History

Monday, 11 December 2017

අවාසියට හැරී ඇති නන්දිකඩාල්

අවාසියට හැරී ඇති නන්දිකඩාල්


ඒකාබද්ධ විපක්‍ෂය (පොහොට්ටුව) හා මෛත්‍රිපාල කල්ලිය අතර සාකච්ඡා අවසන් වී ඇති බවක් පෙනෙනවා. මේ සාකච්ඡා කෙරුණේ රට ජාතිය ආගම ගැන හිතාගෙන නොව බලය හා හුදෙක් බලය  පමණක් ගැන සිතාගෙන. සාකච්ඡා  ජාතිකත්වයක් මත කළ යුතු යැයි අප කිහිප දෙනකු කියා සිටි නමුත් එය සාර්ථක වූයේ නැහැ. මා එසේ කියා ඇත්තේ කොහේ ද කියා ජනමාධ්‍ය පරිහරණය කරන පඬියකු අහන්න පුළුවන්. මේ ලිපි කියවන කිහිප දෙනා නම් එසේ කියා ඇත්තේ කොතැන ද කියා දන්නවා ඇති. අප මුල සිට ම, රනිල් අගමැති වූ කාලයේ සිට ම, කීවේ රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති ලෙස පත්කරන ලෙස. ඒ මේ පළාත් පාලන ආයතන මැතිවරණවලට බොහෝ කලින්.


අද මෙරට ජාතික ව්‍යාපාරයේ ප්‍රශ්නයක් වී ඇත්තේ එහි අති විශාල බහුතරය 2009න් පසු, නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු, ජාතික ව්‍යාපාරයට එක් වූ අය වීම. එය තරුණයන්ට මෙන් ම හැට පිරුණු බොහෝ දෙනාටත් පොදුයි. හැට පිරුණු අයත් දැන් ක්‍රියා කරන්නේ රූපවාහිනී මාධ්‍යයට අනුව. ළඟදී ම ඩ්‍රීම් ස්ටාර් මෙන් ම ඕවර් සික්ස්ටි වැඩ සටහනකුත් ප්‍රචාරය වෙන්න නියමිතයි. මේ වැඩ සටහන්වලට දෙන්නෙත් ඉංගිරිසි නම්. ඒ අපේ දේ රැක ගැනීමට වෙන්න ඕන. මේ එක් අයකුවත් අර දෙසැම්බර් හතර හා අට ඇති වන්නේ යැයි කී කුණාටුව නාවෙ මොක ද කියලා ප්‍රශ්න කළේ නැහැ. බටහිර විද්‍යාව කට ගා ගැනීමටවත් නොහැකි වූ අය අපට කාලගුණ විද්‍යාව උගන්වන්න එනවා. අඩු තරමෙන් ඉතාමත් මූලික කොරියෝලිස් බලය හා බර්නූලි සමීකරණය ගැනවත් ඔවුන් දන්නවා ද? ඔවුන් දන්නේ ජාත්‍යන්තර නිවේදන අනාවැකි කියවන්න කියා කීමට පමණයි. ජාත්‍යන්තර ප්‍රමිතියට ප්‍රවෘත්ති කියන අය වෙන මොනවා කරන්න ද? මා නම් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. පැහැදිලි ව ම චන්ද්‍රිකා ඡායාරූප අනුව කුණාටුවක් ලංකාව හා ඉන්දියාව පැත්තට එමින් තිබුණා. එහෙත් ඇයි නාවෙ කියා ඇහුවෙ නැහැ. මා නම් විද්‍යාඥයකු නො වෙයි. නිව්ටන්වත් දැක නැති අදෘශ්‍යමාන ගුරුත්වාකර්ෂණය නොව බුදුහාමුදුරුවන් දේශනා කර ඇති දෙවියන් (දෙවියන් වහන්සේ නො වෙයි) මට විශ්වාසයි.

කොහොමටත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ජාතික ව්‍යාපාරයට එකතු වූ බහුතරය ඉන් පෙර සිදු වූ බොහෝ දේ ගැන දන්නේ නැහැ. ඔවුන්ට ඒ දැනගන්න වුවමනාවකුත් නැහැ. ඔවුන් සියල්ල දත් අය. නන්දිකඩාල් ජයග්‍රහණය තමයි මහින්දගේ වැටීමේ ආරම්භය. ඉන්පසු ඔහු වටා එකතු වූයේ ජාතිකත්වයක් නැති ඊනියා ජාතිකවාදීන්. බටහිරයන් ද ඔහු වැට්ටවීමට නොයෙකුත් දේ කළා. එහෙත් 2010 ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඉන්පසු ඔහු ජාතිකවාදීන්ගෙන් ඈත් වුණා. මේ ක්‍රියා දාමය ගැන ඉඩක් තිබුණොත් පසුව විස්තරාත්මක ව කියන්නම්. රාජපක්‍ෂ රෙජිමය ඉවත් කිරීමට බටහිරයන් කටයුතු කළා. එවකට එක්සත් රාජ්‍යවල රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ලිපියකින් හෙළිදරවු වුණා ඔවුන් රාජපක්‍ෂ රෙජිමය ඉවත් කිරීමට මුදල් වියදම් කළ බව. ජෝන් කෙරී 2015 සිංහල අවුරුද්දට, මෛත්‍රිපාල ජනාධිපති වීමෙන් පසු සුබ පැතුමක් ද එව්වා. ඒ ගැන මා ඒ දිනවල ලිව්ව බව මතකයි. මහින්ද තම අතින් ම වළ කපා ගත්ත අයකු ලෙස ඉතිහාසයට එක්වේවි. ඔහු දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට තම මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නා. එයට විරුද්ධ වූයේ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකුණා. ජානක අද එතරම් දේශපාලනයක් කරන්නේ නැහැ. සරත් අම්පාරෙන් පැරදුණා. සරත් පරාජය කළ ම එ පෙරමුණේ ශ්‍රියානි විජේවික්‍රම දැන් මෛත්‍රිපාලට සහාය දෙනවා.

මහින්දට නැවත ජනාධිපති වීමට නීතියෙන් නොහැකි යැයි සිතූ පිරිසක් ගෝඨාභය එතැනට තල්ලු කිරීමට උත්සාහ කළා. ඒ පසුපස ජනමාධ්‍ය ප්‍රධානීන් ද සිටියා. ඒ අතර පළාත් පාලන ආයතන මැතිවරණ කලබලය ආවා. ඊනියා මැතිවරණ ගිවිසුම් පක්‍ෂ දෙදරීම් වාර්තා වුණා, දෙමළ පක්‍ෂ ද තාවකාලිකව නමුත් කැඩිලා. ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල කල්ලිය සමගි කිරීමේ වෑයමක් ද දැක්කා. එයට කලින් ගෝඨාභයට හිතවත් අය මෛත්‍රිපාල එක්ක එකතු වීමට කුටු කුටු ගෑවා. ඒ අතර බැසිල් විරෝධීන් ද සිටියා. විමල්ගේ පක්‍ෂය කැඩුණා. විමල්ට යන එන මං නැහැ. බැසිල්ට ජාතිකත්වයක් නැහැ. එහෙත් ඔහු පක්‍ෂයක් සංවිධානය කළා. ගම්මන්පිළ ලෙන් දොර වහගෙන ද කොහෙ ද. මැතිවරණයට සහභාගි වුවන් මරා දැමූ ජ වි පෙරමුණට මැතිවරණවලට ඉදිරිපත් වීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔවුන්ගේ කසිකබල් මාක්ස්වාදය නම් කිසි දිනෙක වලංගු වී නැහැ.  එය කල් ඉකුත් වූවක් නො වෙයි. වලංගු සහතිකයක් නැති මාක්ස්ගේ පට්ටම පට්ට පල් බොරුවක් පමණයි.

ඒකාබද්ධ විපක්‍ෂය ( පොහොටටුව) හා මෛත්‍රිපාල කල්ලිය එකතු වීම ගැන මත තුනක් තිබුණා. එක් කොටසක් සම්පූර්ණයෙන් ම විරුද්ධ වුණා. ඔවුන් කීවේ රැ වැටුණු වළේ දවල් වැටෙන්න බැහැ කියා. තවත් කොටසක් කියා හිටියේ මැතිවරණ ගිවිසුමක් මත එකඟත්වයකට පැමිණිය යුතු බව. තවත් ඉතා කුඩා පිරිසක් ජාතිකත්ව න්‍යාය පත්‍රයකට එකඟ ව සමගි විය යුතු ය යන අදහස දැරුවා. ඒ සඳහා යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කෙරුණා. ඒ යෝජනා ඉදිරිපත් වුණේ කෙසේ ද කියා බොහෝ දෙනා දන්නේ නැහැ. එහෙත් අවසානයේ දී ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගෙ කියා යෝජනා තුනක් ඉදිරිපත් වුණා. මේ යෝජනාවලට ගෝඨාභයගේ පමණක් නොව බැසිල්ගේ ද එකඟත්වයක් තිබුණා. එහෙත් කොළපාට සමාජය ලියූ චන්ද්‍රප්‍රේම වැන්නන් සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ තම දේශපාලන තීරුව මගින් කියා සිටියේ ජාතිකත්ව න්‍යාය පත්‍ර මැතිවරණයකට හරි නොයන බව. එහෙත් ඒ යෝජනා තුන වටා ආසන බෙදා ගැනීම පිළිබඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉඩ තිබුණා.

ඒ අතර යුග පෙරළි කාරයන් ද කඩා පැන්නා. දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති මේ අය සමගි සාකච්ඡා මෙහෙයවීම තම අතට ගත්තා. ඒ සමගි කිරීම සඳහා ද? ජාතික න්‍යාය පත්‍රයක් වටා කෙරෙන සමගියකට චන්ද්‍රප්‍රේම වැන්නන් මෙන් ම මෛත්‍රිපාල ද කැමති නැහැ. එයට රෝ ඔත්තු සේවයත් කැමති නැහැ. මෛත්‍රිපාල ඒ ජාතික න්‍යාය පත්‍රයට එකඟ වුණා නම් සමගියක් ඇති වන්න තිබුණා. එහෙත් ඔහුට එසේ කිරීමට ශක්තියක් නැහැ. නව  ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ප්‍රතික්‍ෂෙප කිරීමට ඔහුට විදේශීය බලවේග ඉඩ දෙන්නේ නැහැ. ඔහු අද ඒ බලවේගවල හිරකරුවෙක්. ඔහුට තිබුණා ජාතික න්‍යාය පත්‍රයක් මත එකඟ වී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තියක් නැහැ.

මේ අතර ශ්‍රියානි විජේවික්‍රම මෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් කිහිප දෙනකු මෛත්‍රිපාලට සහාය දේවි. එහෙත් එයින් මැතිවරණයට විශාල බලපෑමක් ඇති වන්නේ නැහැ. මැතිවරණයෙන් පසුව තේරේවි සිංහලයන්ට නායකත්වයක් නැති බවත් නන්දිකඩාල් ජයග්‍රහණය දැන් අපේ අවාසියට හැරී තිබෙන බවත්. 
   
පිටුවේ සංස්කාරකවරු
2017 දෙසැම්බර් 11


___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-11