History

Monday, 20 November 2017

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

පසුගිය දහසයවැනි බ්‍රහස්පතින්දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශය මගින් ඉහත සඳහන් තේමාවෙන් සමුළුවක් සංවිධානය කර තිබුණා. එය එකී අධ්‍යයනංශයෙහි ප්‍රධානී  ආචාර්ය චරිත හේරත්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණේ. මා හිතන්නේ අධ්‍යයනාංශයත් ශාස්ත්‍ර පීඨයත් එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළ බව. ශාස්ත්‍ර පීඨාධිපතිතුමා ඇතුළු ඒ සියල්ලන්ට මගේ ස්තුතිය. සමුළුව පැවැත්වුණේ ලෝක දාර්ශනික දිනය සැමරීමට. විශ්වවිද්‍යාලයකින් මට අධ්‍යයනික දේශනයක් සඳහා ආරාධනයක් ලැබීම හාවා හඳ දැකීම වගේ වැඩක්. චරිත නොවන්නට මට මේ ආරාධනයත් නොලැබෙන බවත් මා දන්නවා.

මට එහි දී මගේ පැරණි මිතුරන් කිහිප දෙනකු මුණ ගැසුණා. පී වී ජේ ජයසේකර, සුමනසිරි ලියනගේ, ඩෙස්මන්ඩ් මල්ලිකාරචිචි, ආර් ඩී ගුණරත්න, වැඩබලන උපකුලපති විජේවීර, ශාන්ත හෙන්නායක ඉන් කිහිප දෙනෙක්. මේ අයගෙන් බොහෝ දෙනකු මා 1970 පමණ සිට දන්නවා. අපට විවිධ දේශපාලන අදහස් තිබෙනවා. එහෙත් අවුරුදු පනහකට ආසන්න මිතුදමක් රැකී තිබෙනවා. මේ අය අතර සමහර දෙනකු මා සමග අනූව දශකයේ මුල ආචාර්ය සමිති සම්මේලනයේ ක්‍රියාත්මක වූ අය. අප වෘත්තීය සමිති ඉතිහාසයේ වාර්තාගත වැටුප් වැඩිවීමක් ලැබුයේ ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස. තවමත් ආචාර්යවරුන්ගේ වැටුප් ව්‍යුහ තීරණය වන්නේ එදා වූ එකඟතා මත. මට මෙහි දී දන්ත වෛද්‍ය පීඨයේ අජිත් රණසිංහ හා ඉංජිනේරු පීඨයේ මුත්තු මතක් වෙනවා. අජිත් එකල වෘත්තීය සමිති අරගලයේ ඉතාමත් ක්‍රියාකාරි වූ අයෙක්. අවාසනාවකට ඔහු අසනීප වී ඉක්මණින් ම විශ්‍රාම ලබා ගත්තා. මුත්තු ඉතා වටිනා අදහස් එකතු කළා. අද ඔහු ඉන්නේ කොහේ දැයි මා දන්නේ නැහැ.

මේ සියල්ලටමත් වඩා මට නව සමසමාජ පක්‍ෂයේ පැරණි සාමාජිකයකු වූ සෝමපාල සහෝදරයාගේ දර්ශන පුතණුවන් හඳුනා ගැනීමට ලැබුණා. ඒ සුමනසිරිගේ මැදිහත් වීමෙන්. සෝමපාල රොනී ආදීන් සමග මගේ එකල අලුත් කාරයේ පාප්ප බාල්දි ගෙන නුවර හා අවට පෝස්ටර ඇලවීමට ගිය ආකාරය සුමනසිරි සිහිපත් කළා. එදා කාරය අලුත්, අප තරුණයි. අද කාරයත් අපත් අබලන්. රොනී සහ සෝමපාල ජීවතුන් අතරත් නැහැ. ලංකාවට කොත්තු හඳුන්වා දුන්නේ රොනී ද කියලත් මට වෙලාවකට හිතෙනවා. වැඩිකල් නොගොස් අපත් අභාවයට යාවි. සමුළුවේ මගේ දේශනයේ මා සඳහන් කෙළේ බොහෝ තරුණයන්ට මා මැන්ටල් බව. චරිත, සුමේධ, සමන් ආදීන් ඉන්නේ අතරමැදි තැනක. ඔවුන් මහලු වේගන යනවා.

සමුළුව අවසන් වන තෙක් සහභාගි වීමට මට හැකි වුණේ නැහැ. මහලු වියේ කුටුම්බ සංරක්‍ෂණය ක්‍රියාත්මක වන ආකාරය හේතුවෙන් මට ඉක්මණින් පිටවීමට සිදු වුණා. එබැවින් සමුළුව ගැන පූර්ණ අදහසක් ඉදිරිපත් කිරීමට මට බැහැ. මගේ දේශනය ගැන කෙටි සටහනක් පසුව ඉදිරිපත් කරන්නම්. සමුළුවේ තේමාව  බොහෝ දෙනාට කුතුහලයක් දනවන්නට ඇති. බටහිර දර්ශනය අනුව සත්භාවවේදය හා ඥානවිභාගය යනු දෙකක්. සත්භාවවේදය නැත්නම් ඔන්ටොලොජි යනුවෙන් කියැවෙන්නේ පැවැත්ම අස්තිත්වය පිළිබඳ වේදය නැත්නම් දැනුම. බෞද්ධ සාහිත්‍යයේ අත්ථි නත්ථි යනුවෙන් මෙය සාකච්ඡා වෙනවා. සාංඛ්‍ය දර්ශනයේත් මේ කරුණ ගැන කියැවෙනවා. එහෙත් ඒ බටහිරට වෙනස් ආකාරයකින්.

බටහිර සත්භාවවේදයට අමතර ව ඥානවිභාගයක් නැත්නම් එපිස්ටමොලජියක් ගැනත් කියැවෙනවා. ඥාන විභාගය යනු දැනුම පිළිබඳ වේදය නැත්නම් දැනුම. ඉංගිරිසියෙහි දක්නට ලැබෙන ලොජි යන්න ලොගොස් යන්නෙන් බිඳී එන්නක්. එහි තේරුම වචනය යන්නයි. බයිබලයේ කියැවෙන්නේ පළමුව වචනය (වර්ඩ්) තිබූ බව. ඒ දෙවියන් වහන්සේ හා සම්බන්ධයි. පාරිභාෂික ශබ්දමාලාවේ ලොගෙස් යන්නට දී ඇත්තේ වාග් බ්‍රහ්මත්වය යන්න. ඒ කුමක් වුවත් දැනුම පිළිබඳ දැනුමකුත් තියෙනවා. එය සමහරුනට පරස්පරයක් ලෙසත් හිතෙන්න පුළුවන්. අස්තිත්වය නැත්නම් පැවැත්ම පිළිබඳ දැනුම ඥානවිභාගයේ කොටසක් ද? අනෙක් අතට දැනුම යන්න පවතිනවා ද? ඇත්තේ දැනුමක් ද? දැනුම් රාශියක් ද?

සමුළුවේ තේමාව මේ බටහිර දර්ශනයේ ඇති ද්වෛතයක් පිළිබඳවයි. පෙරදිග සාංඛ්‍ය දර්ශනයේවත් මහාවීරගේ ජෛන දර්ශනයේවත් බුදුදහමෙහිවත් එවැනි ගැටළුවක් පැන නගින්නේ නැහැ. බටහිර දර්ශනයෙහි සත්භාවවේදය එක්තරා ආකාරයකින් ඥානවිභාගයට එරෙහි වෙනවා. පෙරදිග දර්ශනයෙහි එසේ එරෙහි වීමට ද්වෛතයක් නැහැ.

මා පැහැදිලි කිරීමට උත්සාහ කළේ එක් සත්භාවවේදයක් නොව සත්භවවේද රාශියක් ඇති බවත් එය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ බවත් ඒ නිරීක්‍ෂයාගේ නිර්මාණ බවත්. මගේ මාතෘකාව වූයේ ක්වොන්ටම් සත්භාවවේද හා නිරීක්‍ෂකයා යන්නයි. එහි දී සම්භාව්‍ය සත්වභාවවේද තුනක් හා ක්වොන්ටම් සත්භාවවේද පහක් මා සඳහන් කළා.  ඒ පහෙන් සත්භාවවේද දෙකක් මගේ නිර්මාණ. එකක් චතුස්කෝටිකය මත පදනම් වෙනවා. ඒ අනුව අංශුවකට එකවිට දෙතැනක (කිහිප තැනක) පවතින්න පුළුවන්. ඒ බව කලකට පෙර මා පත්‍රිකාවක් මගින් ජාත්‍යන්තර යැයි කියන සඟරාවකට ඉදිරිපත් කළා. එය සත්භාවවේදයක් මෙන් ම ඥානවිභාගයක් ද වෙනවා. දෙවැනි සත්භාවවේදය ඉතාම අලුත් එකක්. එය පළමු වරට ඉදිරිපත් කෙරුණේ සමුළුවේ දී. අපි එය වෙන ම කතා කරමු.        

____________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු