History

Monday, 25 September 2017

තවත් රැවටීමක් එළිපත්තේ


තවත් රැවටීමක් එළිපත්තේ





මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවෙන්. ඊයේ අපේ වගකීම යනුවෙන් ලියැවුණු ලිපියට මුහුණු පොතේ  හොඳ ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඒ ලිපිය බෙදා හදා ගෙන (ෂෙයා) තියෙන පිරිස හා එයට කැමැත්ත දක්වා (ලයික්) ඇති පිරිස ඉතා ම අඩුයි. මුහුණ පොත පරිහරණය කරන්නන් බොහෝ විට කරන්නේ එකිනෙකාට බැණ වැදීම. මාත් කිසිවකු විවේචනය කර ලිපියක් පළ කළොත් එය බොහෝ දෙනා බෙදා හදා ගන්නවා. එයට කැමැත්ත පළ කරනවා. ඊයේ ලිපිය එවැන්නක්  නොවෙයි. එහි සඳහන් වුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ විට ජනමත විචාරණයක් පැවැත්විය හැකි බැවින් අප ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බව. මුහුණු පොත පරිශීලනය කරන්නන් වැඩට අකමැතියි. ඔවුන් කැමති ඊනියා ප්‍රතිචාර දැක්වීමට.




මා කලක් මුහුණ පොතේ මගේ ලිපි පළ කළ නමුත් පසුව එය අත්හැරියා. මුහුණු පොතේ පඬියන් කිසිම ඉතිහාසයක් නොදැන අවුරුදු තිස්පහක් මුළුල්ලේ මා කළ කිසිම දෙයක් ගැන නොදැන වාචාල කතා කී බැවින් මා එසේ ලිපිපළ කිරීම නැවැත්තුවා.  එහෙත් මගේ මිතුරන් කිහිප දෙනකු කාලය වෙබ් අඩවියෙන් ඒ ලිපි උපුටා ගෙන මුහුණු පොතේ පළ කළා. මගේ ලිපිවලට කැමති අයගෙන් වැඩි පිරිසක් ඉන්නේ පිටරට බවයි මගේ හැඟීම. ඔවුන්ට මේ රටේ වැඩකට සහභාගි වීමට ඉඩකඩක් නැහැ.



මේ සියල්ල කල්පනා කර මා අදාළ මිතුරන්ට දන්වනවා මින් මතු මගේ ලිපි උපුටා ගෙන මුහුණු පොතේ පළ නොකරන ලෙස. මේ එසේ පළවන අවසාන ලිපියයි. ලිපි කියවීමට කැමති අයට කාලය වෙබ් අඩවිය පරිශීලනය කරන්න පුළුවන්. එහි කිසිවකුට ප්‍රතිචාර දක්වන්න බැහැ. එසේ ලිපි පළ කිරීමෙනුත් වැඩක් නැහැ කියා සිතුණහොත් ලිපි පළ කිරීම මුළුමනින් ම නවත්වනවා. අද විද්චත් තරුණ ජාතිකවේදීන් රාශියක් බිහි වී සිටිනවා. ඔවුන් ප්‍රතිවාදීන්ගේ මත පතුරු ගසන බවට ආරංචියි. ඔවුන් ඉතා දක්‍ෂ අය බුද්ධිමත් අය. මා ලිපි පළ කිරීම නැවැත්තුවත් ඔවුන්ට තමන්ගේ ම වූ ජාතිකවාදී මතයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියනවා. ඔවුන් ඉදිරිපත් කරන්නේ ඔවන්ගේ ම මත විය යුතුයි. ඔවුන් මගෙන් හෝ වෙනත් අයකුගෙන් හෝ තමන් ඉදිරිපත් කරන මත ලබාගත් බවක් සඳහන් නොකිරීමෙන් ඒ ඔවුන්ගේ ම මත බව තහවුරු වෙනවා.



අද අප තවත් වරක් රවටවනු ලැබීමට ආසන්නයි. රනිල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට යන ආකාරය කිසිවකු නිශ්චිත ව දන්නේ නැහැ. ඒ සියළු මාර්ග අපට කීමට බැරි වුවත් අපට හිතා ගැනීමට හැකි මාර්ගවල දී රනිල් පරාජය කිරීමට අප කටයුතු කළ යුතුයි. එහෙත් ඒ සඳහා කිසිවකු ක්‍රියා කරන බවක් පෙනෙන්නේ නැහැ. අපට එසේ කිරීමට ආර්ථික හා වෙනත් ශක්තීන් නැහැ. කළ හැක්කේ ලිවීම පමණයි. එහෙත් කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත හෝ මාධ්‍යයක් අපේ අදහස්වලට ඉඩක් දෙන්නේ නැහැ. එක් ඉරිදා පුවත්පතක් පමණක් දාර්ශනික සහ දැනුම පිළිබඳ වෙනත් ගැටළු සාකච්ඡා කිරීමට පමණක් අවසර  දී තිබෙනවා.



රනිල් පටන් ගත්තේ ම ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කිරීමෙන්. ඔහු ඉන් කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේ දැයි ඔහුවත් නිශ්චිත ව දන්නේ නැහැ. ඔහුට බටහිරයන්ගෙන් හා ඉන්දීය බමුණන්ගෙන් ඒ ඒ අවස්ථාවට අනුකූල ව උපදෙස් ලැබෙනවා. ඔහු අද ඊනියා සුළු පක්‍ෂ ඒකීය ක්‍රමයට හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට එකඟ වී ඇති බව පවසනවා. එහෙත් ඒ පක්‍ෂ එයට හිලවුවක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීමට, මෙරට ඊනියා අනාගමික රාජ්‍යයක් බිහි කිරීමට ආදියට එකඟ වීමට කියනවා. කොහොමටත් ඒකීය භාවය හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම වචනවලට පමණක් සීමා වෙන බව සම්බන්ධන් හා සුමන්තිරන් දන්නවා. දැනටත් ඒ ඇත්තේ වචනවලට පමණක් සීමා වී.



අද ඇතැමුන් ආණ්ඩුවට තුනෙන් දෙක දීම වැළැක්වීමට කටයුතු කරන්න සූදානම් වෙනවා. එය කරන්න නම් ආණ්ඩුවෙන් අඩුම තරමෙන් මන්ත්‍රීවරුන් විසිදෙදෙනකු ලබා ගන්න ඕන. ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ දී රනිල් තම මාමා අනුගමනය කරමින් ඔහුගේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ප්‍රවාහනය කිරීමට කටයුතු කරාවි. අර ආණ්ඩුවෙන් විපක්‍ෂයට එනවා යැයි කී මන්ත්‍රීවරුන් අද කෝ? විජයදාස රාජපක්‍ෂ හා අරුන්දික ප්‍රනාන්දු පමණයි ආණ්ඩුවෙන් ආවේ. ඒත් විජයදාස තවමත් එ ජා පක්‍ෂයේ. ඔහු ආණ්ඩුවේ නැහැ. එහෙත් ආණ්ඩු පක්‍ෂයේ ඉන්නවා! ඒක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. රතන හාමුදුරුවො වැඩ ඉන්නෙ කොහේ ද කියලා උන්වහන්සේවත් දන්නෙ නැතිව ඇති.



රනිල් මේ ව්‍යවස්ථා මණ්ඩලය කෙසේ යොදා ගනීවි ද? ඔහු ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි ද? රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදී බව පෙන්වමින් ක්‍රියා කිරීම. ඔහු අණ පනත් සම්මත කර ගන්නා ආකාරයෙන් ඒ පැහැදිලි වෙනවා. ඔහු කෙළින් ම ජනමත විචාරණයකට යන්නත් පුළුවන්. නොයන්නත් පුළුවන්. කොහොමටත් ඒකාබද්ධ විපක්‍ෂය මේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලට සහභාගි වීමෙන් ඉතා තදබල වරදක් කළා. ඔවුන් පසුගිය මැතිවරණයේ දී වෙන ම තරග නොකිරීමෙන් කෙළෙත් එවැනි ම වරදක්.



ආණ්ඩුවට තුනෙන් දෙක නොදීමට ක්‍රියා කරන බව පැවසීමෙන් ඒකාබද්ධ විපක්‍ෂය තවත් පාවාදීමකට සූදානම් වන බවක් පෙනෙන්න තියෙනවා. තුනෙන් දෙකේ කතාවේ එල්ලුනා ම  රනිල්ට රිසි සේ තම අනෙක් ක්‍රියා මාර්ගවලට යන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂයේත් රෝ ඒජන්තයන් සිටින බව අමතක කරන්න බැහැ.



අපටත් මේ සමබන්ධයෙන් විශේෂ දෙයක් කිරීමට ශක්තියක් නැහැ. ශක්තියක් තිබුණත් ජනමාධ්‍ය අපට ප්‍රචාරය දෙන්නේ නැහැ. ජාතික ව්‍යාපාරයේ ඉන්න පඬියන් ද අප කොන් කරලා. ඒත් චින්තන පර්ෂදය ලෙස අප හැකි ආකාරයෙන් මිනිසුනට  කරුණු කියනවා. ඒත් මුහුණු පොතෙන් නො වෙයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 25