History

Wednesday, 17 January 2018

වෙනස ගැන කතා හා මැතිවරණය

වෙනස ගැන කතා හා මැතිවරණය


මේ දිනවල දේශපාලන ලෝකය ගිනියම් වෙලා. ඒ ඒ අය විවිධ කතා කියනවා. මාත් කතා කියනවා. ඒ ඒ අය ප්‍රශ්න දෙස බලන්නේ තම තමන්ට ආවේණික ආකාරයට. සෑම ප්‍රශ්නයකට ම ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය අමතක කරලා ප්‍රශ්න දිහා බලලා උත්තර හොයන්න බැහැ. මා මෙය ස්ථිතික ගතික යනුවෙන් විග්‍රහ කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ප්‍රවාහයක් ලෙස හඳුන්වන්නෙත් නැහැ. ප්‍රවාහය කියන එකෙත් යම් ආත්මීය රූපයක් තියෙනවා. ප්‍රවාහයක් තියෙන්නෙ යම්කිසි පුද්ගලයකුට නැත්නම් වස්තුවකට. පුද්ගලයන් හා වස්තු නැත්නම් ප්‍රවාහ තියෙන්න පුළුවන් ද?


අප එදිනෙදා ව්‍යවහාරයෙදි ගතිකය, ප්‍රවාහ ගැන කතා කරනවා. එහි වරදක් ඇතැයි මා කියන්නෙ නැහැ. ප්‍රවාහ ගැන පමණක් නොවෙයි පුද්ගලයන් ගැනත් අප කියනවා. ඒත් පුද්ගලයකු නැති බව සිංහල ථෙරවාද බෞද්ධයන් දන්නවා. එපමණක් නොව ථෙරවාද බෞද්ධයන් ද නැහැ. මේ සියලු සංකල්ප මායාවන්. සංකල්ප විතරක් නොවෙයි මනස ද මායාවක්. මේ සියල්ල නිර්මාණ. එහෙත් අපට නිර්වාණය තෙක් නිර්මාණ තියෙනවා.

අප දේශපාලන ප්‍රවාහය ගැන කතා කරනවා. ජල ප්‍රවාහය ගැන කියනවා. එහෙත් අපට තරල ගතිකයේ ප්‍රධාන ම සමීකරණයක් වන නේවියර් ස්ටෝක්ස් සමීකරණය විසඳන්න බැහැ. ප්‍රවාහයක් තියෙන්න ගඟක් තියෙනවා ද? නැති ගඟකට ප්‍රවාහයක් තියෙන්න පුළුවන් ද? වෙනස කියන්නෙ මොකක් ද? අවුරුදු තුනකට පෙර දේශපාලනයේ වෙනසක් ගැන ඇතැමුන් කතා කළා. පසුව ඇතැමුන් වෙනස සැප ද කියා ඇහුවා. ඒත් ඒ වෙනස වෙනස් කරන්නේ කොහොමද කියලා ඇහුවෙ නැහැ. අදත් අහන්නෙ නැහැ.

අපට සිතිවිලි ඇතිවන්නේ කොහොම ද? සිතිවිලි එකක් පසුපස එකක් එනවා. එහෙත් ඒ සිතිවිලි සන්තතික ද? අසන්තිතක ද? සිතිවිලි ඇතිවන්නේ එකම මනසක ද? අපට සන්තතික මනසක් තියෙනවා ද? සන්තතතික අසන්තතික සංකල්ප ද අපේ නිර්මාණ නොවේ ද? වෙනස සන්තතික ද? මෙරට ශිල්පීය නිර්මාණ මිස ශාස්ත්‍රිය නිර්මාණ එතරම් තිබී නැහැ. අප ශාස්ත්‍රවලට වඩා ශිල්පවලට දක්‍ෂ අය. එහෙම වුණත් වෙනස ගැන හොඳම ශාස්ත්‍රිය නිර්මාණය කරලා තියෙන්නෙ මෙරට භික්‍ෂූන් වහන්සේ. ඒ පිළිබඳ විස්තරයක් මහාචාර්ය කරුණාදාසගෙ පත්‍රිකාවක මා කියවලා තියෙනවා. මට ඒ පත්‍රිකාව දැන් හොයා ගන්න බැහැ. මා මූලාශ්‍ර එකතු කරන්නකු නො වෙයි. වැදගත් යැයි සිතෙන කරුණු මගේ මනසෙහි (වැරදි සංකල්ප) තැන්පත් වෙනවා.

අපේ හාමුදුරුවරුන්ට ප්‍රශ්නය වුණෙ වෙනසක් වන පුද්ගලයකු වස්තුවක් තියෙනවා ද කියන එක. එහෙම තියෙනවා කියලා ගත්තොත් ආත්ම සංකල්පය යොදා ගන්න වෙනවා. අපේ හාමුදුරුවරුන්ට අනුව ඇතිවෙනවා නැතිවෙනවා. නැතිවුණාට පස්සෙ ඇතිවෙනවා. ඒත් ඒ අර නැතිවුණු දෙය නොවෙයි. මෙහි දෙය කියන වචනය යොදා ගන්න එකත් වැරදියි. මේ ඇතිවීම - නැතිවීම - ඇතිවීම ප්‍රවාහයක් ලෙසත් ඒ එකම දෙයක ඇතිවීම නැතිවීම ලෙසත් සැලකීම වැරදියි. මා මෙහි කියන කාරණය තේරුම් ගන්න උදාහරණයක් දෙන්න පුළුවන්. සෑම උදාහරණයක් මෙන් ම එය ද නිවැරදි නැහැ. අප උදාහරණ දෙන්නේ වියුක්ත කියමනක් තේරුම් ගැනීමට සංයුක්ත නිර්දේශ ලෙස. එයින් වියුක්තය තේරෙනවා කියලා හිතන්න එපා. 

අපි උදාහරණය සලකමු. විදුලි බල්බ පේළියක් සලකන්න. එහි එක් විදුලි බල්බයක් දැල් වී නිවෙනවා. ඒ බල්බය නිවෙන කොට ඊළඟ විදුලි බල්බය දැල්වෙනවා. එයත් නිවෙනවා. ඊළඟට තුන්වැනි විදුලි බල්බය ආදී වශයෙන්. දැන් බලන් ඉන්න අපට පෙනෙන්නෙ කුමක් ද? බල්බයෙන් බල්බයට දුවන විදුලියක්, ප්‍රවාහයක් අපට පෙනෙනවා. අප එසේ දකිනවා. එහෙත් තැනක සිට තැනකට දුවන විදුලියක් නැහැ. ඒ ප්‍රවාහය අපේ නිර්මාණයක්. විදුලිය විජ්ජුලතා කාන්තාවන් හා සම්බන්ධයි. විජ්ජු අපේ වචනයක් වෙන්න ඕන. විජ්ජුම්බරය සලකන්න. බමුණන් ලිය කපා හැර විද්‍යුතය නිර්මාණය කළා ද දන්නේ නැහැ. අපේ දේ සංස්කෘතයටත් යන්න පුළුවන්.

සියලු ඊනියා ප්‍රවාහ අපේ නිර්මාණ. ඉතිහාසයත් එසේමයි. ප්‍රශ්නවල ඉතිහාසයත් එහෙමයි. එහෙත් ඒ ඉතිහාසය වැදගත්. ඉතිහාසය ගැනත් විවිධ කතා, නිර්මාණ තියෙනවා. ඕනෑම ඉතිහාස කතාවක වැදගත්කම තියෙන්නෙ ඊළඟට වෙන්නෙ මොකක් ද කියන එක ගැන යම් සම්භාවිතාවක් සහිත ව හරි කියන්න පුළුවන් හැකියාව මත. එහෙම කියන්න බැරි කතා රසවත් වෙන්න පුළුවන්. ඒත් අපට ජීවත්වීම සඳහා ප්‍රයෝජනවත් නැහැ. අප කියා කිසිවකු නැති වුවත් අප ජීවත්වන්නේ සම්මුති ලෝකයක.

මා කතා ගොතන්නේ සිංහල ජාතියට ඊළඟට වෙන්නෙ මොකක් ද කියන එක දැන ගැනීමට. එනම් ජාතියට වෙන්නෙ මොකක් ද කියන එක කල් තබා දැන ගන්න පුළුවන් ද කියන එක මගේ හිතේ තියෙනවා.  ඉතිහාසය දැන ගැනීමට අවශ්‍ය අනාගතය ගැන දැන ගැනීමට. අප ඉතිහාසය ගැන දැන ගන්නෙත් යම් සම්භාවිතාවකට යටත් ව. එවිට අනාගතය ගැන දැන ගන්න වෙන්නෙ ඊටත් අඩු සම්භාවිතාවකින්. එසේ යම් සම්භාවිතාවකින් නමුත් අනාගතය කල් තබා දැන ගන්න පුළුවන් නම් එය වෙනස් කිරීමට අවශ්‍ය නම් එසේ වෙනස් කරන්න හැකි ද යන්නත් කල්පනා කරන්න පුළුවන්. අප හැම තැනක දී ම බලාපොරොත්තු ඉටු කර ගන්නවා නො වෙයි. සිත් පිත් නැති ප්‍රවාහයකට අදාළ තරල ගතිකයේ නේවියර් ස්ටෝක්ස් සමීකරණය විසඳා ගන්න බැරි නම් සිත් පිත් ඇති මිනිසුන්ගේ ගතිකයේ ප්‍රවාහයක්, අනාගතයක් ගැන කියන එක කොතරම් අමාරු විය යුතු ද?

සිංහල ජාතිය අද ඉතාමත් තීරණාත්මක අවස්ථාවක පසු වෙනවා. පළාත් පාලන ආයතන මැතිවරණය ජාතික මැතිවරණයක් නොවුණත් විවිධ පක්‍ෂවල අය එය ජාතික මැතිවරණයක් බවට පත් කර ගැනීමට සූදානම් වෙනවා. එහෙත් කිසිවකු ජාතික ප්‍රශ්නය නමින් හැඳින්වෙන දෙමළ මුස්ලිම් ජාතිවාදී ප්‍රශ්නය කතා කරන්නේ නැහැ. පහුගිය මැතිවරණවල දී අප කෙතෙක් කීවත් සංධානය එසේ කතා කෙළේ නැහැ. ඒ දෙමළ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමට. එහෙත් ලැබුණු දෙමළ මුස්ලිම් ඡනදයක් නැහැ. මෙවරත් එසේමයි.

එක් එක් අය කතා ගොතන්නෙ 2020 දි 2025 දි ජනාධිපති වෙන්න නැත්නම් ජනාධිපති කරන්න බලාගෙන. ජාතිය ගැන හිතා ගෙන නොවෙයි. ව්‍යවස්ථාව, එට්කා, හම්බන්තොට ආදී බොහෝ ප්‍රශ්න පමණක් නොවෙයි 2020 හා 2025ත් තීරණය වන්නෙ 2018 දි. ඒ පළාත් පාලන මැතිවරණයෙන් නො වෙයි. එහි ප්‍රතිඵලවලට විවිධ අර්ථකථන දේවි. ඒ තම තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුව. අපට වැදගත් වන්නේ පෙබරවාරි 10 වැනි දාට වඩා අද හෙට.  


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-17