History

Monday, 2 October 2017

මේ කාට ඕන නව ව්‍යවස්ථාවක් ද?  






මේ කාට ඕන නව ව්‍යවස්ථාවක් ද?



මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඇති අවශ්‍යතාව කුමක් ද? ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පෙර ඇසිය යුතු පළමු ප්‍රශ්නය එයයි. පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්‍ෂකයන්ගෙන් එක් අයකු වූ මහින්ද රාජපක්‍ෂට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක තිබුණේ නැහැ. අනෙක් අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරයකට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පොරොන්දු වුණා. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයේ  දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මෙරට ජනතාව වරමක් දී නොමැති බවයි.




පසුව අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එ ජා පෙරමුණ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ද වරමක් ඉල්ලුවා. සංධානය එවැනි වරමක්  ඉල්ලා සිටියේ නැහැ. මැතිවරණයේ දී එ ජා පක්‍ෂයට හිමි වූයේ මන්ත්‍රී ධුර 106ක් පමණයි. අද ආණ්ඩුවේ සිටින මෛත්‍රිපාලගේ කල්ලිය නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වරමක් නොඉල්ලූ බැවින් ඔවුන්ට ලැබුණු වරමක් නැහැ. නොඉල්ලූ වරමක්  දෙවියන්ගෙන්වත් ලැබෙන්නේ නැහැ.



අනෙක් අතට මේ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීයි. එබැවින් නීති විරෝධීයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊනියා ජාතික රජයක් අටවා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්‍ෂවලට. එ ජා පෙරමුණ මැතිවරණයේ දී වැඩිම මන්ත්‍රීධුර ලැබූ පක්‍ෂය ලෙස එයට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරී පත් වී ඇති වෙනත් පක්‍ෂයක් සමග ඊනියා ජාතික රාජ්‍යයක් පිහිටුවා ගත හැකියි. එහෙත් ඒ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරී පත් වී ඇති පක්‍ෂයක් සමග.



ශ්‍රී ල නි ප මැතිවරණයේ දී තරග කෙළේ නැහැ. එසේ නම් ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ නැහැ. අද ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්‍ෂයක් ලෙස කතානායක නො පිළිගන්නේ ඒ තරකය අනුව. ඒකාබද්ධ විපක්‍ෂයත් මෛත්‍රිපාල කල්ලියත් මැතිවරණයේ දී තරග කෙළේ සංධානයෙන්. එබැවින් එ ජා පෙරමුණට ඊනියා ජාතික රාජ්‍යයක් පිහිටුවා ගත හැක්කේ සංධානය සමග මිස පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන ශ්‍රී ල නි පක්‍ෂය සමග නො වෙයි.



මේ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී වන්නේත් නීති විරෝධී වන්නේත් එබැවිනුයි. එවැනි ආණ්ඩුවකට නව ව්‍යවස්ථාවක් තබා පනතක්වත් ගෙන ඒමට බැහැ. එහෙත් ජනාධිපතිගේත් කතානායකගේත් ආධාරයෙන් ආණ්ඩුව පවතිනවා. අවාසනාවකට මේ කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනතාවට බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාවෙන් ජනතාවට පරමාධිපත්‍යය හිමි වන බව ඇත්ත. එහෙත් හතරවැනි ව්‍යවස්ථාව අනුව ජනතාව ඒ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ  විධායක ජනාධිපති හා පාර්ලිමේන්තුව මගින්. පාර්ලිමේන්තුව අධිකරණ කාර්යයන් කරගෙන යෑම සඳහා ආයතන (විවිධ උසාවි හා වෙනත් ආයතන) පිහිටුවා ගෙන තියෙනවා.



පාර්ලිමේන්තුවේ වැඩ කරන ආකාරය ගැන තීන්දු දීමට එය විසින් පිහිටුවනු ලැබ ඇති ශ්‍රෙෂ්ඨාධිකරණයටත් බැහැ. ඒ පැරණි එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් එන්නක්. අපේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය හරි ද වැරදි ද කියන්න අපට බැහැ. මේක පුදුම පරමාධිපත්‍යයක්. අප අපේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න මෙයට වඩා සුදුසු විධියක් හොයා ගන්න ඕන. ඒත් ඒක අද කටයුත්තක් නො වෙයි.



අද නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක්වත් අවශ්‍යතාවක්වත් නැහැ. මේ ව්‍යවස්ථාවත් ඒකීය නො වෙයි. ඉංගිරිසියෙන් ඒකීය කීමෙන් පමණක් ව්‍යවස්ථාවක් ඒකීය වන්නේ නැහැ. බුද්ධාමට ප්‍රමුඛස්ථානය දීමත් එහෙමයි. ඒ මොකක් වුණත් මේ රට අවුරුදු දෙදහස් එකසියකට වඩා සිංහල බෞද්ධ රාජ්‍යයක් ව පැවතුණා. එය නැතිවුණේ 1815 දී. අපට අද අවශ්‍ය වන්නේ ගැමුණු රජුගේ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කර ගැනීමට. ඒත් ඒ මේ නීතිවිරෝධී ආණ්ඩුවෙන් නොවෙයි. ඒ සඳහා අප ඊළඟ මැතිවරණයෙන් සැබෑ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕන.



ඒ ආණ්ඩුවෙන් ඒකීය ව්‍යවස්ථාවකුත් ඇති කරගන්න ඕන. ඒකීය රාජ්‍යයක් කියන එක අප නිර්වචනය කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ඒ ඒ අංශයෙන් ජනතාවට අවශ්‍ය විධියට මුළු රටට ම හරි රටෙන් කොටසකට හරි බලපාන විධියට ඒ ඒ අංශවලින් එක් ආයතනයකින් පමණක් ක්‍රියාත්මක වන රාජ්‍යයක්. අද එහෙම නැහැ. පළාත් සභා මගින් මට මගේ පරමාධිපත්‍යය බස්නාහිර පළාතට පමණක් සීමා කර තිබෙනවා. පරමාධිපත්‍යය බෙදන්න බැහැ. එමෙන් ම එය අනුලංඝනීයයි. එහෙත් දහතුනෙන් පරමාධිපත්‍යය බෙදලා. අද නාගදීපයට සම්බන්ධ දේ ගැන මගේ පරමාධපත්‍යය ඉක්මවා උතුරු පළාත් සභාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සොළොස්මස්ථානවලින් ඒ ඒ පළාත්වල පිහිටා ඇති සිද්ධස්ථාන ගැන අනෙක් පළාත්වල සිංහල බෞද්ධයන්ට තීරණ ගන්න බැහැ.



මේ ආණ්ඩුව ගැන සත පහක විශ්වාසයක් නැහැ. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටවත් අපට එකඟ වන්න බැහැ. පසුගිය දවස්වල පනත් සංශෝධනය කිරීමේ දී ආණ්ඩුව ක්‍රියා කළ ජඩ ආකාරයෙන් පසු ව්‍යවස්ථාව සම්බන්ධ සංශෝධනවලටවත් එකඟ වන්න බැහැ. ව්‍යවස්ථා සංශෝධන මගින් රනිල් නව ව්‍යවස්ථාවක් ගෙන ඒවි. එබැවින් ව්‍යවස්ථාවේ තියෙන හානිකර වගන්තිවලට පමණක් විරුද්ධ වීමට අපට බැහැ. අප නව ව්‍යවස්ථාවත් ව්‍යවස්ථා සංශෝධනත් මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරන්න ඕන. ඒ විතරක් නොවෙයි. පසු දවසක දහතුනත් ඉවත් කරන්න ඕන. දැන් තියෙන පළාත් මදිවට තාප්ප බැඳ දහවැනි පළාතක් ඇති කරන්න යෝජනා කරන බක පණ්ඩිතයොත් අප අතරෙ ඉන්නවා. කළ යුත්තේ තියෙන පළාත් සභාත් අහෝසි කිරීම මිස තව තවත් පළාත් ඇති කර විවිධ පාලන ක්‍රම යෝජනා කිරීම නො වෙයි.



අපේ පළමු ප්‍රශ්නය වෙත. අද නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ කට ද? පැහැදිලිව ම බටහිරයන්ට ඉන්දියානුවන්ට හා ඔත්තු සේවා ආයතනවලට හා ඔවුන්ගෙන් යැපෙන දෙමළ ජාතිවාදීන්ට හා පඬියන් ට. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට. එහි දී රනිල්ලා ලාල් විජේනායකලා ජයම්පති වික්‍රමරත්නලා ඉන්නේ එකම පැත්තක. අප ඔවුන්ට ඉඩ දෙනවා ද?  නැති ප්‍රශ්නයක් විසඳීමට යැයි කියමින් ඔවුන් කරන්නේ වෙනත් ප්‍රශ්න ඇති කිරීමක්.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 02