History

Tuesday, 26 December 2017

සමාජයීය විද්‍යාවන් මිය ගොස්

සමාජයීය විද්‍යාවන් මිය ගොස්


නත්තලේ සැබෑ අරුත ගැන ලිපියක් ලියන්න ඕන. ඉතා කෙටියෙන් කියනවා නම් නත්තලේ සැබෑ අරුත අන් කිසිවක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝකයා මත පැටවීම. දෙරණ කුමක් කිව්වත් අපේ ගෙවල්වල නත්තල් ගසුත් නැහැ, අපේ දෙමව්පියන් මිය ගිය අවස්ථාවල කන්‍යා සොහොයුරියන් පැමිණ මියගිය අයගේ ආත්මය වෙනුවෙන් යාඥා කෙළෙත් නැහැ. මා නාථ දෙවියන් ගැන කතා කරන විට මා වාඩි වී සිටින්නේ මොළය උඩද කියලා අහන අය නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරනවා. සිංහල වෙදමහතුන්ට කෘෂිරසායනික වකුගඩු රෝගය සුවපත් කළ හැකි බව රෝගීන් ලවා ම පෙන් වූ විට දොස්තරලාගෙන් සහතික ඉල්ලන රටක අප ජීවත් වෙනවා. මා දෙවියන් වහන්සේ ඉන්නව ද කියාවත් නීට්ෂෙ කීවාක් මෙන් දෙවියන් වහන්සේ මිය ගිහින් කියාවත් කියන්නේ නැහැ (නීට්ෂෙට පෙරත් මේ අදහස කිහිප දෙනකු කියා තිබුණා). දෙවියන් වහන්සේ බටහිර විද්‍යාවේ ඉන්නවා. විශ්වවේදයට අනුව විශ්වයට පටන් ගැන්මක් තියෙනවා. ඒ යුදෙව් සංකල්පයක්. දෙවියන් වහන්සේත් යුදෙව් වියුක්ත සංකල්පයක්. මා ප්‍රශ්න කරන්නේ යුදෙව්/කතෝලික/ක්‍රිස්තියානි/ඉස්ලාම් ආගම් නොවෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය. පසුව මේ ගැන තවදුරටත් කතා කරමු. මා වැනි අංශු මාත්‍රයක් වූ නොවැදගත් පුද්ගලයකු නැති කිරීමට දෙරණෙහි ප්‍රබුද්ධයන්ට හා  ධන කුවේරයන්ට  විනාඩි පහක් ගත වන්නේ නැහැ. එහෙත් මට නැති වන්න දෙයක් නැහැ. ආත්මයක් නැහැ. මා ත් නැහැ.

ඊයේ පෙරේදා ගණනාථ ඔබේසේකරගේ බෑණා කෙනකු වූ සසංක පෙරේරා කොළඹ දී ශාස්ත්‍රීය යැයි කියන දේශනයක් පවත්වලා. ඔහු දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ නැහැ. ඔහු සේවය කරන්නේ ඉන්දියාවේ කියන එක තමයි ආරංචිය. ඔහුගේ දේශනයේ මුඛ්‍යාර්ථය වී ඇත්තේ මෙරට සමාජයීය විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය අදහස් නිර්මාණය නොකිරීම. එය ඉන්දියාවට හා පකිස්ථානයටත් පොදුයි කියා ඔහු කියනවා. ඔහු අදහස් කියන එකෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පැහැදිලි නැහැ. ඔහු තම මාමා වූ ගණනාථගේ පත්තිනි කතාව අදහසක් ලෙස කියනවා. මාමාගේ අදහස නම් ඉතාමත් සංයුක්ත එකක්. ගණනාථ වැරදියට තේරුම් ගත් තවත් සංකල්පයක් වූ පත්තිනි අම්මා ගැන කියන බොරුවක්. එය පට්ටපල් බොරුවක් වන්නේ නැහැ. ඒ එය වියුක්ත නොවන නිසා. පත්තිනි යන්න පතිනි යන්නෙහි විකෘතියක්. හින්දු පත්තිනි දෙවියන් හා බෞද්ධ පත්තිනි දෙවියන් යනු දෙදෙනකු මිස එක් අයකු නො වෙයි. එහෙත් බොහෝ අවස්ථාවල මෙන් ඒ දෙවිවරුන් එක් අයකු වෙලා. උපුල්වන් හා විෂ්ණු දෙවියන් ගැන කල්පනා කරන්න. කතරගම දෙවියන්ට මුහුණු හයක් ඇතත් නැතත් ඒ දෙවියන් කියන්නේ දෙවියන් කිහිප දෙනකුගේ එකතුවක්.

සසංක කියන්න හදන්නේ මේ කලාපයේ සමාජයීය විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය වියුක්ත අදහස් නිර්මාණය නොකරන බවය කියා සිතනවා. අප රටේ ඇත්තේ දත්ත බැංකු හා උපදේශකවරුන් (කන්සල්ටන්ට්ස්) බවයි ඔහුත් ඇතුළු සමහරු පවසන්නේ. ඔහු සමහරවිට නොදන්නවාට මෙරට ඊනියා ස්වාභාවික විද්‍යාඥයන් යැයි කියා ගන්නා අයත් දත්ත බැංකු හා උපදේශකයන් පමණයි. මා බොහෝ විට කියන්නේ ගුගල් වඩා දක්‍ෂ එහෙත් අපේ ජීවිත පාලනය කරන දත්ත බැංකුවක් බවයි. අද අපට පාර අහන්න සිදු වී ඇත්තේත් ගූගල්ගෙන්.

සසංකගේ ඊනියා පත්‍රිකාවත් තවත් දත්තයක් පමණයි. ඔහු මේ කලාපයේ සමාජයීය විද්‍යාඥයන් දත්ත බැංකු හා උපදේශකයන් පමණක් වී ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා තබා ප්‍රශ්නය නිසි ලෙස සූත්‍රගත කරන්නේවත් නැහැ. මට නම් මේ හා සමාන ප්‍රශ්නයක් ඇති වුණේ දැනට අවුරුදු පනහකට පමණ පෙර විශ්වවේදයෙන් පශ්චාත් උපාධියක් ලබා ප්‍රවාදාත්මක (තියරටිකල්)  භෞතික විද්‍යාඥයකු වීමට එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේ දී.  මට ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු වීමට නොහැකි බව  තේරුම් ගියා. මා වැඩිකල් එංගලන්තයේ කාලය නාස්ති නොකර ආපසු ආවා. මට විද්‍යාඥයකු වීමට නොහැකි වීමට හේතුව තේරුම් ගියේ ඉන් අවුරුදු පහළොවකට පමණ පසු. මට තරමක් වියුක්ත ව සිතන්න පුළුවන් වුණත් බටහිර විද්‍යාඥයකු වීමට තරම් ප්‍රමාණයකට වියුක්ත ව හිතන්න බැහැ. මෙරට සියල්ලන්ට ම එය පොදුයි. නත්තල සැමරුවත් මෙරට කිසිවකුට දෙවියන් වහන්සේ තබා සරල රේඛාවක් ගැනවත් යුදෙව්වකු සිතන ආකාරයෙන් සිතන්න බැහැ. අප සරල රේඛා කියන්නේ සරල රේඛා ඛණ්ඩවලට. එයත් සිහින් මෝල් ගස්වලට. අප සාමාන්‍ය පෙළට පෙනී සිටි කාලයේ ශුද්ධ ගණිතයෙහි ජ්‍යාමිතියට වෙන ම ප්‍රශ්න පත්‍රයක් තිබුණා. අපට ජ්‍යාමිතික ප්‍රමේය එකසිය ගණනක් ඉගෙන ගන්න තිබුණා. එහෙත් අප ඉගෙන ගත් ජ්‍යාමිතියක් නැහැ. අපට බටහිර ගණිතය බැහැ. සාමාන්‍ය පෙළට ගණිතය අනිවාර්ය (අනිවා නොවෙයි) කර ඇත්තේ ඇයි ද කියා මට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළට තබා උසස් පෙළටවත් කිසිම විෂයයක් අනිවාර්ය විය යුතු නැහැ. බන්දුල ගුණවර්ධනටවත් අකිල විරාජ් කාරියවසම්ටවත් එය තේරෙන්නේ නැහැ.

මෙරට සමාජයීය විද්‍යාඥයන් පමණක් නොව ස්වාභාවික විද්‍යාඥයන්වත් විද්‍යාඥයන් නොව දත්ත බැංකු සහ උපදේශකයන් පමණයි. ඒ බටහිර දැනුම් නිර්මාණය වියුක්ත කාර්යයක් නිසාත් අපට වියුක්ත ව සිතන්න බැරි නිසාත්. සසංකගේ හා වෙනත් අයගේ දැන ගැනීම පිණිස තවත් කරුණක් කිව යුතුයි. බටහිර සමාජයීය විද්‍යාවන්ගේ කාලයත් දැන් ඉකුත් වී ගොස්. බටහිර සමාජයීය විද්‍යාවන්ට බටහිර භෞතික විද්‍යාව පසුපස යෑමට බැහැ. එහි විෂය ක්‍ෂෙත්‍ර වෙනස්. බටහිර න්‍යාය (ලොජික්) බටහිර ගණිතයවත් බටහිර ගණිතය බටහිර භෞතික විද්‍යාවවත් නො වෙයි. රසල් හා වයිට්හෙඩ් බටහිර ගණිතය බටහිර න්‍යායට ඌනනය කිරීමට උත්සාහ කළත් එය නොහැකි බව තේරුම් ගත්තා. එහෙත් බටහිර ගණිතය බටහිර භෞතික විද්‍යාවෙහි ඇදහිය නොහැකි ආකාරයකින් යොදාගන්න පුළුවන්. ඒ බටහිර භෞතික විද්‍යාවෙහි වියුක්ත ක්‍ෂෙත්‍රයක් හැදෑරෙණ නිසා. බටහිර භෞතික විද්‍යාවෙහි නිරීක්‍ෂණ සාධාරණීයකරණයට ලක් කර උද්ගමනය කර අනපෝහනයෙන් (ඇබ්ඩක්ෂන්) වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන්න පුළුවන් නිසා. බටහිර සමාජයීය විද්‍යාවන්හි එසේ කරන්න බැහැ. මාක්ස් එය යස රඟට තම පට්ටම පට්ටපල් බොරුවලින් පෙන්නුම් කරා. ඊනියා පශ්චාත්නූතනවාදීන් තව තවත් එය තහවුරු කළා. මෙරට තබා බටහිරවත් වියුක්ත සමාජයීය විද්‍යාඥයන් බිහිවන එකක් නැහැ.    


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-26