History

Friday, 23 June 2017

ද්විකෝටිකය ගැන  



ද්විකෝටිකය ගැන



පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන සෑම ප්‍රතිචාරයක් ම මා කියවන්නේ නැහැ. කියවන ඇතැම් ප්‍රතිචාරවලට පමණක් මා පිළිතුරු ලියනවා. ඒත් එයත් කලාතුරකින්. මුහුණු පොතේ අන් අයගේ ගිණුම් මා කියවන්නේ නැහැ. ඇතැම් විට මගේ මුහුණු පොත් මිතුරන්ගේ කැමැත්ත පළ කරන හෝ බෙදා හදා ගන්නා හෝ ලිපි ආදිය මගේ මුහුණු පොත් ගිණුමටත් ලැබෙනවා. මා ඉන් සමහරක් කියවා ඉතා සුළු ප්‍රමාණයකට පමණක් ප්‍රතිචාර දක්වනවා.





මුහුණු පොත පරිහරණය කරන්නන් බොහෝ බුද්ධිමත්. සයිටම් ගැන ඔවුන් දරණ මතය කෙතරම් විදග්ධ දැයි මට හිතෙනවා. ඔවුන් දන්නේ එක ම විසඳුමයි. ඒ සයිටම් අහෝසි කිරීම. ඔවුන්ගේ විසඳුම පමණක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඔවුන් කියනවා. ආණ්ඩු විරෝධී, අපේ කම ගැන කතාකරන ජනමාධ්‍යත් ඒ මතයට පක්‍ෂයි. ඒ අයට අනුව මා නිදහස් අධ්‍යාපනයට විරුද්ධයි. ඔවුන් නිදහස් අධ්‍යාපනය ගැන කියන්නේ කුමක් ද යන්න පැහැදිලි නැහැ. මේ ගැන මා ලිපි රාශියක් ලියා තිබෙනවා. එහෙත් මා ඉදිරිපත් කරන තර්ක බුද්ධිමතුන්ගේ තර්ක බුද්ධියට හසුවන බවක් පෙනෙන්නේ නැහැ. මා සයිටම් සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා, අනුරුද්ධ පාදෙණිය  සමග විවාදයකට කැමතියි. චතුර අල්විස්ට එය සංවිධානය කළ හැකි ද?





ඇතැම් විට මගේ ලිපි ගැන ප්‍රතිචාර ඒ ඒ අයගේ  ගිණුම්වල පළ කරන බව මට ඇතැමුන් කියා තිබෙනවා. ඒ සමහරුන් එවැනි ප්‍රතිචාර තම ගිණුම්වල පළ කරන්නේ මගේ ගිණුමෙහි අදාළ ලිපියට ප්‍රතිචාර දක්වන ගමන් බව කියා තිබෙන බවත් ආරංචියි. එහෙත් එවැනි ප්‍රතිචාර මගේ ගිණුමේ නම් පළ වී නැහැ. චින්තනය සම්බන්ධයෙන් ජෙරමි ලෙන්ට් ගැන මා ලියු ලිපියට දැක් වී යැයි කියන ප්‍රතිචාර එයට උදාහරණයක්. ජෙරමි ලෙන්ට් යථාර්ථයක් තිබෙන බව පිළිගන්නවා. ඔහු යථාර්ථයට එක් එක් සංස්කෘතියෙහි එක් එක් තේරුම් දෙන බව කියනවා. එහෙත් මා දක්වන ඥානවිභාගයෙහි යථාර්ථයක් කියා දෙයක් නැහැ. ඊනියා යථාර්ථ ද අපේ නිර්මාණ!  බුදුදහමෙහි ද ඊනියා යථාර්ථයක් නැති බව මගේ විශ්වාසයයි. එහෙත් වයි කරුණාදාස මහතාගේ සහ තවත් අයගේ පොත්පත්වල සඳහන් දෙයින් ගම්‍යවන්නේ යථාර්ථයක්, ධර්ම වාදයක්, ක්‍ෂණ වාදයක් මෙරට ථෙරවාදයට යම්  කිසිවකු යම් කාලයක එකතු කර ඇති බවයි. 





ඇතැමුන් ක්වොන්ටම් භෞතිකය නිවැරදි යැයි සිතන බවක් පෙනෙනවා. තවත් සමහරුන් සිතන්නේ චතුස්කෝටිකය නිවැරදිය කියා. මේ හැම එකක් ම මිනිසුන්ගේ නිර්මාණ බව බොහෝ දෙනා සිතන්නේ නැහැ.  නිව්ටෝනීය භෞතිකය ඇතුළු සම්භාව්‍ය භෞතිකය ද්විකෝටිකයේ. අප බොහෝ විට නිව්ටෝනීය හා සම්භාව්‍ය භෞතිකය නිවැරදි ලෙස සලකනවා. මතක තබා ගත යුතු කරුණක් නම් අයින්ස්ටයින්ගේ විශේෂ මෙන් ම සාධාරණ සාපේක්‍ෂතාවාදයත් සම්භාව්‍ය භෞතිකයට අයත් බව. අයින්ස්ටයින් සම්මත ක්වොන්ටම් විවරණවලට විරුද්ධ වුණා.





අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය භෞතිකයෙන් (හා ආශ්‍රිත ගැලීිලිය සාපේක්‍ෂතාවදයෙන්) වෙනස් වන්නේ අවකාශය හා කාලය එකම අවකාශ –- කාලයක් ලෙස සැලකීමෙන්. නිව්ටන් අවකාශය හා කාලය වෙන වෙන ම ගත්තා. ඒ වගේ ම කාලය ඒ ඒ නිරීක්‍ෂකයාට නිරපේක්‍ෂ ලෙසත් ගත්තා. එහෙත් අයින්ස්ටයින්ට කාලයත් සාපේක්‍ෂයි. අයින්ස්ටයින්ගේ පරිණාමන සමීකරණ නිව්ටන්ගේ පරිණාමන සමීකරණවලින් වෙනස්.





අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය විශේෂ සාපේක්‍ෂතාවාදයෙන් වෙනස් වන්නේ මූලික වශයෙන් අවකාශ –- කාලය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වන බව කීමෙන්. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද්‍රව්‍ය හා විකිරණ නිර්ණිත අවකාශ –- කාලයක චලනය වෙනවා. එහෙත් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි අවකාශ - කාලය නිර්ණය වන්නේ ද්‍රව්‍ය හා විකිරණ මගින්. එමෙන් ම ද්‍රව්‍ය හා විකිරණ එලෙස නිර්ණිත අවකාශ –- කාලයෙහි චලනය වෙනවා! එය තරමක් දුරට පොළොව සකස් කරමින් නටනවා වගේ වැඩක්.





නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යාය පිළිගත්තා. එක් අංශුවකට එක් මොහොත පැවතිය හැක්කේ එක් තැනක පමණක් බව ඔවුන්ගේ අදහස වූවා. එය අපේ අත්දැකීමයි. අප අපේ ලෝක නිර්මාණ කර ගන්නේ මේ අත්දැකීම් මතයි. එමෙන් ම යමක් සත්‍ය නම් එහි නිෂේධය අසත්‍ය යැයි අප කියනවා. යමක් අසත්‍ය නම් එහි නිෂේධය සත්‍ය යැයි අප කියනවා. එයත් අපේ පෘථග්ජන අත්දැකීම් මත පදනම් වන්නක්. එක් අංශුවක් එක් මොහොතක එක් තැනක පවතිනවා යන්න සත්‍ය නම් එහි එක් නිෂේධයක් වන (යම් ප්‍රස්තුතයක නිෂේධය ප්‍රකාශ කරන අයුරු කිහිපයක් ම තිබෙන්න පුළුවන්)  අංශුව ඒ මොහොතෙහි වෙනත් තැනක ඇත යන්න අසත්‍යයක්. ද්විකෝටිකය පදනම් වන්නේ අපේ පෘථග්ජන අත්දැකීම් මත. ද්විකෝටික න්‍යාය දෙවියන් දුන් දෙයක් නොව අපේ නිර්මාණයක්.





නාථ දෙවියන් ගැන අප කලකට ඉහත කතා කළා. දෙවියන් සමග කටයුතු කරන අය දන්නවා නාථ දෙවියන් යන්නෙන් එ දේව මණ්ඩලයෙහි විවිධ අය කියැවෙන බව. මේ ඇතැමුන් බූමාටු දෙවියන් වන්න පුළුවන්. නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගන්නවා කියන්නේ මේ දේව මණ්ඩලයෙන් දැනුම ලබා ගන්න එක. කොහොමටත් අප දැනගත් දෙයක් තමයි නාථ දෙවියන්ට එක් විට තැන් හයක ඉන්න පුළුවන් කියන එක. එය මගේ අත්දැකීමක් නොවන බව කිව යුතුයි. මට දෙවියන් සමග සංනිවේදනය කිරීමේ හැකියාවක් නැහැ.





චතුස්කෝටික න්‍යායෙහි ප්‍රස්තුතයක් සත්‍ය වන්නේ නම් එහි නිෂේධයත් සත්‍ය විය හැකියි. එමෙන් ම යම් ප්‍රස්තුතයක් අසත්‍ය නම් එහි නිෂේධයත් අසත්‍ය විය හැකියි. එය සමහරුන්ගේ අත්දැකීමක් නොවන්න පුළුවන්. අප අපේ ලෝක තනා ගන්නේ අපේ අත්දැකීම් මත පදනම් ව. අංශුවක් මේ මොහොතේ මෙතන ඇතැයි කියන එක මෙන් ම වෙනත් තැනක ද ඇතැයි කියන එකත් සත්‍ය වන්න පුළුවන්. අංශුවක් මෙතන ඇත කියන එකේ එක් නිෂේධයක් විය හැකියි අංශුව වෙනත් තැනක ඇතැයි කීම. (මෙහි දී කිව යුත්තක් නම් නිෂේධය යන්න ද්වි අගය මත පදනම් වූ සංකල්පයක් බව.)  ඇරිස්ටෝටලීය න්‍යාය කෝටික දෙකක් පමණක් නොව ද්වි අගය (අගය දෙකක්) සහිත න්‍යායක්. සාමාන්‍යයෙන් භාවිත චතුස්කෝටික න්‍යාය කෝටික හතරක් මත ද අගය දෙකක් මත ද පදනම් වූ න්‍යායක්. විවිධ අගය හා විවිධ කෝටික මත පදනම් වූ න්‍යාය තිබෙනවා. මේ ඇතැම් න්‍යාය අත්දැකීම් මත පදනම් නොවූ වියුක්ත න්‍යාය වෙන්න පුළුවන්.





ක්වොන්ටම් භෞතිකයේ ඇතැම් නිරීක්‍ෂණ ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් ව විස්තර කරන්න බැහැ. බටහිරයන් තමන්ට ක්වොන්ටම් භෞතිකය නොතේරෙනවා යැයි කියන්නේ එබැවිනුයි. ක්වොන්ටම් භෞතිකයේ ඒ නිරීක්‍ෂණ චතුස්කොටික න්‍යාය මත පදනම් ව විස්තර කරන්න පුළුවන්. අංශුවක් එක විට දෙතැනක තිබිය හැකි බව චතුස්කෝටික න්‍යායට එකඟයි. මා ක්වොන්ටම් භෞතිකය සිංහල බෞද්ධයනට තේරෙනවා යැයි කියන්නේ නාථ දේව කතා අප අසා ඇති බැවින්. ඒ අපේ අත්දැකීම් නොවුණත් දෙවියන් සමග ගනුදෙනු කරන අයගේ අත්දැකීම්.





එහෙත් මෙයින් කියැවෙන්නේ නැහැ ක්වොන්ටම් භෞතිකයවත්, එහි අර්ථකථනවත් සත්‍ය යැයි කියා. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ චතුස්කෝටික න්‍යාය සත්‍ය යැයි කියා. මේ සියල්ල අපේ නිර්මාණ. මේ සියල්ල බොරු. බොරුවෙහි නිෂේධය සත්‍ය විය යුතු නැහැ. එසේ වන්නේ ද්විකෝටිකයට අනුව. බොරුව බොරුවක් බව අවබෝධ කර ගැනීම සත්‍යය අවබෝධ කර ගැනීමක් විය හැක්කේත් ද්විකෝටිකයේ. ඉංගිරිසි භාෂාව ද්විකෝටිකයේ. සිංහල භාෂාව චතුස්කෝටිකයේ. අප යනඑන ගමන් වැනි ප්‍රකාශ කරන්නේ එබැවිනුයි.











මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.





http://www1.kalaya.org





නලින් ද සිල්වා





2017 ජූනි 23