History

Wednesday, 22 November 2017

දියගොඩ සැමතැන පෙර ද පසු ද

දියගොඩ සැමතැන පෙර ද පසු ද

ක්වොන්ටම් භෞතිකයේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ගැන ඇතැමුන් දන්නවා.  භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් එය තේරුම් ගැනීමට නොහැකි බව ප්‍රකාශ කළා. එහි ඉතිහාසය තරංගවාදය කරා දිව යනවා. තහඩුවක සිදුරු දෙකක් තුළින් ආලෝක ධාරාවක් යවා එය තිරයක් මත පතිත කරවීම මෙහි මූලික කටයුත්ත. එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තිරයේ රටා නිර්මාණය වෙනවා. මේ රටා තේරුම් කර දුන්නේ, මතක තබා ගන්න තේරුම් කර දුන්නේ, තරංගවාදය මගින්. පසුව ප්ලෑන්ක් ක්වොන්ටම් අදහස ඉදිරිපත් කළා. අයින්ස්ටයින් ෆෝටෝනය යන සංකල්පයට පසුබිම සකස් කළා. ඉන් පසු ආලෝකය ෆෝටෝන ලෙසත් තේරුම් කෙරුණා.

ක්වොන්ටම් භෞතිකයේ ආලෝකයට තරංග ගුණ මෙන් ම අංශු ගුණ ද තිබෙනවා. ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ෆෝටෝන මගින් විස්තර කරන්නේ කෙසේ ද? එය තරංග මගින් පමණක් විස්තර කරන්න බැහැ. ෆෝටෝන ධාරාවක් නොව තනි තනි ෆෝටෝනය ලෙස සිදුරුවලට එල්ල කළත් අවසානයේ තිරයේ රටා දකින්න පුළුවන්. සිදුරු දෙක ම විවෘත කර තිබුණොත් රටා දැකිය හැකියි. එක් සිදුරක් පමණක් විවෘත කළොත් රටා නැතිව යනවා. එවිට ෆෝටෝනය තිරයේ ලක්‍ෂයක් ලකුණු කරනවා.

ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ෆෝටෝන ලෙස තේරුම් ගැනීමට බටහිරයන්ට බැහැ. එයට හේතුව ඔවුන්ගේ සංස්කෘතියේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායයි. ෆයින්මාන්ට ද්විත්ව සිදුරු පරීක්‍ෂණය තේරුම් ගැනීමට නොහැකි වූයේ එබැවිනුයි. ඔවුන්ගේ සංස්කෘතිය අනුව ෆෝටෝනයකට එක්විට පැවතිය හැක්කේ එක් තැනක පමණයි. ඒ ප්‍රස්තුතයක් එක්කෝ සත්‍ය විය යුතුයි නැත්නම් අසත්‍ය විය යුතුයි යන න්‍යාය අනුව. එහෙත් අපේ සංස්කෘතියේ චතුස්කෝටික න්‍යාය අනුව ප්‍රස්තුතයක් සත්‍ය මෙන් ම අසත්‍ය වන අවස්ථාව ද තිබෙනවා. ඒ අනුව ෆෝටෝනය එක්විට දෙතැනක හෝ කිහිප තැනක හෝ පැවතිය හැකියි. මෙය සත්භාවවේදය පිළිබඳ ප්‍රශ්නයක්. සත්භාවවේදය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. සත්භාවවේද රාශියක් තිබෙනවා.

අපේ සංස්කෘතියේ චුල්ලපන්ථක තිස්ස හාමුදුරුවන්ගෙ කතාව දන්න අයට නාථ දෙවියන්ට එක්වර හයතැනක ඉන්න පුළුවන් ය කියන කතාව අහල තියෙන අයට එක්විට කිහිප තැනක පැවතීම යන්න නුහුරු නුපුරුදු දෙයක් නො වෙයි. එහෙත් පඬියන්ට නම් ඒ සියල්ල මිථ්‍යා. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙලා මා කලකට පෙර 2010 දී වෙනස් සත්භාවවේදයක ක්වොන්ටම් භෞතිකය යනුවෙන් පත්‍රිකාවක් ලියා පළ කළා. එය 1006.4712 Arxiv On Quantum Ontology මගින් ලබාගත හැකියි. එහි මා සඳහන් කෙළේ ෆෝටෝනය එක්විට සිදුරු දෙකෙන් ම ගමන් කරන බව. මේ සිංහල බෞද්ධ විද්‍යාවට විසිඑක්වැනි සියවසේ උදාහරණයක්.

එහෙත් මේ අතර මගේ හිතට වධ දුන් කරුණක් තිබුණා. අභාවප්‍රාප්ත ජෝන් වීලර් නම් සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා අසා තිබුණා ප්‍රශ්නයක්. ඒ ෆෝටෝන සිදුරු දෙක පසුකර යෑමෙන් අනතුරුව එක් සිදුරක් වසා දැමුවහොත් කුමක් සිදුවේ ද යන්න. ඒ සම්බන්ධ යම් යම් පරීක්‍ෂණත් කෙරී තිබුණා. එයින් කියැවුණේ ෆෝටෝන සිදුරු පසු කිරීමෙන් අනතුරුව සිදුරක් වැසුවත් ෆෝටෝන එක් සිදුරක් තුළින් පමණක් යන ආකාරයෙන් හැසිරෙන බව. එනම් තිරයේ රටා නැති වන බව. පසුගිය ඔක්තෝම්බර් මස පළ වූ පත්‍රිකාවකට අනුව චන්ද්‍රිකා තාක්‍ෂණය යොදා ගෙන කරන ලද පරීක්‍ෂණයෙන් මෙය තවදුරටත් තහවුරු වී තිබෙනවා. ප්‍රශ්නය සිදුරු පසු කිරීමෙන් අනතුරුව සිදුරක් වැසුවත් ෆෝටෝන ක්‍රියා කරන්නේ සිදුර කලින් ම වසා තිබූ ආකාරයට. මෙය වීලර්ගේ ප්‍රමාද තේරීම (Delayed Choice) ලෙස හැඳින්වෙනවා.

වීලර්ගේ ප්‍රශ්නයට ඇත්තේ සරල පිළිතුරක්. මට එය කල්පනා වූයේ සති කිහිපයකට පෙර. මා එය ප්‍රථම වරට පේරාදෙණියේ ලෝක දර්ශන දිනය නිමිත්තෙන් පසුගිය දහසයවැනි දා පවත්වන ලද සමුළුවේ දී ඉදිරිපත් කළා. එයින් කියැවෙන්නේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණයේ ෆෝටෝනවලට කාලය හා අවකාශය (පිහිටීම) අර්ථ නොදැක්වෙන බව. ක්වොන්ටම් භෞතිකයට අනුව අංශුවක (පද්ධතියක) වේගය දන්නේ නම් එහි පිහිටීම දන්නේ නැහැ. පිහිටීම් අවස්ථා නිරූපණය කෙරෙන හිල්බට් අවකාශය නම් වියුක්ත ගණිතමය අවකාශයක දෛශික රාශියක් තිබෙනවා. එහෙත් ඒ අවස්ථා නිරීක්‍ෂණය කරන්න බැහැ. ඒ අවස්ථා සියල්ල අධිස්ථාපනය (Superposition) වී තරංග ශ්‍රිතය හැදෙනවා. පිහිටීම මැන ගැනීමට (බලා ගැනීමට) අවශ්‍ය නම් ඒ සඳහා උපකරණ යොදා ගෙන පරීක්‍ෂණයක් (නිරීක්‍ෂණයක්) කළ හැකියි. එවිට ඒ අවස්ථා රාශියෙන් එකක් පමණක් ලැබෙනවා. ඒ අවස්ථාව එවිට නිරීක්‍ෂණය කළ හැකියි. අවස්ථා රාශියෙන් එක් අවස්ථාවකට පත්වීම තරංග ශ්‍රිතයෙහි කඩා වැටීම ලෙස හැඳින්වෙනවා. පිහිටීම දැන ගත්විට වේගය දැන ගන්න බැහැ. මේ අනිශ්චතා මූලධර්මයෙන් ලැබෙන්නක්. කාලය හා ශක්තිය සම්බන්ධයෙනුත් එවැන්නක් ක්‍රියාත්මක වෙනවා. ශක්තිය දන්නේ නම් කාලය දන්නේ නැහැ. එනම් කාලය අර්ථ දැක්වෙන්නේ නැහැ.

ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි ෆෝටෝනය සිදුරු දෙක පසු කරන්නේ අපට සාපෙක්‍ෂව. ෆෝටෝන සිදුරු දෙක පසු කරන වෙලාව අපට දැනගත හැකියි. එහෙත් ඒ අප සම්භාව්‍ය (නිව්ටෝනීය මෙන් ම අයින්ස්ටයිනීය) භෞතිකයට අනුව සිතන අයුරුයි. ක්වොන්ටම් භෞතිකයට අනුව ෆෝටෝනයට ශක්තියක් ඇත්නම් (ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි ෆෝටෝනයට නිශ්චිත ශක්තියක් තිබෙනවා) කාලයක් අර්ථ දැක්වෙන්නේ නැහැ, කාලයක් නිර්ණය වන්නේ නැහැ. ෆෝටෝනය සම්බන්ධයෙන් පෙර ද පසු ද යන්න අර්ථශූන්‍ය ප්‍රශ්නයක්. එලෙස ම ෆෝටෝනය කොහේ පිහිටන්නේ ද යන්නත් අර්ථශූන්‍යයි. අවශ්‍ය නම් ෆෝටෝනය හැම තැන ම හැම වෙලාවක ම පවතිනවා කියන්න පුළුවන්. මගේ කලින්  පත්‍රිකාවෙහි එකවිට ෆෝටෝනය කිහිප තැනක ඇත යන්න දැන් වෙනස් වෙනවා. ෆෝටෝනය සැමවිට සැමතැන තිබෙනවා. මට සුනිල් ශාන්තයන්ගේ දියගොඩ සැමතැන කිරි ඉතිරේ ගීතය මතක් වෙනවා. හඳපාන හැම තැන ම. ෆෝටෝන හැම තැන ම. විද්‍යාවේත් නිර්මාණ කිරීමට අප අපේ සංස්කෘතියේ කිිමිදිය යුතුයි.

ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි සිදුරක් වසන වෙලාව අපට වැදගත් වුවත් නිරීක්‍ෂණයෙහි ලා ෆෝටෝනයට එය වැදගත් නැහැ. පෙර පසු යන්න හෝ කොතැන ද හෝ යන්න ශක්තිය හා වේගය නිශ්චිත ව ඇති විට ෆෝටෝනයට වැදගත් වන්නේ නැහැ. වීලර්ගේ ප්‍රශ්නය අපට තේරෙනවා. අපට එයට පිළිතුරක් තිබෙනවා. සිදුරු එකක් නොව දෙක ම වසා දැමුවත් ෆෝටෝනයට ප්‍රශ්නයක් නැහැ. අපට සාපේක්‍ෂව සිදුරු පසු කිරීමෙන් පසුව සිදුරු වැසුවත් ෆෝටෝනය තිරය මත රටා වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ දිස්වන එකක් නැහැ. මෙරට භෞතික විද්‍යාඥයන්ට එය පරීක්‍ෂණයක් ලෙස මා යෝජනා කරනවා.    

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු

2017-11-22