History

Saturday 5 August 2017

ආවා කල්ලිය




ආවා කල්ලිය



ආවා කල්ලිය දැන් නිතර එනවා. ඔවුන් යාපනයේ නිතර දකින්න පුළුවන්. ආවා කල්ලිය කවුද කියලා ආණ්ඩුව දන්නෙ නැති පාටයි. ආණ්ඩුව බුද්ධි අංශය දුර්වල කරපු නිසා, ඔවුන් අධෛර්යමත් කරපු නිසා බුද්ධි අංශය දැන් නැති ගාණයි. බුද්ධි අංශයේ අය සිරගත කරමින් ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ආණ්ඩුව දෙමළ ජාතිවාදය පිනවනවා. ආවා කල්ලිය කවුරුන් වුවත් බුද්ධි අංශය දුර්වල කිරීම මොන මොන කල්ලිවල වුවත් වර්ධනයට හේතු වෙනවා.




පොලිස්පති කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් උතුරේ නැගී එන බවයි. හමුදාපති කියන්නේ උතුරේ එලෙස ත්‍රස්තවාදයක් නැති බවයි. පොලිස්පති හා හමුදාපති වෙනස් අදහස් ප්‍රකාශ කරන්නේ ඇමතිවරුන් ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නාක් මෙන්. රජයට කිසිම අංශයක එක හඬක් නැහැ. ඊනියා ජාතික ආණ්ඩුවට එක අදහසක් නැහැ. මේ ජාතික කියන එක දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ උප්පරවැට්ටියක් පමණයි.



ආවා කල්ලිය වැනි කල්ලි ඉදිරි කාලයේ දී තවත් ඇති වේවි. අප සැමදාමත් කියන්නේ බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත් කෙළේ රණවිරුවන්ට දඬුවම් දීමටත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් බව. ඒකාබද්ධ විපක්‍ෂයත් මේ ආණ්ඩුව පෙරළා දාන්න කිසිවක් කරන්නෙ නැහැ. එමගින් ඔවුන් වක්‍රව බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට උපාකර වෙනවා.



රනිල් ඉවත් කරන ක්‍රමයක් ගැන නොසිතා වෙනත් දේ ගැන අවධානය යොමු කිරීමෙන් ඒකාබද්ධ විපක්‍ෂය රනිල් ආරක්‍ෂා කරනවා. රවි කරුණානායක ඉවත් කළත් නැතත් පළමුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයා රනිල්. රනිල් හා රවි දෙදෙනා ම සංස්කෘතික වශයෙන් ක්‍රිස්තියානින්. මෛත්‍රිපල රවි ගැන කුමන තීරණයක් ගත්තත් එය රටට එතරම් බලපාන්නෙ නැහැ. අවශ්‍ය රනිල් ගැන තීරණයක් ගැනීමයි.



ආවා කල්ලිය කුමක් වුවත් එයින් කියැවෙන කරුණු දෙකක් තියෙනවා. පළමුව විග්නේස්වරන් හා අනෙක් දෙමළ ජාතිවාදීන් කුමක් කීවත් උතුරෙන් හමුදා ඉවත් කරන්න බැහැ. දෙවනුව උතුරේ තවමත් දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙනවා. දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වනතාක් දෙමළ ත්‍රස්තවාදය ඇති වීමේ ඉඩකඩ තියෙනවා. දෙමළ ත්‍රස්තවාදය හා දෙමළ ජාතිවාදය කියන්නෙ එකක් නොව දෙකක්. දෙමළ ජාතිවාදය මෙරට නිල වශයෙන් බෞතීස්ම කෙරුණේ 1831 දී. එහි විකාශයක් ලෙස දෙමළ ත්‍රස්තවාදය ඇති වුණේ ජ වි පෙ ආභාසයෙන් හැත්තෑවේ දශකයේ. වැඩිකල් නොගොස් දෙමළ ත්‍රස්තවාදයේ කොටි කණ්ඩායම අනෙක් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් මෙන් ම ජ වි පෙරමුණත් අභිබවා ගියා.



බටහිර යුද්ධ විශේෂඥයන් මෙන් ම මෙරට පඬියන් ද පරාජය කිරීමට නොහැකි යැයි කී කොටී සංවිධානය 2009 දී නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණා. ඒ දේශපාලනික වශයෙන් දෙමළ ජාතිවාදී ඉල්ලීම් සියල්ල පරාජය කිරීමක්. එහෙත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවන් ඉවත් නොකිරීමත්  බටහිර හා ඉන්දියාවේ සහායෙන් දෙමළ ජාතික සංධානය ක්‍රියාත්මක වීමත් හේතුකොට ගෙන දෙමළ ජාතිවාදය තවමත් තියෙනවා. එය පැවතීමට සිංහලයන් ද වග කියන්න ඕන. සිංහලයන් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අයත් ඇතුළුව දෙමළ ජාතිවාදය ආරම්භ වී යැයි සිතන්නේ 1956න් පසුව, එහෙමත් නැතිනම් වැඩිම වුවහොත් 1931න් පසුව. ඔවුන් සිතන්නේ වැඩිම වුවහොත් පළමු දෙමළ ජාතිවාදියා ජී ජී පොන්නම්බලම් කියා.



එහෙත් පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම් සහෝදරයන් දෙමළ ජාතිවාදීන් ලෙස බොහෝ දෙනා සලකන්නෙ නැහැ. මේ අය ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සිංහල නියෝජනය වැඩි කිරීමට විරුද්ධ වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ ඊනියා ලාංකික ජාතියකට නායකත්වය දීම. එහෙත් දශක තුනකට පමණ ඉහත ජාතිකත්වයට විරුද්ධව අනුරුද්ධ තිලකසිරි (දයාන් ජයතිලක) ලවා තම පුවත්පත්වලට ලිපි ලියවා ගෙන දැන් ජාතිකත්වයේ න්‍යායාචාර්යවරුන් බවට පත් වී සිටින අයට රාමනාදන් හා අරුණාශලම් ජාතික වීරයන්. සිංහලයන් රාමනාදන්ලා දෙමළ ජාතිවාදීන් ලෙස සලකන්නේ නැති තාක් දෙමළ ජාතිවාදය මෙරට පවතීවි. නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව පරාජය කෙරුණු දෙමළ ජාතිවාදය තවමත් පවතින්නේ බටහිර හා ඉන්දියාවේ මැදිහත්වීම නිසාත් සිංහලයන්ට දෙමළ ජාතිවාදය පිළිබඳ කතන්දරයක්, පැහැදිලි දැක්මක් නැති නිසාත්.



දෙමළ ජාතික සංධානය කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිතයා ලෙස කටයුතු කළා. අදත් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය පිළිගන්නේ නැහැ. දෙමළ නායකයන් මේ ආකල්පය දරනතාක් දෙමළ තරුණයන් දෙමළ ත්‍රස්තවාදීන් බවට පත් වීමට විශාල ඉඩක් තියෙනවා. බටහිරයන් හා ඉන්දියාව දෙමළ ජාතිවාදයට පොහොර දමනවා. කොටි සංවිධානය සිංහලයන්ට පමණක් නොව දෙමළ ජනයාටත් එරෙහි ව කරන ලද  මානව විරෝධී ක්‍රියාවලට දෙමළ ජාතික සංධානයත් වග කිව යුතුයි. ඔවුන්ට විරුද්ධව කිසිම පියවරක් නොගන්නා ආණ්ඩුව රණවිරුවන් දඩයම් කරනවා. ඒ බටහිරයන්ගේ ඉන්දියාවේ හා දෙමළ ජාතික සංධානයේ නායකයන්ගේ වුවමනාවට.



ආවා කල්ලිය ආවත් ගියත් ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායමක්. ප්‍රශ්නය ඔවුන් දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් ද කියන එක. දෙමළ ත්‍රස්තවාදය යළි ඇති වීම වැළැක්වීමට බුද්ධි අංශය ශක්තිමත් කළ යුතුයි. බටහිරයන්ට හා ඉන්දියාවට දණින් නොවැටී සිටිය යුතුයි. එමෙන් ම සිංහලයන්ට දෙමළ ජාතිවාදය පිළිබඳ කතන්දරයක් තිබිය යුතුයි.   







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 05