History

Monday 7 August 2017

බැඳුබැඳුම්කර කෝළම

බැඳුම්කර කෝළම

දැන් හැමෝම මහා බැංකු බැඳුම්කර ගැන කතා කරනවා. හොරකම් ගැන හැමෝම වගේ කතා කරන්නෙ තමන් කිසිදාක කිසිම හොරකමක් නොකළ අය වගේ. ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ දී කරන හොරකම් ද හොරකම් තමයි. කාර්යාලයේ දුරකථනයෙන් මුදල් නොගෙවා ඇමතීමත් හොරකම්. මේ බොහොමයක් හොරකම්වලිනුත් සතේකින් හරි පාඩු වෙන්නෙ රටට. ඒත් මේ හොරකම් බැඳුම්කර හොරකමත් එක්ක ගත්තම ඉතාමත් සුළුයි. ඒවා නොගිණිය හැකි තරම්. උසස් පෙළටවත් ගණිතය හදාරපු අය දන්නවා නොගිණිය හැකි කියන යෙදුමේ තේරුම. ඉන් කියැවෙන්නේ ඒ හොරකම් යුක්තියුක්ත කෙරීම නො වෙයි. ඒවත් හොරකම්. ඒත් වෙනත් සමහර හොරකම් එක්ක ගත්ත ම ඒවා ඉතාමත් සුළුයි.


උසස් පෙළට ගණිතය හැදෑරුවෙ නැතත් ඒ කියමන තේරුම් ගන්න එක සාමාන්‍ය බුද්ධියක් ඇති අයකුට අපහසු නැහැ. එහෙත් මෙරට සමහර උගතුන් ඉන්නවා ලංකාවෙ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වෙලා හරි වෙනත් හේතුවකට හරි තාත්තලාගෙ හරි ආණ්ඩුවෙ හරි පිටරට සල්ලිවලින් හරි පිටරට විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා විවිධ උපාධි ලබා ගත්ත අය. ඔවුන්ට මා සමග වෛරයක් තිබීම, තම දේශපාලන ව්‍යාපෘතියට මගෙන් අභියෝග එල්ල වීම, මා අභිබවා යෑමට නොහැකි වීම ආදී කරුණු නිසා මේ කිසිවක් තේරුම් ගැනීමට බැහැ. ඔවුන් දන්නේ මගේ නැති වැරදි සොයමින්  ලිපි ලියමින් කාලය නාස්ති කිරීම පමණයි.

පහුගිය ජනාධිපතිවරණයෙ දි බටහිරයන් මුහුණු පොත යොදා ගෙන මහින්ද රාජපක්‍ෂ හොරා කියන මතයක් රටේ ඇති කළා. තරුණ තරුණියන් මේ ප්‍රචාරය පිළිගත්තා. ඔවුන් දැනගෙන හිටියෙ නැහැ එ ජා පක්‍ෂයෙ ඉන්න හොරු ගැන. ඒ වගේ ම ඔවුන් දැනගෙන හිටියෙ නැහැ එ ජා ප  භීෂණය ගැන, බටලන්ද ගැන. ඔවුන් හොරුන්ගෙන් භීෂණයෙන් නිදහස් වෙන්න රනිල්ට ඡන්දෙ දුන්නා. එ ජා පෙරමුණට ඡන්දය දුන් හැටදෙලක්‍ෂය ම ඉතා සුළුවෙන් හරි බැඳුම්කර මගඩියට සම්මාදන් වෙලා තියෙනවා. ඔවුන් ඡන්දය දී ඇත්තෙම සුළු පරිමාණයෙ හොරකම්වලට විරුද්ධව මහා පරිමාණයෙ හොරකම් සඳහා. 

බැඳුම්කර මගඩිය ගැන මට කයිවාරු ගහන්න වුවමනාවක් නැහැ. ජනමාධ්‍යට අනුව නම් මා බැඳුම්කර මගඩියට විරුද්ධව කිසිවක් කර නැහැ. මේ ලිිපියත් ජනමාධ්‍යයේ අවධානයට ලක් වන්නේ නැහැ. ඒත් මට කරුණක් දෙකක් නොකියාම බැහැ. රවිගෙ ඇඟපත මහත් වුණාට රනිල්ට එතරම් ඇඟක් නොතිබුණාට බැඳුම්කර මගඩියෙ ඉහළ ම තැන ඉන්නෙ රනිල්. කලකට පෙර රනිල්ගෙ නැන්දගෙ පුතා රජිව් විජේසිංහ බැඳුම්කර ගැන ඔහු දත් දේ කියා තිබුණා.    
 
රජිව්ට අනුව බැඳුම්කර මගඩියෙන් ලබාගත්ත මුදල් තමයි 2015 අගෝස්තු මාසෙ එා ජා පෙරමුණේ මැතිවරණයට යොදා ගෙන තියෙන්නෙ. ඒ මුදල් එ ජා පෙරමුණේ හෝ ශ්‍රී ල නි පක්‍ෂයේ හෝ ඇතැමුන්ට ලැබුණෙ සිංගප්පූරුවෙදි ද කොළඹ දි ද කියන්න දන්නෙ නැහැ. රජිව් විජේසිිංහ ඒ ගැන කියන්නෙ නැහැ. ඒත් එකල ඇතැමුන් සිංගප්පුරු වන්දනාවක යෙදුණ බව නම් අපට මතකයි. ඔවුන් සිංගප්පූරු ගිහින් ආපසු පැමිණියෙ දේශපාලනික ව වෙනත් ම මිනිසුන් වෙලා. ඔවුනුත් යම් ආකාරයකට හරි බැඳුම්කර මගඩියට සම්බන්ධ වෙන්න ඕන කියන මතයක් රටේ සමහරුන් ළඟ තියෙනවා.

බැඳුම්කර මගඩිය දවස්වල මහා බැංකුව තිබුණෙ රවි යටතෙ නො වෙයි. එය කෙළින් ම රනිල් යටතෙ තිබුණෙ. අර්ජුන මහේන්ද්‍ර මහා බැංකු අධිපති ධුරයට පත් කෙළෙ රනිල්. අර්ජුන මෙරට රටවැසියෙක් නො වෙයි. ඔහු සිංගප්පූරු රටවැසියෙක්. පිටරට මිනිහෙකුට ඔහුගෙ පියා රාජකීය විදුහලේ ගුරුවරයකු වුණාට, ඔහු එම විද්‍යාලයේ ඉගන ගත්තට, ඔහු රනිල්ගෙ සංස්කෘතියට අයත් විශ්වාසවන්ත මිත්‍රයකු වුණාට, මහා බැංකුවෙ අධිපති ධුරය දෙන්නෙ කොහොම ද? අපේ ඇතැම් මුදල් නෝට්ටුවල අත්සන් කර ඇත්තෙව විදේශිකයෙක්.

බැඳුම්කර කොමිසම කොහොම කෙළවර වෙයි ද කියලා නිශ්චිත ව කියන්න බැහැ. එය විසුරුවා හැරෙන්නත් පුළුවන්. කොමිසම යම් නිගමනවලට පැමිණියත් දඬුවම් නියම කිරීමට බලයක් නැහැ. අද නීතිපති ආණ්ඩුවෙ ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරනවා. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඇතැමුන් කියනවා. මේක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී කෝළමක් බව නම් පැහැදිලියි. රවි ඇමතිකමෙන් අස්වුණත් නැතත් ආණ්ඩුව පෙරළෙන්නෙ නැහැ. අප හැමදාම කියනව වගේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් රනිල් ඉවත් කිරීමෙන් පමණයි.

රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව විවාදයට ගත්තත් එහි ඡන්ද විමසුම මොනයම් හේතුවක් නිසා පැවැත්වුවත් නැතත් රවි අස් කළත් නැතත් රවිට විරුද්ධව නඩු පැවරේවි කියලා හිතන්න බැහැ. නීතිපති අද රවිගෙන් ප්‍රශ්න කළාට ඔහුට රවිට විරුද්ධ ව නඩුවක් පැවරීමට නිමිත්තක් හොයාගන්න බැරි වුණොත් මොක ද කරන්නෙ?  අද ලංකාවෙ රඟ .දැක්වෙන ජනප්‍රිය ම මෙගා නාටකය බැඳුම්කර මගඩියයි. අද ආණ්ඩුව(බටහිරයන්) එහි පිටපත ලියලා තියෙන්නෙ රවි කිසිවක් හෙළි නොකරන විධියට වෙන්න ඕන. සමහරවිට අප නොදන්නා ආකාරයක පිටපතක් ලියලා තියෙන්නත් පුළුවන්. සියල්ලෙහි ප්‍රතිඵලයක් හැටියට මෛත්‍රිපාලට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවත් අප පුදුම නොවිය යුතුයි. බටහිරයන්ගෙ පිටපතක් බලා ගෙන ඉන්නවා හැරෙන්න අද කරන්නෙ මොකක් ද? අප සියල්ලන් ම නාටකයෙ ප්‍රේක්‍ෂකයො වගේ ම නළුවොත්.



මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 07