිධාන භික්‍ෂුණී ශාසනයට ආවඩති. එය වුව ද සැලකිල්ලට ගත යුත්තකි. එසේ නිගමනය නම් මේ අවස්ථාවේ දී තකහනියක් භික්‍ෂුණී ශාසනයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ භික්‍ෂු ශාසනය දුර්වල කිරීමේ අදහසින් බව ය. මෙරට ථෙරවාද භික්‍ෂුන් වහන්සේගේ අප්‍රමාද කාර්යය දුක නැති කිරීමට වඩා ජාතිය රැක ගැනීම ය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ මහා විහාර සම්ප්‍රදායයි.



මහා විහාරයේ දුර්වලකම් නැත් ද? මහා විහාරික භික්‍ෂුන් වහන්සේ අතින් වරදක් සිදුවී නැත ද? මේ ප්‍රශ්න ඇන්.ජී.ඕ. කාරයන් සමග සාකච්ඡා කරන්නේ කවුද? අපේ දෙමවුපියන්ගේ දුර්වලකම් ඇතොත් ඒවා කතා කළ යුත්තේ පවුල තුළ මිස පවුලේ හතුරන් ද සහභාගි කර ගැනීමෙන් නොවේ. මගේ පියාට පහර දීමට යමකු පැමිණියේ නම් මා කරන්නේ කුමක්දැයි මම දනිමි. විජාතික බලවේග එක්වී මහා විහාරයට පහර දෙන විට අප කළ යුත්තේ කුමක් ද? 



රෙදි බැනියම් අඳින පියා ගැන ලජ්ජා වීමට බ්‍රිතාන්‍ය අධ්‍යාපනය, ඇතැම් මැද පංතිකයන්ට සාර්ථකව උගන්වා ඇත. මහා විහාරික සම්ප්‍රදාය ගැන ද එවැනි අයුරකින් සිතීමට ඔවුහු අපට ඉගැන්වූහ. අපි එම අධ්‍යාපනය ප්‍රතික්‍ෂේප කරමු. විසි එක් වන සියවසට අධ්‍යාපනය සකස් කිරීමට කතා කිරීම වැරදි ය.



මහා විහාරික භික්‍ෂූන් වහන්සේලා කලක් අටුවා ටීකා ලියූහ. අපට නැවතත් අටුවා ටීකා ලිවිය හැකි ය. අටුවා ටීකා යනු නව දැනුම ය. නව නිර්මාණ ය, මහායානය දෙස ද ථෙරවාදී ඇසකින් බලමු. ශුන්‍යය ථෙරවාදයට එකඟය. එහෙත් ශුන්‍යතාවාදය ථෙරවාදය සමග එකඟ නොවේ.



මහායානයත් ථෙරවාදයත් දෙකම එක යැයි කීම මුසාවක් පමණක් නොවේ. එය විජාතික පණින රිලවුන්ට ඉණිමං බැඳීමක් ද වෙයි. විජාතික බලවේගවල නියෝජිතයෝ අද බෞද්ධ දාර්ශනික අංශවලට ද රිංගාගෙන ඇත. ශිෂ්‍යත්ව, අධි ශිෂ්‍යත්ව, විදේශ ගමන් ආදිය ථෙරවාදයත්, ඒ සමගම සිංහල ජාතියත් ගිලා ගනිමින් සිටියි.



මගේ පියා මිය ගියේය. එහෙත් පිය උරුමය හා පියාගේ මතකය පිළිබඳ වූ සෙනෙහස නො මියෙයි. පියා මියගිය ද අපි ජීවත් වූ ඔහුගේ දරුවෝ වෙමු. ඒ බව ලෝකයාට හඬ නඟා කීමට අපට කිසිදු ලජ්ජාවක් හෝ බියක් නැත.



මහා විහාරය අද අනුරපුර නැත. එහෙත් එහි උරුමය සම්ප්‍රදාය හා ඒ පිළිබඳව වූ සෙනෙහස අප තුළ ජීවත් වෙයි. අපි මහා විහාරයේ වෙමු. ඒ බව අපි හඬ නඟා කියමු.මහා විහාරය ගැන නොකියන ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, සෝබෝන්, හාවඩ් හෝ වෙනත් උරුමයන් ගැන කියන්නා කාගේදෝ පුතකු වීමට වලිකන්නෙකි. ඔහුට තම පියා කවුදැයි නිච්චියක් නැද්දැයි නො දනිමු.



1998 අප්‍රේල් 05