History

Thursday, 5 October 2017

දයාන්ගේ මැද තැන


දයාන්ගේ මැද තැන



දයාන් ජයතිලක තමා දේශපාලන විද්‍යාඥයකු ලෙස හඳුන්වා ගන්නවා. ඩලස් අලහප්පෙරුම දයාන්ගේ දේශපාලන විචාර ඉතා ඉහළින් පිළිගන්නවා. පසුගිය දා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ යම් රැස්වීමක දේශනයක් සඳහා දයාන්ට ආරාධනය කර තිබෙනවා. ඔහුට එසේ ආරාධනය කෙළේ කවුද යන්නවත් කුමකට ද යන්නවත් මා දන්නේ නැහැ. වර්ධරාජ  පෙරුමාල් ප්‍රේමදාස ආදීන් සමග වූ කීර්තිමත් ඉතිහාසයක් ඔහුට තිබෙනවා. එකල ප්‍රේමදාස හිතවාදියකු වූ මහින්දපාලගේ කතෘත්වයෙන් පළ වූ ඔබ්සර්වර් පත්‍රයෙහි ඔහු අනුරුද්ධ තිලකසිරි නමින් ජාතික චින්තනයට විරුද්ධව ලිපි පෙළක් පළ කළා. ඒ ලිපි සිංහලට පරිවර්තනය කෙරී සිළුමිණ පත්‍රයෙහි පළවූවා.




මහින්දපාල පමණක් නොව ප්‍රේමදාස සමග සිටි ගිහි පැවිදි වෙනත් අයත් අද ජාතිකවාදීන් සමග කටයුතු කරනවා. එය හොඳයි. අංගුලිමාලත් රහත් වුණා. සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් කිසිවකුගේ ඉතිහාසය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. දේශපාලනඥයන් නම් ඒ ගැන තකන්නේ ම නැහැ. එය පිටරටටත් පොදුයි. එබැවින් ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන් තම මන්ත්‍රීන් ඇමතීමට දයාන්ට අවස්ථා ලබා දීම ගැන මා පුදුම වන්නේ නැහැ.



මා නම් දේශපාලන විද්‍යාඥයකු තබා භෞතික විද්‍යාඥයකුවත් ගණිතඥයකුවත් නො වෙයි. මට භෞතික විද්‍යාඥයකු වීමට ගැටවර වියේ හා තරුණ වියේ අවශ්‍යතාවක් තිබුණා. ඒත් එසේ බටහිර විද්‍යාඥයකු වීමට මට නොහැකි බව මට තේරුම් ගොස් අවුරුදු පනහකට ආසන්නයි. හැරත් ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනාට පමණක් නොව ජනමාධ්‍යවේදීන්ටත් උගතුන්ටත් විදග්ධයන්ටත් අනුව මා අන්තවාදියෙක්. ඔවුන් හිතන්නේ මා බටහිර සෑම දෙයක් ම ප්‍රතික්‍ෂෙප කරන බවයි. ඔවුන්ට චින්තනය කියන සංකල්පය තේරෙන්නේ නැහැ. ඥානය යනු දැනුම නොවන බවත් දැනුම පංචෙන්ද්‍රියට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂ බවත් එය එලෙසින් යමකිසි චින්තනයක නිරමාණය කෙරෙන බවත් ඒ විදග්ධයනට තේරෙන්නේ නැහැ. ඔවුන් මේ කපේ දී නිර්මාණාත්මක සාපේක්‍ෂතාව තේරුම් ගන්න එකක් නැහැ.



ම එ පෙරමුණ හැරෙන්නට වෙනත් කිසිම පක්‍ෂයක් තම රැස්වීමක් ඇමතීමට මට ආරාධනය කර නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුරේ පැවති රැස්වීමක් ඇමතීමට පවිත්‍රා වන්නිආරච්චි (පක්‍ෂය ලෙස නොව) නම් මට වරක් විනාඩි කිහිපයක් ලබා දුන්නා. අඩු තරමෙන් ජාතිකවාදීන්වත් ඔවුන්ගේ රැස්වීමක් ඇමතීමට මට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. අප පවත්වන රැස්වීම් ජනමාධ්‍යයෙහි වාර්තා කෙරෙන්නේ නැහැ. මේ ලිපිවලට ඔවුන් කිසිම තැනක් දෙන්නේ නැහැ. මේ ලිපි ඔවුන්ට නම් මිථ්‍යා මතවල එල්බ ගෙන ඉන්න විද්‍යාත්මක චින්තනයක් නැති අන්තවාදියකු විසින් ලියැවෙන දේ.



මා මේ ලිපිය ලියන්නේ මට ඇරියුමක් ලබා ගැනීමට නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ තවමත් චන්ද්‍රිකාගේ පැකේජ් රොඩු තියෙනවා. ඇතැමුන් සමහර විට තම අදහස් වෙනස් කරගෙන ඇති. එහෙත් බොහෝ දෙනා තවමත් ඉන්නේ පැකේජයේ. ඔවුන්ට දයාන්ගේ කතා ඉතා අගෙයි. කර්ණ රසායනයි. මේ ලිපිය ලිවීමට මා සිතුවේ ඉහත සඳහන් රැස්වීමේ දී  දයාන් මැද තැනක් ගැන කියා ඇති නිසා. මේ මැද කුමක් ද? ඔහු කලකට පෙර ස්මාට් ජාතිකවාදයක් ගැන කතා කළා. ඔහු දැන් කියන්නේ ජාතිකත්වය හා ඒකීයභාවය ගැන කතා කර තරුණයන් ආකර්ෂණය කර ගත නොහැකි බවයි. එසේ නොකර මැද තැනකට එන්න ඕන යැයි ඔහු කියා තිබෙනවා. ඒකීය භාවය හා ජාතිකත්වය ගැන කතා කර ලබාගත හැක්කේ ඡන්දවලින් 40% ක් පමණක් යැයි ඔහු කියා ඇති බවත් එහි දී ඔහු වෙනත් කෙනකුගේ ඊනියා ගවේෂණයක් මත පදනම් වන බවත් කියා තිබෙනවා.



පසුගිය ජනාධිපතිවරණයේ දී, මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ පැරදුණේ ඔහුගේ උපදේශක පඬියන් ජාතිකත්වය ගැන කතා නොකළ නිසා. එසේ කතා නොකිරීම ගැන මැතිවරණ සමයේ දී ම මා දොස් කිවුවා. එහෙත් සංධානයේ ප්‍රබුද්ධයන් අප්‍රබුද්ධ අන්තවාදී මගේ අදහස් ප්‍රතික්‍ෂෙප කළා. මා කලක්  හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ හැකි බව හා යුතු බවත් ඒ සඳහා දේශපාලන නායකත්වයක් දිය යුතු බවත් ගැරහුම් මැද තනිව ම කියා සිටියා. මහින්ද මා කියන දේට සවන් දුන්නේ යැයි මා කියන්නේ නැහැ. ඔහු මොන කරුණක් නිසා නමුත් කොටි පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නා. අද හැම දෙනා ම තමන් කොටි පරාජය කළ යුතු හා හැකි බව කීවෙ යැයි කියනවා. 



එහෙත්   කොටි පරාජය කළ යුතු යැයි කීම එදා ඒ බොහෝ අයට අන්තවාදයක් වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ ඊනියා සාකච්ඡා මගින් මැද තැනකට ඒමට. එවැනි මැද තැනක් නැහැ. එක්කෝ කොටි පරාජය කරනවා. නැත්නම් කොටින්ට (බටහිරයන්ට හා ඉන්දියාවේ කෞටිල්‍යයන්ට) අවශ්‍ය දේ දෙනවා. දැන් කොටි පරාදයි. ඒ සමග සමස්ත දෙමළ ජාතිවාදයත් පරාදයි. ඊනියා ප්‍රශ්නය නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව විසඳුනා. ඒ සමග දහතුනත් දේශපාලනික ව පරාජය වුණා. දහතුනෙන් මේ රාජ්‍යය සන්ධීය රාජ්‍යයක් බවට පත් කෙරුණු බව අප කලක් තිස්සේ කියනවා. දැන් කළ යුත්තේ දහතුන නෛතික ව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම පමණයි. අද දහතුන තියා ගැනීමට කතා කරන්නන් නන්දිකඩාල් ජයග්‍රහණය දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ ප්‍රතික්‍ෂෙප කරනවා.



බුදුන් වහන්සේ දෙසූ මධ්‍යම ප්‍රතිපදාව අද බොහෝ විට යොදා ගන්නේ අබෞද්ධයන්. ඒ තමන්ගේ වාසියට. බුදුන් වහන්සේ දෙසූ මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ පටිච්චසමුප්පදායෙහි. මූලික වශයෙන් මධ්‍යම ප්‍රතිපදාවෙන් කියැවෙන්නේ ශාස්තවාදයත් උච්ඡෙදවාදයත් බැහැර කළ යුතු බවයි. ඒ ඇත්නම් මේ හට ගනියි. ඒ නැත්නම් මේ හට නොගනියි. එපමණයි. වෙනත් කරුණුවල දීත් ඇතැම් විට මධ්‍යම ප්‍රතිපදාවක් ගැන කියැවෙනවා. දැන් පඬියකුට අහන්න පුළුවන් ශාස්වතවාදයත් උච්ඡෙදවාදයත් බැහැර කිරීමත් අන්තවාදයක් නො වේ ද කියා. අපට ශාස්තවාදයේ හා උච්ඡෙදවාදයේ මැද තැනකට එන්න බැරි ද කියා අහන්න පුළුවන්. පටිච්චසමුප්පදායෙහි මැද තැන යනු අන්ත දෙකක මැද තැනකට ඒම නොව අන්ත දෙක ම බැහැර කිරීමයි. බැහැර කිරීමත් බැහැර නොකිරීමත් යන දෙකම බැහැර කරන්න පුළුවන් ද? එසේ බැහැර කිරීම හා බැහැර නොකිරීම බැහැර කිරීම අන්තවාදයක් වෙනවා ද? එයත් බැහැර කර හා නොකර සිටිය හැකි ද? එහි කෙළවරක් තිබේ ද? එවැනි බැහැර කිරීම් හා නොකිරීම් නැවත නැවතත් බැහැර කරන්න පුළුවන් ද? එවැන්නක් කල්පාවසානය වන තෙක් කරන්න පුළුවන්. මෙයට බටහිර ගණිතයෙහි අනන්ත ප්‍රතිමායනය (infinite regression) යැයි කියනවා.



නිවන අන්තයක් ද? එය අන්තයක් ලෙස ගෙන අපි නිවනත් බැහැර කරමු ද? නිවනත් සසරත් දෙකම බැහැ කිරීමට පුළුවන් ද? නැත්නම් නාගර්ජුන හාමුදුරුවන් වරදවා ගත්තාක් මෙන් නිවනත් සසරත් දෙක ම එකක් ලෙස ගමු ද? බුදුදහම සාපේක්‍ෂතාවක් බවත් බුදුන් වහන්සේ දෙසූ ධර්මය සංදර්භය මත රැඳෙන බවත් බොහෝ දෙනකුට තේරෙන්නේ නැහැ. ක්‍රිස්තියානි පසුබිමක් ඇති අයට බුදුදහම තේරුම් ගැනීම අති දුෂ්කරයි. කාලෝ ෆොන්සේකා ඒ සඳහා තවත් උදාහරණයක්.



ඒකීය හා සන්ධීය අතර මැද තැනක් නැහැ. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ අයට මධ්‍යම ප්‍රතිපදාච තේරෙන්නේ නැහැ. අප ඔවුන්ට යමක් තේරුම් ගන්නට ඔවුන්ගේ සංස්කෘතියෙහි එන කියුමක් උපුටා දක්වනවා. ගැබිණියක් වීම හා නොවීම අතර මැද තැනක් නැහැ. කිසිවකුටවත් බාගෙට ගර්භණී වීමට බැහැ. සාමාන්‍ය ගැමියන් නම් කියන්නේ දොන් නම් දොන් සිමන් නම් සිමන් කියායි. ඒ කියන්නේ එක් අතකින් ගතහොත් ගැබිණි බවට වග කිවයුත්තේ එක්කෝ දොන් නැත්නම් සිමන් කියලත් අර්ථකථනයක් දෙන්න පුළුවන්. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 05