History

Saturday, 23 December 2017

දොස්තර ඒකාධිකාරය 4

දොස්තර ඒකාධිකාරය 4


බොහෝ දේ ගැන ලියන්න තියෙනවා. මූලාශ්‍ර, ඊනියා සමාජයීය විද්‍යා, න්‍යාය (ලොජික්) ගණිතය හා බටහිර විද්‍යාව විශේෂයෙන් ම භෞතික විද්‍යාව, සයිටම්, මැතිවරණය, බොරු හා පට්ටපල් බොරු, සිංහල බෞද්ධ රාජ්‍යය, අපේ දැනුම හා බටහිර දැනුම් ආධිපත්‍යය, ආදී වශයෙන් මාතෘකා බොහෝමයි. එක් තරුණයකු, මා හිතන විධියට නුවර පදිංචි අයකු, අසා තිබුණා මේ කරුණු, දැනුම් අවශෝෂණය, ඥානවිභාග ආදිය ගැන කතා කරන තැනක් දන්නවා ද කියා.  සමහරු මේ කරුණු ගැන ලියනවා, එහෙත් මේ කරුණු අවුරුදු තිහක් පමණ කතා කළ අය ගැන ලියන්නේ නැහැ.

අර තරුණයා චින්තන පර්ෂදය කර ඇති කිසිවක් දන්නේ නැහැ. ඒ අපේත් වරද, අප වෙළෙන්දන් නොවන නිසා අපේ අදහස් වෙළෙඳපොළට ගෙන යන්නේ නැහැ. ගෙන යන්න දන්නේත් නැහැ. දැන් නම් චින්තන පර්ෂදය එතරම් ක්‍රියාත්මක නැහැ. එකල තිබූ කාලය සඟරාව ගැන තබා අදත් පවත්වාගෙන යන කාලය වෙබ් අඩවිය ගැනවත් බොහෝ දෙනා දන්නේ නැහැ. අද කාලය වෙබ් අඩවිය පවත්වා ගෙන යනු ලබන්නේ බොහෝ අමාරුකම් මැද එක් පුද්ගලයකු විසින්. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් අප මුසපත් වුණා. නව ජාතිකවාදීන් එකතු වුණා. පැරැන්නන් කුණු කූඩයට විසි වුණා. නන්දිකඩාල් ජයග්‍රහණයට පාර කැපුණේ කොහොමද කියා නව ජාතිකවාදීන් දන්නේ නැහැ. දැනගන්න වුවමනාවකුත් නැහැ. අතීතය නොදැන තැනිය හැකි අනාගතයක් නැහැ.

මෙයත් අතීතය පිළිබඳ කතාවක්. මෙය දොස්තර ඒකාධිකාරය පිළිබඳ කතාවක්. අද දොස්තර ඒකාධිකාරයට මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නැති කිරීමට අවශ්‍යයි. ඒ නිදහස් අධ්‍යාපනයට ඇති ඇල්මක් නිසා නොව තම ඒකාධිකාරය පවත්වා ගෙන යෑමට. ඔවුන් තම ඒකාධිකාරය පවත්වා ගෙන යන්නේ ව්‍යාජ සමාජවාදී සටන් පාඨවලට මුවා වෙලා. ඔවුන් සිංහල වෙදකමට තබා ආයුර්වේදයටවත් තැනක් දීමට කැමති නැහැ. හෙදියන්ට සම සෞඛ්‍ය අධ්‍යාපනවේදීන්ට අකුල් හෙළනවා. අපේ දේ රැකගන්නේ යැයි කියන නාළිකාවත් දොස්තරලාට යටයි. සිංහල වෙදමහතකු කෘෂිරසායනික වකුගඩු රෝගය සුව කළ බව පෙන්වීමට  ඒ නාළිකාව දොස්තරලාගෙන් සහතික ගේන්න කිව්වා.

අසූවේ දශකයේ අග කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇතැම් කරුණු සිසුන්ට ඉගැන්වීමට අවශ්‍ය වුණා. ඒ බටහිර වෙදකම ආයුර්වේදයට අවශෝෂණය කිරීමට නොවන බව මා පසුව දැනගත්තා. ඔවුන් එය කෙළේ හීනමානයෙන්. ආයුර්වේද වෙදමත්වරුන්ටත් දෝස්තර මානසිකත්වය ලබා ගැනීමට. ඒ දිනවල මා කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ සාමාජිකයෙක්. එමෙන් ම ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්. එකල කොළඹ උපකුලපති වූයේ ජී එල් පීරිස්. එදා ඔහු එ ජා ප හිතවතෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු අදත් එතරම් වෙනස් වී නැහැ. බැසිල්ට, ඩලස්ට හා වෙනත් බොහෝ දෙනකුට මෙන් ම ඔහුටත් ජාතිකත්වයක් නැහැ. අනෙක් බොහෝ අය ජාතිකවාදීන් කියා මෙයින් කියැවෙන්නේ නැහැ. ඒ අය ජාතිකත්වය විකුණන්නන්.

දේශීය වෛද්‍ය ආයතනයේ සිසුන්ට බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට බටහිර වෛද්‍යවරුන්ගේ, විශේෂයෙන් ම කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය වුණා. විශ්වවිද්‍යාලය එයට මුල දී එකඟ වුණා. එහෙත් පසුව වෛද්‍ය සභාව විරුද්ධ වුණා. බටහිර වෛද්‍යවරුන් වෙනත් වෛද්‍ය විද්‍යාවක් හදාරණ සිසුන්ට ඉගැන්වීම නුසුදුසු බව වෛද්‍ය සභාවේ තීරණය වුණා. වෛද්‍ය සභාව බලවත් ආයතනයක්. එදා බටහිර වෛද්‍යවරුන් අති මහත් බහුතරය වෛද්‍ය සභාවේ තීරණ පිළිගත්තා. එහෙම නැත්නම් වෛද්‍ය සභාව බටහිර වෛද්‍ය නිලධාරී සංගමය සමග සහයෝගයෙන් වැඩ කළා. රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ සයිටම් අහෝසි කිරීමට වෛද්‍ය සභාවේ සභාපති පදවිය භාරගත්  කාලෝට තම මතය වෙනස් කර ගැනීමට සිදු වුණා. කාලෝ රැල්ලේ පිහිනන අයෙක්.

කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්යවරු වෛද්‍ය සභාව සමග එකඟ වුණා. විශ්වවිද්‍යාලය දේශීය වෛද්‍ය ආයතනයේ සිසුන්ට තම බටහිර වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් යොදවා ඉගැන්වීමට තීරණය කර තිබෙද්දීත් පීඨයේ ආචාර්යවරු එයට විරුද්ධ වුණා. පැහැදිලිව ම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරු විශ්වවිද්‍යලයට නොව වෛද්‍ය සභාවට අවනත වුණා. මට මතක හැටියට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගෙන් දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍යන්ට ඉගැන්වීමට කැමැත්ත පළ කළ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් වූයේ කොල්වින් ගුණරත්න හා නන්දදාස කෝදාගොඩයි. එකල කොල්වින් ගුණරත්න සනාතන සභාවේ සාමාජිකයකු නොවූ බවයි මගේ මතකය.

සනාතන සභාවේ මේ ප්‍රශ්නය දිගින් දිගට කතා කෙරුණා. නන්දදාස කෝදාගොඩ මෙවැනි ප්‍රශ්න ගැන එතරම් කතාකරන අයකු නොවෙයි. වෛද්‍ය පීඨයේ ෂෙරිෆ්ඩීන් වැනි මහාචාර්යවරු වෛද්‍ය සභා මතය පිළිගත්තා. ජී එල් පීරිස්ට විශ්වවිද්‍යාල ස්වාධීනත්වය වැදගත් වූයේ නැහැ. ඔහු තම පදවිය ආරක්‍ෂා කර ගැනීමට වෛද්‍ය පීඨ ගුරුවරුන් සමග එකතු වූවා. අනෙක් පීඨවල ආචාර්යවරුන් සුපුරුදු පරිදි මුනිවත රැක්කා. දේශීය වෛද්‍ය ආයතනයේ අරමුණ කුමක් වුවත් විශ්වවිද්‍යාල ස්වාධීනත්වය වෙනුවෙන් දොස්තර ඒකාධිකාරයට විරුද්ධව මට සනාතන සභාවේ දිගින් දිගට කතා කිරීමට සිදු වුණා. වෛද්‍ය පීඨ ආචාර්යවරුන් වෛද්‍ය සභාවට නොව පළමුව විශ්වවිද්‍යාලයට සේවය කිරීමට බැඳී ඇති බවට අප කරුණු කිව්වා.  විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ද මා සමග සිටියා.

වෛද්‍ය සභාවේ තහනම නොතකා නන්දදාස කෝදාගොඩ හා කොල්වින් ගුණරත්න (අද ඔහු වෛද්‍ය සභාවේ සභාපති) දේශීය වෛද්‍ය ආයතනයේ සිසුන්ට ඉගැන්වීමට ඉදිරිපත් වුණා. මෙහි දී තවත් වැදගත් දෙයක් සිදු වුණා. එකල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වූයේ අර්ජුන අළුවිහාරෙ. ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ද වූවා. ඔහුත් එවකට උසස් අධ්‍යාපන ඇමති ව සිටි හමීඩුත් බොහෝ විට විශ්වවිද්‍යාල ආචාර්ය සමීිති සම්මේලනය සමග එකඟ වූවා. වැටුප් ප්‍රශ්නයේදීත් ඔවුන් අපට සවන් දුන්නා. ඒ ගැන මා ඔවුන්ට කෘතඥ වෙනවා. අර්ජුන අළුවිහාරේත් විශ්වවිද්‍යාල ස්වාධීනත්වය වෙනුවෙන් වෛද්‍ය සභාවේ තීරණයට පටහැණිව දේශීය වෛද්‍ය සිසුන්ට ඉගැන්වීමට ඉදිරිපත් වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ට විශ්වවිද්‍යාලය මුලින් ගත් තීරණයට අවනත වීමට සිදු වුණා. අපට දොස්තර ඒකාධිකාරය බිඳීමට නොහැකි වුවත් එහි ඉරක් ඇඳීමට හැකි වුණා. එහෙත් ඒ තීරණය නිසා දේශීය වෛද්‍ය සිසුන්ට පසුව දොස්තර මානසිකත්වයක් ලැබීම කණගාටුවට කරුණක්. දොස්තර ඒකාධිකාරය හා බටහිර දැනුම් ආධිපත්‍යය අදවන විට දේශීය වෛද්‍යවරුන්ගේ මනස් දුෂණය කරලා. වෙදමහත්වරුත් දොස්තරලා වෙලා!

අද කොල්වින් ගුණරත්නට දොස්තර ඒකාධිකාරයට විරුද්ධව වෛද්‍ය සභාව මෙහෙයවිය හැකි නම් එය රටේ ස්වාධීනත්වයට රුකුලක් වේවි. ලංකාවේ වෙනත් කිසිම වෘත්තීය මණ්ඩලයකට නැති බලතල වෛද්‍ය සභාවට තියෙනවා. එය අවසානයේ දී දොස්තරලාටත් තර්ජනයක් විය හැකි බව දේශීය වෛද්‍ය ආයතන සටනේ දී පැහැදිලි වුණා.  අර නුවර තරුණයා මේ කිසිවක් දන්නේ නැතිව ඇති.                    


වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-23