History

Tuesday, 6 June 2017

ආසියාව පාලනයට බුද්ධාගම  


ආසියාව පාලනයට බුද්ධාගම



ඊයේ (ජූනි 05) පළ වූ ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව චීනය නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තේ දී ඉන්දියාව පරාජය කරලා. පුවත්පතට අනුව ඉන්දියාව නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට අත ගසා ඇත්තේ 2007 දී මන්මෝහන් සිං ආණ්ඩුවෙන්. එහෙත් ඒ සඳහා පත්කරන ලද උපදේශකවරුන්ගේ නොසැලකිලිමත් ප්‍රවිෂ්ටය හේතුවෙන් 2014 දී නාලන්දා විශ්වවිද්‍යාලය බිහාරයේ පටන් ගෙන ඇත්තේ සිසුන් 14 දෙනකුගෙන් හා ආචාර්යවරුන් 11 දෙනකුගෙන් පමණකින්. ඒ උපදේශකවරුන් අතර නොබෙල් ත්‍යාගලාභී අමාර්ත්‍යා සිං ද සිට ඇතැයි කියැවෙනවා. එහෙත් පසුගිය මැයි මස චීනය නැන්හයි (උච්චාරණය වැරදි විය හැකිය) බෞද්ධ විද්‍යාලයට සිසුන් ඇතුළත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ විද්‍යාලය සිසුන් 220 දෙනකුගෙන් සමන්විත ව සැප්තැම්බරයේ දී ආරම්භ කිරීමට නියමිත බව පුවත්පතෙහි සඳහන් වෙනවා. 




චීනය බෞද්ධ විද්‍යාලය පිහිටුවීම ගැන තම කටයුතු රහසිගත ව කරගෙන ගොස් තිබෙනවා. නාලන්දා විශ්වවිද්‍යාලය ඉන්දියාවේ ප්‍රතිනිර්මාණය  කිරීමේ කටයුත්තට මුල සිට ම චීනය හවුල් වී සිටිය දී මෙසේ රහසින් කටයුතු කිරීම ඉන්දියාවට ප්‍රශ්නයක් වී ඇති බව පේනවා. චීනය කියාවි චීන බෞද්ධ විද්‍යාලය යනු නාලන්දාව නොවේය කියා. ඒත් මෙහි තරගයක් තිබී ඇති බව පේනවා. චීන බෞද්ධ විද්‍යාලය ලංකාව, නේපාලය, තායිලන්තය, කම්බෝජය සමග සම්බන්ධය කියලා කියනවා. එහි පාලි, ටිබෙට් හා චීන භාෂාවලින් පාඨමාලා සැපයෙනු ඇති.



චීනය බෞද්ධ විද්‍යාල ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2011 දී. එහි පීඨාධිපති ස්වාමීන් වහන්සේ ලෙස ලුම්බිනියේ විහාරයක භික්‍ෂූන් වහන්සේ නමක් පත් කෙරී ඇති අතර චීනයට බුද්ධගයාව හා සාරානාත් වෙනුවට ලුම්බිනිය සංචාරක පූජා භූමි ලෙස දියුණු කිරීමේ වෑයමක් පවතින්නේ යැයි කියැවෙනවා. මේ ප්‍රවෘත්ති සඳහන් වන්නේ ඉන්දීය පුවත්පතක බැවින් චීනය සම්බන්ධ සියලු දේ නිවැරදි යැයි කීමට නොහැකියි. කොහොමටත්  කිසිම ජනමාධ්‍යයක් ගැන පූර්ණ විශ්වාසයක් තියන්න බැහැ.



කොහොම නමුත් නාලන්දාව ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තේ දී චීනය විසින් ඉන්දියාව පරාජය කෙරී තිබෙන බව කියන්න පුළුවන්. චීනය හා ඉන්දියාව අතර ඇත්තේ ආර්ථික දේශපාලනික තරගයක් පමණක් නො වෙයි. එහි සංස්කෘතික සංරචකයක් ද තිබෙනවා. පැහැදිලි ව ම චීනයට බුද්ධාගම අයිති කර ගැනීමේ වුවමනාවක් තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් බුදුදහම චීන සංස්කෘතියේ නිපැයුමක් ලෙස පෙන්වීමේ අවශ්‍යතාව චීනයට තිබෙනවා. පස් මහා බැලුම්වලට නව අර්ථවිවරණයක් කරන්න පුළුවන්. 



සිදුහත් කුමරුගේ උත්පත්තිය ලුම්බිණියේ සිදු වූ බවයි කියැවෙන්නේ. අද ලුම්බිණිය අයත් වන්නේ නේපාලයට. එය චීනයට හයියක්. අද ලෝකයේ මොන අන්දමක නමුත් බෞද්ධයන් අති විශාල බහුතරය ඇත්තේ කහපාට හමක් ඇති ජනතාව වාසය කරන ආසියාවේ රටවල. ඒ ගණයට අයත් නොවන එකම රට ලංකාව. අපේ හමේ පාට කිට්ටු වන්නේ ඉන්දියාවේ ජනයාගේ පාටට මිසක් චීන ජනයාගේ පාටට නො වෙයි. නේපාලයත් කහ පාට ජනයාගේ වාස භූමියක්. නේපාලය ඇත්තේ ඇසෑමයට උතුරින්. ඇසෑමයේ නාග ජනයා ඉන්නවා. ශාක්‍යයන් කවු ද? ඔවුන්ට නාගයන් සමග සම්බන්ධයක් තිබුණා ද? අද චීනයට නාග සංස්කෘතිය ඔසවා තැබීමේ අවශ්‍යතාව තිබෙනවා.



අද බුද්ධාගම වැඩියෙන් අදහන්නේ කහපාට ජනයා බැවින් චීනයට එහි දී ඉන්දියාවට වඩා වාසියක් අත් වෙනවා. සිදුහත් කුමරු නේපාලයේ නම් එතනත් කහපාටට ජයක්. බුද්ධාගම පමණක් නොව බුදුහාමුදුරුවන්වත් අයිති කර ගැනීමට චීනයට අවශ්‍යයයි. ආසියාව පාලනය කිරීමේ දී බුදුන් වහන්සේ තම පැත්තට ගැනීමට චීනයට අවශ්‍යයයි. තාමත් පරහකට ඇත්තේ ථෙරවාදය. එය චීනයට හිසරදයක්. ථෙරවාදය රැකගත්තේ ලංකාව. චීනයවත් ඉන්දියාවවත් නො වෙයි. බොහොම ඉස්සර නම් නාලන්දා විශ්වවිද්‍යාලයේ සිංහල භික්‍ෂූන් වහන්සේ ඉගෙන ගත්තා, ඉගැන්නුවා. එහි සිංහල භික්‍ෂූන් වහන්සේ සඳහා වෙන ම සංඝාරාම තිබුණා.



ඉන්දියාව අද බුද්ධාගමට සලකන්නේ නැහැ. ඉන්දීය බෞද්ධයන් කුලහීන (ඩැලිට්) අය ලෙසයි සැලකෙන්නේ. මෝදි බොරු කතා කියනවා. බ්‍රාහ්මණවාදී ඔහු බුද්ධාගමට සලකන්නේ නැහැ. චීනය දන්නවා ආසියාව පාලනය කිරීමට බුද්ධාගම අවශ්‍ය බව. ඔවුන් ඒ සඳහා වියදම් කරනවා. එහෙත් මෙහි දී අප ප්‍රවේසම් විය යුතුයි. කිසිම රටක් වෙනත් රටකට නිස්සරණාධ්‍යාශයෙන් උපකාර කරන්නේ නැහැ. චීනයේ එක් කුඩා ප්‍රදේශයක පමණයි ථෙරවාදය තියෙන්නේ. මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල ඇත්තේ චීන සංස්කෘතිය මත ආරෝපනය වූ ථෙරවාදයක්. ඒ රටවලට ථෙරවාදය ගියේ මූලික වශයෙන් ලංකාවෙන්. 



චීනය සූදානම් වන්නේ ඉහත කී ථෙරවාදී රටවල් සමග ලංකාව තිබූ සම්බන්ධය ඉතා දැඩි බව පෙන්වීමට, ඉන්දියාව සමග තිබූ සම්බන්ධයට වඩා වැඩි බව පෙන්වීමට. එහි නාග කතාවක් ද තිබෙනවා. චීනයට සිංහල සංස්කෘතියට යක්‍ෂ ජනතාවගේ දායකත්වය නොසැලකිය හැකි දෙයක් බව පෙන්වීමට අවශ්‍ය වෙනවා. ඈත අතීතයේදී භාරතයත් ඒ දෙය කළා. යක්‍ෂ ජනතාවගේ ආධාරය ලැබූ අභයගිරිය පහතට දැමීමට ඔවුන් කටයුතු කළා. එහෙත් යක්‍ෂ සංස්කෘතිය නැත්තට ම නැති වුණේ නැහැ. සිංහල අනන්‍යතාව තවමත් රැඳී සිටින්නේ මේ යක්‍ෂ සංරචකය මත. අද චීනයට අවශ්‍ය ඒ ටිකත් නැති කිරීමට.



චීන බෞද්ධ විද්‍යාලය මගින් චීනය මෙරට භික්‍ෂූන් වහන්සේ චීනයට වඩම්මා ගනීවි. ඒ හාමුදුරවන්ට හා ගිහි ශිෂ්‍යන්ට ශිෂ්‍යත්ව දේවි. ගිහි පැවිදි ගුරුවරුන්ට චීනයට යෑමට හැකි වේවි. මෙරට ථෙරවාදයට කොන්ෆියුෂියස් (මෙය චීනයෙන් කියැවෙන්නේ වෙනත් ආකාරයකට) හා තාඕ චීන ලක්‍ෂණ එකතු වේවි. එයටත් වඩා චීනය ආසියාව පාලනය කිරීමට බුද්ධාගම යොදා ගනීවි.  







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 06