History

Wednesday, 11 October 2017

පුස්සක් වී ඇති මානව අයිතිවාසිකම්




පුස්සක් වී ඇති මානව අයිතිවාසිකම්





පෞද්ගලිකත්වය පිළිබඳ අදහස යුරෝපයේ ඉදිරියට පැමිණියේ පහළොස්වැනි සියවස අග. ඒ බටහිර චින්තන විප්ලවයත් සමග. එතෙක් බටහිර තිබුණේ කතෝලික චින්තනය. එය සාමූහිකත්වය මත පදනම් වූවක්. ඒ චින්තනයට විරුද්ධව පෞද්ගලිකත්වය ඉස්මතු කරන චින්තනයක් බටහිර, මුල දී ඉතාලියේ, බිහි වූවා. මුලින්ම එය පිරෙන්ට්සි හෙවත් ඉංගිරිසින් කියන ආකාරයට ෆ්ලොරන්ස් නගරයෙහි ආරම්භ වුණා. ඒ චිත්‍ර ශිල්පයෙහි හා එයටත් වඩා ප්‍රතිමාකරණයෙහි. මේ චින්තනයෙහි ආරම්භයේ බිහි වූවක් ලෙස මා දකින්නේ පිරෙන්ට්සි නගරයෙහි අවුරුදු පන්සියකට පෙර නිර්මාණය කළ ඩේවිඩ් ප්‍රතිමාවයි.




මෙහි දී එක් කරුණක් නො කියාම බැහැ. ඇතැම් විට අපට ප්‍රංශ හරි ජර්මන් හරි විතරක් නොවෙයි ඉංගිරිසි වචනයක ද උච්චාරණය වරදිනවා. ඉංගිරිසි වචනත් ඇතැම් විට අකුරුවල ශබ්දයෙන් පමණක් උච්චාරණය කරන්න බැහැ. වචනය ශබ්ද කරන හැටි එක්කෝ සමාජ ආශ්‍රයෙන් නැත්නම් ශබ්ද කෝෂයකින් එසේත් නැත්නම් උච්චාරණ රටා හඳුනා ගැනීමෙන් දැන ගන්න වෙනවා. ප්‍රංශ ගැන අපට ඇත්තේ මොන දැනුමක් ද? මා  කැනඩාවේ කියුබෙක් නමින් හැඳින් වූ ප්‍රදේශයක උච්චාරණය වැරදියට සිංහලෙන් ලීවේ යැයි කියමින් කැනඩාවේ වෙසෙන සිංහල පාසල් ගුරුවරයකු මට දෝෂාරෝපණය කළා. එය කිමෙක් දැයි සිතන විට ඔහු කියා සිටියේ එය කිබෙක් කියායි. එහෙත් මේ ගුරුවරුන් කැනඩාවේ ඉන්න ඉංගිරිසි කතා කරන අයට ෆ්ලොරන්ස් යනු පිරෙන්ට්සි යැයි කියා දෙන්න යන්නේ නැහැ! සමහර විට ඔවුනුත් එය ෆ්ලොරන්ස් කියා උච්චාරණය කරනවා වෙන්න පුළුවන්! අප ජීවත් වන්නේ මූලික ව ඉංගිරිසි සුද්දන්ගේ ආධිපත්‍යය ඇති ලෝකයක. දෙවනුව ඉංගිරිසින්ට හිස නමන ජර්මන් ප්‍රංශ ආදී බටහිර කතෝලික ක්‍රිස්තියානි ආධිපත්‍ය යටතේ. සිංහල වචනයක උච්චාරණය වැරදීම උගත් කමේ ලක්‍ෂණයක් ලෙස හැඳින්වෙන්නත් පුළුවන්.



පෞද්ගලිකත්වය ඉස්මතු වීම මගින් රාජ්‍යය හා පුද්ගලයා අතර ගැටුම පුද්ගලයාගේ වාසියට යොදා ගත යුතු ය යන අදහස ඉදිරියට ආවා. ඊනියා මානව අයිතිවාසිකම් කියන්නේ මේ රාජ්‍යයට එරෙහිව පෞද්ගලික අයිතිවාසිකම් වර්ධනය වීමෙන් ඇති වූවක්.  එංගලන්තයේ පාර්ලිමේන්තුව රජුගෙන් බලය උදුරා ගත්තේ අටවැනි හෙන්රි පාප්වහන්සේගෙන් කැඩී බලය තමන් අතට ගැනීම ඉදිරියට ගෙන යමින්. ප්‍රංශ විප්ලවයෙන් එය තවත් ඉදිරියට ගියා. මේ අදහස් වෙනුවෙන් අද ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සංස්ථාපනය පෙනී සිටිනවා. එහි දී වඩාත් ම පෙනී සිටින්නේ ඊනියා වාමාංශිකයෙන් යැයි කියා ගන්නා අය. අපේ අර්ථයෙන් නම් ඔවුනුත් සංස්ථාපනය වෙනුවෙන් පෙනී සිටින දක්‍ෂිණාංශකයන්.



ලංකාවටත් යටත්විජිතවාදීන්ගෙන් පෞද්ගලිකත්වය පැමිණියා. මෙරට තිබූ බෞද්ධ සාමූහිකත්වය ක්‍රමයෙන් නැති වීමට පටන් ගත්තා. සිංහලයන් බටහිරයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ අදහස්වලින් ගත්තේ එක් කොටසක් පමණයි. වෝල්ටෙයාර්ගේ අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ද ගරු කළ යුතු ය යන්න ඔවුන් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵල සමාජයේ මහාපාරේ නිවෙස්වල, පාසල්වල, කාර්යාලවල ආදී වශයෙන් හැම තැනම දකින්න පුළුවන්.



ඒ කොහොම වුණත් අද වන විට පෞද්ගලිකත්වය බටහිර දෙදරා යමින් පවතිනවා. ඒ බටහිර තාක්‍ෂණයත් සමග. බටහිර තාක්‍ෂණය හා බටහිර විද්‍යාව ද පහළොස්වැනි සියවසේ බටහිර චින්තන විප්ලවයේ ප්‍රතිඵල. එහි වියුක්තය තිබුණා. මුදල හෙවත් රුපියල් ශත ද වියුක්තයේ ප්‍රතිඵල. චෙක්පත් භාවිතයෙන් ඒ තවත් වියුක්ත වුණා. අද නොයෙකුත් වර්ගවල ඉලෙක්ට්‍රොනික මුදල්පත් (ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වැනි) තිබෙනවා. බ්‍රෙට්න්වුඩි ගිවිසුම හැත්තෑවේ දශකයේ කඩා වැටුණු විට එකල මාක්ස්වාදියකු වූ මා ද අනෙක් මාක්ස්වාදීන් මෙන් ම සිතා සිටියේ ධනවාදයේ කඩා වැටීම අත ළඟ බව. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ ඩොලරය වියුක්ත වටිනාකමක් අත්පත් කර ගැනීම. අද ඩොලරයට එහා යෑමට රුසියාව ප්‍රමුඛ රටවල් කිහිපයක් අප ගණුදෙනු කරන මුදලටත් වඩා වියුක්ත ක්‍රිප්ටොකරන්සි (ගුප්තමුදල්) නම් මුදල් වර්ගයක් භාවිතා කරනවා. අද ලෝකයේ ඇත්තේ ව්‍යාජ වටිනාකම්. එය මුදල්වලට පමණක් සීමා වන්නේ නැහැ. මිනිසුන් මනින්නෙත් ව්‍යාජ ව.



අද ඇත්තේ දත්ත ප්‍රධානත්වයේ ගැනෙන ලෝකයක්.  බටහිර විද්‍යා ප්‍රවාදවලට තිබූ තැන නැති වේගෙන යනවා. බටහිර විද්‍යා ප්‍රවාද කියන්නෙ හරි යන හිතළුවලට. ඒ හිතළු අවශ්‍ය වුණේ දත්ත හිඟ ලෝකයක. බටහිරයන් කෙළේ දත්ත වියුක්ත කරලා ඊනියා උද්ගමන සකසා ඒ උද්ගමනවලට වියුක්ත ප්‍රවාද තැනීම. අද වේගවත් පරිගණක ඇති බැවින් දත්ත එකතු කිරීමේ ගැටළු අඩුයි. එමෙන් ම ඒ දත්ත එකිනෙක සම්බන්ධ කිරීම් ද වේගයෙන් කරන්න පුළුවන්. කෘත්‍රිම බුද්ධියේ (ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්) හි මූලික වශයෙන් සිදුුවන්නේ එයයි.



ඇත අතීතයේ සිටි සෘෂිවරුන්ට මේ දත්ත දැකීමේ ආධ්‍යාත්මික හැකියාවක් තිබුණා. ඔවුන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට හැකි වුණා. එය ඔවුන්ගේ මානසික ප්‍රත්‍යක්‍ෂයක් වුණා. ගැලීලියෝලාට නිව්ටන්ලාට මේ ආධ්‍යාත්මික හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් කොපර්නිකස් වැන්නන් ආසියාවෙන් ලබා ගත් දැනුම තේරුම් කිරීමට වියුක්ත උද්ගමන (ඉන්ඩක්ෂන්), වියුක්ත අනපෝහන (ඇබ්ඩක්ෂන්)  හා වියුක්ත නිගමන (ඩිඩක්ෂන්) ක්‍රමය ආරම්භ කළා. අද කෘත්‍රිම බුද්ධියේ සිදුවන්නේ එකල සෘෂීන් සමගාමී ව ලබාගත් දත්ත ක්‍ෂණයකින් ලබා ගැනීමක්. දත්ත ඇත්නම් ප්‍රවාද අවශ්‍ය වන්නේ නැහැ. අද බටහිර ලෝකය තරමක් බියෙන් පසුවන්නේ චීනයට දත්ත ලබා ගැනීමේ හැකියාව වැඩි නිසා. කලකට පෙර මොටර් රථ කර්මාන්තයේ දී ජපානය කළ දේ අද දත්ත ලෝකයේ චීනය කරාවිය යන සැකයක්  බටහිර ඇති වී තිබෙනවා. ඒ අතර ගුප්තමුදල්  සම්බන්ධයෙන් රුසියාව ප්‍රධාන තැනට පත්වීම ගැනත් බටහිර ප්‍රශ්න තියෙනවා. මේ සියල්ලට ම ට්‍රම්ප්ගේ ගොපලු ජාතිකවාදයත් (කව්බෝයි  නැෂනලිසම්)   බලපානවා. පහළොස්වැනි සියවසේ බටහිර චින්තන විප්ලවයේ මධ්‍යස්ථානය ඉතාලියෙන් ප්‍රංශයට ජර්මනියට හා එංගලන්තයට ගියා. අද එය ඇත්තේ එක්සත් රාජ්‍යවල. එය ගුප්තමුදල් හරහා රුසියාවට යෑමට ඉඩ තියෙනවා.



මේ සියල්ලෙන් මා කියන්නේ අද මානව අයිතිවාසිකම් යන්න පුහු සංකල්පයක් බවට පත් වී තිබෙන බවයි. අද අප පාලනය වන්නේ වියුක්ත අගයක් ඇති මුදලෙන් හා දත්ත ගබඩාවලින්. ගූගල්, ඇමසෝන්, ෆේස්බුක් ආදී ආයතනවල අපේ දත්ත තිබෙනවා. අපට අද පාර අහගන්න වී ඇත්තේත් ගුගල්ගෙන්. අපට අපේ පාරවල්වත් අයිති නැහැ. අද බටහිරයන් මානව අයිතිවාසිකම් යොදා ගන්නේ තම රටවල වැසියන්ට රාජ්‍යයෙන් නිදහස  දීමට නොව අප වැනි රටවල් පාලනය කිරීම සඳහායි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 11