History

Monday, 4 September 2017

මේ සරත් හා ඒ සරත්                          



මේ දිවයින ඉරිදා සංග්‍රහයෙහි 2009 දෙසැම්බර් මස මුල සතියෙහි පළ වූ ලිපියක්. එය මට ලබා දුන් අයට පින්. මේ ලිපිය ගැන අද පළ වූ   මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක් නම් ලිපියෙහි සඳහන් වෙනවා. 



මේ සරත් හා ඒ සරත්

                                                                                                     

ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක්‌ ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක්‌ නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක්‌ තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශෙද්‍රdaහී නඩයකට එකතු වූ සරත් ය.


මේ ලැයිස්‌තුව තවත් දික්‌වුව ද අපට ඉන් සමුගැනීමට සිදුවෙයි. සරත් ෆොන්සේකා යන එකම නමින් පෙනී සිටිය ද පුද්ගලයෝ දෙදෙනෙක්‌ වෙති. බුදුදහමට අනුව නම් එකම පුද්ගලයකුවත් නැත. එහෙත් අපි ව්‍යවහාර අර්ථයෙන් මෙහි දී පුද්ගලයෝ දෙදෙනෙක්‌ ඇතැයි කියමු. අඩුම තරමින් රූපාන්තරණයක්‌ ගැන කියමු. මෙහි දී පැහැදිලිව ම රූපාන්තරණයක්‌ සිදු වී ඇත. ඒ දළඹුවාගෙන් සමනලයා ඇතිවන ආකාරයේ රූපාන්තරණයක්‌ නොව සමනලයාගෙන් දළඹුවා ඇතිවන ආකාරයේ රූපාන්තරණයකි. ජෛවීය විද්‍යාවන් අනුව එවැනි රූපාන්තරණයක්‌ සිදුවිය නොහැකි වුව ද මිනිස්‌ සිතෙහි වෙනස්‌වීම මුල්කරගෙන ඇතිවන රූපාන්තරණ ගැන අපට කතාකළ හැකි ය. මෙහි දී රූපාන්තරණය යන්න හුදෙක්‌ රූපය පමණක්‌ මුල්කරගෙන සිදුවන්නක්‌ ලෙස නිර්වචනය නො වේ. බටහිරින් ආ රූපාන්තරණය යන්නට අපි වඩා පුළුල් අර්ථයක්‌ දෙමු. එවැනි පුළුල් අර්ථයක්‌ දීමට මා කවුදැයි යනුවෙන් ප්‍රශ්න කරන්නේ ද මෙරට ජාතික ව්‍යාපාරයෙහි ම වෙති. ඒ කෙසේ වෙතත් මෙහි රූපය මුල්කරගත් රූපාන්තරණයක්‌ ද වෙයි. හමුදාපති ඇඳුම වෙනුවට කපටි කිට යනුවෙන් හැඳින්වෙන සුදු කබාය හා කලිසම මතු වී ඇත.

රූපාන්තරණයට හේතුව කුමක්‌ දැයි අපි නො දනිමු. ඇතැම්විට එය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී එළියට එනු ඇත. හේතුව කුමක්‌ වුවත්, සරත් ෆොන්සේකා මහතාට විශාල අසාධාරණයක්‌ වී ඇතැයි සාක්‍ෂි සහිතව පෙන්වනු ලැබුවත්, ඔහු රනිල්, මංගල, හකීම් දේශෙද්‍රdaහී නඩය සමග එක්‌වීම යුක්‌තියුක්‌ත කළහැකි නො වේ. ප්‍රභාකරන්ගේ මස්‌සිනාලා වූ මොවුහු බටහිරයන්ගේ අවශ්‍යතාවට කොටි සංවිධානයට රට පාවා දුන්න, වේදිකාවේ කලඑළියේ පෙනී නොසිටිය ද චන්ද්‍රිකා ද අයත්වන්නේ මේ නඩයට ය. ඇය ප්‍රභාකරන්ගේ ලොකු නෑනාය. කොටි පරාජය කිරීමේ දී ඒ සරත් විසින් කරන ලද අති විශිෂ්ට සේවය අපි අගයමු. එහෙත් ඒ සරත්ගේ නමින් මේ සරත්ට කොටි පරාජය කිරීම වෙනුවෙන් ඡන්දය දිය නොහැකිය. අනෙක්‌ අතට ඒ සරත්ගෙන් සිදුවූ සේවය කෙතරම් වුවත් ඒ කොටි පැරදවීමේ දී මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සිදු වූ සේවයට අලගු තැබීමට නොහැකිය.

කොටි පැරදවීමේ ගෞරවය පිළිබඳ ව විවාදයක්‌ තිබිය නො හැකිය. ඒ ඓතිහාසික ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ නමින් කියෑවෙන්නේ නම් (තනි පුද්ගලයකුට දූෂණ ගෞරවය ලබාදීමේ අර්ථයෙන් නොව) ඒ මහින්ද රාජපක්‍ෂ නමින් ය. නන්දිමිත්‍ර වැනි දක්‍ෂ සෙනෙවියන් දහ දෙනකුගේ සේවය ලැබුණ ද එළාර පරාජය කරනු ලැබූයේ ගැමුණු කුමරු විසින් යෑයි සිංහලයන් කියන්නේ ගැමුණු කුමරු එළාර සමග ද්වන්දව සටනක්‌ කළ නිසා ම නොවේ. එකුමරු ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය සැපයූ හෙයිනි. අග්නිදිග ආසියාව දිග්විජය කළ සොළීන් පැරදවූයේ විජයබා රජු විසිනි. පෘතුගීසීන් පෙතිගසනු ලැබූයේ සීතාවක රාජසිංහ රජු විසිනි. එකල රජවරු ද යුද්ධයට ගිය බව සැබෑ ය. මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධයට නොගිය බව ද සැබෑය. මෙහිදී වැදගත් වන්නේ යුද බිමේ සිටියේ ද නැත් ද යන්න නොව අවශ්‍ය දේශපාලන නායකත්වය සැපයී ද නැත් ද යන්න ය.

අද හමුදාවට දේශපාලන නායකත්වය දීම යන්න සියල්ලෝ ම පාහේ භාවිත කරති. එහෙත් දැනට වසර කිහිපයකට පෙර අප ඒ භාවිතා කිරීම ආරම්භ කළවිට අපට දොස්‌ කීවෝ බොහෝ වූහ. හමුදාවට දේශපාලනය අවශ්‍ය නැතැයි පඬියෝ තම පඬි මුවින් එකහෙළා කෙළ නෙහෙළා කීහ. අපි ඔවුන්ගේ පඬිවදන් නො තැකුවෙමු. අපි එදා ද හමුදාවට දේශපාලන නායකත්වය දීමේ වැදගත්කම දුටුවෙමු. පඬියන්ගේ සමච්චල් නොතකා අපි හමුදාවට දේශපාලන නායකත්වය දීම වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටියෙමු. ඒ යුද්ධ පිළිබඳ බටහිර පඬුවන්ගේ පොත පත කියවා නො වේ. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විසින් ආගම දේශපාලනය යුද්ධය ආදිය වෙන් වෙන් ව ගැනීමට පුරුදු කරනු ලැබූ ඔවුහු ව්‍යාජ ප්‍රවාද ඔස්‌සේ ලෝකය ග්‍රහණය කරගැනීමට උත්සාහ කරති.

මහින්ද රාජපක්‍ෂ මහතාට බටහිරයන්ගෙන් මෙන් ම ඉන්දියාවෙන් ද වූ බලපෑම අති විශාල ය. ප්‍රභාකරන්ට විරුද්ධ මෙහෙයුම් නතර කිරීමට ඒ මහතාට බල කෙරිණි. ඒ මහතා ඒ බලපෑම්වලට දණ නැමී නම් ප්‍රභාකරන් අදත් ජීවත්වනු ඇත. ඒ සරත්ට තමා කෙතරම් දක්‍ෂයකු වුවද මහින්ද රාජපක්‍ෂ මහතා නොමැති නම් අතීතයක්‌ නැත. මේ සරත්ට රනිල් නිසා අනාගතයක්‌ නැත. රනිල්ට කොහොමටත් අනාගතයක්‌ නැත.

මේ සරත් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක යෑයි කියෑවෙයි. එහෙත් දැන් නම් පොදු බවක්‌ පෙනෙන්නට නැත. ඔහු හංසයා ලකුණින් එජා පක්‍ෂයට අවශ්‍ය පක්‍ෂයකින් අර නඩය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. පසුගිය ඉරිදා පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ඔහු හංස ගීතය හෙවත් මර ළතෝනිය ගැයීම ඇරඹීය. තමා දහතුන්වැනි සංශෝධනය ඉක්‌මවා යන බව ද තමාගේ ආර්ථික ප්‍රතිපත්තිය එ ජා ප ආර්ථික ප්‍රතිපත්තිය බව ද ඔළුවේ බරගතිය අඩුකර සම්භාෂණය සඳහා මත්පැන් ටිකක්‌ බීම නරකක්‌ නොවන බව ද (මත්පැන් බීමෙන් පසු ඇතිවන භාෂණය එතරම් ප්‍රිය සම්භාෂණයක්‌ විය නො හැකිය) ප්‍රභාකරන්ගේ දෙමවුපියන්ගෙන් වුව ද මුදල් ගැනීමට සූදානම් බව ද ඔහු කීවේ ය. ඒ සරත් කෙසේ වෙතත් මේ සරත් මෙරට සංස්‌කෘතියට අයත් නො වේ. සරත් හංස ගීතය ගයන්නේ රනිල්ගේ තනුවකට බව පැහැදිලි ය. එජාප ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ කෙතරම් කයිවාරුකරුවන් සිටිය ද ජයග්‍රහණය කිරීමට හැකි අයකු පක්‍ෂයේ නොමැති බැවින් හා ඔහුට ද ජයගත නොහැකි බැවිනි. ඔහුගේ පරාජය පක්‍ෂයේ තමාගේ තැන සහතික කරනු ඇතැයි රනිල් සිතයි.

මේ සියල්ලෙන් වඩාත් ම අර්බුදයට ගොස්‌ ඇත්තේ ජවිපෙ ය. ජවිපෙ පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීම ගැන එජාප සමග සාකච්ඡා කර ඇති බව පැහැදිලි ය. ජවිපෙ විධායක ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කිරීම කණ කැස්‌බෑවා විය සිදුරෙන් අහස බලනවාට වඩා අසීරු ය. විඡේවීරගෙන් පසුව ඔවුහු විධායක ජනාධිපතිවරණ වලින් ඉවත්වීමට ඕනෑම උප්පරවැට්‌ටියක්‌ කරති. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වන්නේ එක්‌ බොරු පොරොන්දුවක්‌ ලබාගැනීම පමණකි. එනම් විධායක ජනාධිපති ධූරය හා ක්‍රමය අහෝසි කරන බව පැවසීම ය. ජවිපෙ දැන් කී වතාවක්‌ මේ බොරු පොරොන්දුව මත පදනම් ව ජනාධිපතිවරණ වලින් ඉවත් වී ඇත් ද? කවුරු විධායක ජනාධිපති ධුරය හා ක්‍රමය අහෝසි කළත් මේ සරත් නම් බැරිවීමකින් ජයග්‍රහණය කළද ඒ අහෝසි නොකරනු ඇත. මේ සරත් හා ඒ සරත් එකඟ වන අවස්‌ථා නැතුවා නොවේ. විධායක ජනාධිපති ධූරය හා ක්‍රමය අහෝසි නොකිරීම එවැනි අවස්‌ථාවකි. ජවිපෙ යනු යම් ජාතිකත්වයක්‌ තිබූ එහෙත් වෛරය හා කසිකබල් මාක්‌ස්‌වාදය මත පදනම් වූ ද යම් යම් හේතු නිසා සමාජයට වෛර කරන ගැමි හා අර්ධ නාගරික තරුණ තරුණියන් කිහිප දෙනකු මුල් කරගත්තාවූ ද පක්‍ෂයකි. අද නිල වශයෙන් නොවූවත් ඔවුහු එජා පක්‍ෂයේ නායකත්වයෙන් යුත් දේශෙද්‍රdaහී නඩයක (බිරිතානීන්ට යටත්ව නෝර්වේ තානාපතිට එකඟ වී ඊනියා සටන් විරාම ගිවිසුම නමින් රට පාවා දීමේ ගිවිසුමක්‌ අත්සන් කිරීමට වඩා දේශෙද්‍රdaහී ක්‍රියාවක්‌ තිබිය හැකි ද? මේ දේශෙද්‍රdaහීන්ට විරුද්ධව කිසියම් අධිකරණයක නඩු පවරා දඬුවම් දෙන්නේ කවදා ද?) ජනාධිපති අපේක්‍ෂකයාට සහාය දෙති.

මේ ක්‍රියාවත් සමග තවදුරටත් ජවිපෙ ජාතිකත්වයක සේයාවක්‌වත් ඇති පක්‍ෂයක්‌ ලෙස සැලකිය නො හැකිය. ඔවුහු ව්‍යාජ දේශප්‍රේමීයෝ ය. මේ ආණ්‌ඩුවේ දූෂණ නැතැයි අපි නො කියමු. එහෙත් ජවිපෙ ආණ්‌ඩුව පෙරළා බලයට පත්කිරීමට යන නඩය දූෂණයෙන් තොර වන්නේ ද? ඔවුන් පිහිටුවන ආණ්‌ඩුව තාවකාලික භාරකාර ආණ්‌ඩුවක්‌ ය යන්න ජවිපෙ ගැලවිල්ලට කරන ප්‍රකාශයක්‌ පමණකි. බැරිවෙලාවත් දේශෙද්‍රdaහී නඩය දිනුවොත් ජවිපෙ නායකයන්ට ඇමතිකම් නොව ජීවිතවත් හිමි නොවනු ඇත. එහෙත් වෛරයෙන් දෑස්‌ අන්ධ කරගත් ජවිපෙට ඒ කිසිවක්‌ නො පෙනෙයි. මේ සරත් සමග එක්‌ වී හමුදාවේ ද සහාය ලබාගෙන එජාප නඩය ද පැරදවීමට ජවිපෙ සිතන්නේ නම් ඒ දෙවැනි වන්නේ එක්‌වර පොලිස්‌ ස්‌ථානවලට පහර දී බලය ලබාගැනීමට කළ ඊනියා විප්ලවයට පමණකි. මේ සරත්ට පරාජය වීම හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැත. ආණ්‌ඩුව අනවශ්‍ය ලෙස ඒ සරත් විවේචනය කළ යුතු නොවේ. එවැනි විවේචන කරන්නවුන් පාලනය කළ යුතු වෙයි. අනවශ්‍ය අන්දමට ඒ සරත් විවේචනය කිරීමෙන් පහර වදින්නේ ජාතික බලවේගයට ය.