History

Monday, 14 August 2017

අපේ දේශප්‍රේමය  


අපේ දේශප්‍රේමය



ලෝකයේ නොයෙකුත් සංස්කෘතීන් තියෙනවා. සංස්කෘතිය කියන වචනය නැති සංස්කෘතීන් ද තියෙනවා. සිංහල භාෂාවේත් සංස්කෘතිය කියන වචනය තිබුණේ නැහැ. එය කල්චර් කියන ඉංගිරිසි වචනෙට හදාගත්ත සිංහල වචනයක්. ඒත් අපට අපේ සංස්කෘතිය ගැන වැටහීමක් තිබුණා. කල්චර් කියන වචනෙ වැඩීම යන අර්ථය තියෙනවා. බටහිර විද්‍යාව අනුකරණය කරන මෙරට උගතුන් ද නොයෙකුත් කල්චර් කිරීම් කරනවා. කොහොමත් සංස්කෘතිය කියන වචනයේ ඉංගිරිසි වචනයෙන් කියැවෙන්නේ අප හැදිලා තියෙන විධිය.




එක එක රටවල මිනිසුන් හැදිලා තියෙන්නෙ එක එක විධියට. අප සමහරකුට වෙන රටක ගිහිල්ල ජීවත් වෙන එක අමාරුයි. ඒ රටවල මිනිසුන් හැදිලා තියෙන විධිය වෙනස් නිසා. ඒ විධියට හැඩ ගැහෙන්න බැරි වුනා ම එහි ජීවත් වීම අමාරු වෙනවා. ඒත් දැන් තොග පිටින් මිනිසුන් බටහිර රටවලට යන නිසා ඒ රටවල තමන් හැදිච්ච විධියටත් යම් ප්‍රමාණයකට හරි ජීවත් වෙන්න මිනිසුන් ක්‍රම හදා ගෙන තියෙනවා. සිංහල බෞද්ධයන් ඉස්සර වැඩියෙන් ම ගියෙ එංගලන්තයට. ඉනුත් ලංඩනයට. ඒ ගිය අය සිංහල බෞද්ධකම යම් ප්‍රමාණයකට පවත්වා ගෙන යන්න ලංඩන් බෞද්ධ විහාරය තනා ගත්ත.



පසුව එංගලන්තයේ විවිධ නගරවලත් වෙනත් රටවලත් බෞද්ධ විහාර ගොඩ නැගුණා. එය සිංහලයන්ට පමණක් සීමා වෙච්ච දෙයක් නො වෙයි. බටහිර රටවල මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල්, යුදෙව් සිද්ධස්ථාන ආදී ආගමික වත් පිළිවෙත් කරන තැන් තියෙනවා. බටහිරයන් අප රටවලත් විවිධ ක්‍රිස්තියානි පල්ලි හැදුව. ඒකෙ ලොකු වෙනසක් තියෙනවා. බටහිරයන් අපේ රටවලට ආවෙ ආක්‍රමණිකයන් ලෙස. ඔවුන් ක්‍රිස්තියානි පල්ලි ඉදි කෙරුවෙ ඔවුන්ට පමණක් නො වෙයි. අපටත් එක්ක! ඔවුන් අප සමහරුන් විවිධ ක්‍රිස්තියානි නිකායවලට හරවා ගත්තා.



අදටත් රටේ ඇතැම් තැන්වල ඒ දේ සිද්ධ වෙනවා. මෙරට බෞද්ධ පවුල්වල උපත ලැබූ ඇතැම් දේශපාලනඥයන් අද වන විට යෙහොවාගේ සාක්‍ෂිකරුවන් ආදී වශයෙන් වර්තමාන ක්‍රිස්තියානි නිකායවල අනුගාමිකයන්. ඒත් ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඒ ඔවුන්ට සිංහල බෞද්ධයන්ගේ ඡන්ද නැති වේය කියන බයට. ඒත් ඒක එහෙම වෙන්නෙ නැහැ. සිංහල බෞද්ධයන් ඡන්දය දීමේ දී ආගම සලකන්නේ නැහැ. ඔවුන් ක්‍රිස්තියානින්ට හින්දුන්ට මුස්ලිමුන්ට කිසිම භේදයකින් තොරව ඡන්දය දෙනවා. ඔවුන් ඡන්දයේ දී බලන්නේ පක්‍ෂය මිස ආගම හෝ ජනර්ගය හෝ නො වෙයි. නූතන සිංහල බෞද්ධ පුනරුදයේ නගරය යැයි හැඳින්වෙන (එහෙත් ඕල්කට්තුමා විසින් නොමග යැවුණු පුනරුදය) පාණදුරයට එක් අවස්ථාවක එ ජා පක්‍ෂයෙන් මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයෙන් ද අපේක්‍ෂයන් ලෙස ඉදිරිපත් කෙරුණේ ක්‍රිස්තියානීන්. පාණදුරේ සිංහල බෞද්ධයන් බෞද්ධ අපේක්‍ෂකයකු ඉල්ලුවේ නැහැ.



දෙමළ මුස්ලිම් ජනයා ගැන එය කියන්න බැහැ. ජනාධිපතිවරණයක දී හැරෙන්නට මැතිවරණවල දී ඔවුන් ඡන්දය දෙන්නේ තෝරා බේරා ගෙනයි. එහෙත් එයට මූලික වරදකරුවන් ඔවුන් නියෝජනය කරන්නේ යැයි කියන දේශපාලනඥයන්. ඒ ජනයාත් යම් ප්‍රමාණයකට හරි ජනවර්ගය ආගම සලකනවා. සිංහල බෞද්ධයන් කලකට පෙර කුලය නම් සැලකුවා. ඒත් දැන් එයත් නැහැ. මුස්ලිම් ජනයා අතර කුල කතාවක් නැහැ. දෙමළ ජනයා වෙල්ලාල ආධිපත්‍යයට යට වෙලා. වෙනත් කුලවලට ඉඩක් නැහැ.



ඇතැම් පඬියන් කියනවා සිංහල භාෂාවේ පේට්‍රියටිසම් කියන්නට වචනයක් නැහැ කියලා.  එය ඇත්ත ඒ ඉංගිරිසි වචන හැදිලා තියෙන්නෙ පේටර් කියන වචනයෙන්. ඒ පියාට කියන චචනයක්. සිංහලයන්ට ඇත්තේ රට ජාතිය ආගම කියන චචන. එහි පීතෘ මූලිකත්වයක්වත් මාතෘ මූලිකත්වයක්වත් නැහැ. අපේ හැදිච්චකම තීරණය වෙලා තියෙන්නෙ මහාවංසයෙන් හා ජාතක පොතෙන්. අපට මූලිකවන්නේ ථෙරවාදය ආරක්‍ෂා කිරීම. ථෙරවාදය කියන්නේ එක් බුදුදහමක්. බුදුදහම් රාශියක් තියෙනවා. පඬියන් නොදන්නවාට නිවනත් එකක් නො වෙයි. ඒ ඒ බුදුදහමේ නිවන වෙනස්. බොහෝ දෙනාට නිවන තැනක්. කිසිම දාර්ශනික සංකල්පයක් නිර්මාණය කර නැති දාර්ශනික පඬි පෝතකයකුටත් නිවන කියන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර බැරි නම් මනසට ගෝචර දෙයක්.



බුදුදහම් ද එලෙස කිහිපයක් පවතින්නේ නම් බුද්ධාගම් ගැන කියනුම කවරේ ද? මේ බුද්ධාගම් කියන්නෙ ඒ ඒ අයගෙ හැදිච්චකමත් සමග සම්බන්ධ දේ. එනම් සංස්කෘතීන් එක්ක සම්බන්ධ දේ. සිංහල බුද්ධාගමත් එහෙමයි. අපේ සංස්කෘතිය නැත්නම් හැදියාව තීරණය වෙන්නෙ ථෙරවාදී බුදුදහම සමග සම්බන්ධ බුද්ධාගමක් ආරක්‍ෂා කිරීම එය වර්ධනය කිරීම මත. සිංහල බුද්ධාගම කියන්නෙ පඬියන්ගෙ ඕල්කට් බෞද්ධයන්ගෙ කතාවක් නො වෙයි. ඒක අපේ කතාවක්.



මෙරට අද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යනුවෙන් කියැවෙන් මේ සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛස්ථානය දීමත් එය ආරාක්‍ෂා කිරීමත්. ථෙරවාද බුදදහම ආරක්‍ෂා කිරීමට කිසිවකු අවශ්‍ය නැහැ. එය වලගම්බා රජු දවස සිද්ධ වුණා. අද පොත පතෙහි ථෙරවාද බුදුදහම තියෙනවා. එය පුස්තකාලවල සුරක්‍ෂිත ව තියෙනවා. වලගම්බා රජුට හා එකල වැඩ විසූ භික්‍ෂූන් වහන්සේට පින්සිදුවන්නට අන් අය ඒ ගැන මහන්සි වෙන්න ඕන නැහැ. අප මහන්සි වන්නේ සිංහල බුද්ධාගම කියන සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට. ගැමුණු රජතුමාගෙ කාලයෙ සිට අප කෙළේ එයයි. සියළු සිංහල රජවරු කෙළේ එයයි. නායක්කාර් වාංශිකයන් ද එය කළා. එපමණක් නොව ඩොයිලි කියන සුද්දත් එය කරන බවට පොරොන්දු වුණා. ඔහු එය කඩ කිරීම තමයි අපේ වර්තමානයට මුල. ධර්මපාලතුමා කෙළේත් සිංහල බුද්ධාගම ආරක්‍ෂා කිරීම. ඕල්කට්තුමා නොකෙළේත් එය.



සිංහල බෞද්ධයන්ගෙ ඊනියා පේට්‍රියටිසම් කියන්නෙ සිංහල බුද්ධාගම රැක ගැනීම. අපේ හැදියාව සම්පුර්ණයෙන් ම මෙන් තීරණය වන්නෙ එය මත. ඒ සමග අපට රට ජාතිය ආගම කියන සංකල්ප තුන තියෙනවා. ලෝකයේ වෙනත් කිසිම ජාතියකට, ජනවර්ගයකට එලෙස සංකල්ප තුනක් නැහැ. අපේ සංස්කෘතිය අඛණ්ඩ පාරම්පරික ජීවමාන සංස්කෘතියක්. එය ඉතිහාසයට එක් කිරීමට බටහිරයන් හා ඔවුන් අනුව යන අනුකාරක පඬියන් උත්සාහ කරනවා. අප එයට ඉඩ දෙන්නේ නැහැ. එවිට පඬියන් බටහිරයන් අනුව යමින් අපට ජාතිවාදීන් ගෝත්‍රවාදීන් ආදී නම් පටබඳිනවා. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 14