History

Sunday, 21 January 2018

ජාතික චින්තනය හා දේශපාලනය

ජාතික චින්තනය හා දේශපාලනය


ජාතික චින්තනය කියන්නෙ පැහැදිලිව ම රාජ්‍ය පාලනය පිළිබඳ ව ද සාකච්ඡා කරන ව්‍යාපාරයක්. එහෙත් එය එයට පමණක් සීමා වන්නේ නැහැ. ඉංගිරිසියෙන් පොලිටික්ස් යන්නෙන් අදහස් කරන්නේ දේශපාලනය නොවෙයි. එහෙත් අපට පොලිටික්ස් බටහිරින් ලැබුණේ දේශපාලනය මුල් කරගෙන බැවින් පොලිටික්ස් යන්න දේශපාලනය ලෙස පරිවර්තනය වී තිබෙනවා. මෙය ලංකාවේ ව්‍යවහාර වන්නේ අද බටහිර රටවල ව්‍යවහාර වන ආකාරයට. ඒ කියන්නේ පොලිටික්ස් යන්න ආණ්ඩු පිහිටුවීමේ දී කැඩීමේ දී යෙදෙන බලය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි සාකච්ඡා කෙරෙන්නේ. රටේ දේශපාලනය පමණක් නොව ඒ ඒ ආයතනවලත් ඒ ඒ සමිති සමාගම්වලත් බලය ලබා ගැනීමේ හා බලය රඳවා ගැනීමේ ව්‍යාපෘති දේශපාලනය හෙවත් පොලිටික්ස් ලෙස හැඳීින්වෙනවා.

උදාහරණ ලෙස ගතහොත් (උදාහරණ දෙන්නේ වියුක්තය තේරුම් ගැනීමට බැරි විට) වෘත්තීය සමිතිවල බලය, විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සමිතිවල පමණක් නොව පීඨ මණ්ඩල හා සනාතන සභාවල හා අවසානයේ දී පාලක මණ්ඩලයේත් බලය ලබා ගැනීමේ ව්‍යාපාර හා ව්‍යාපෘති පොලිටික්ස් යන්නට අයත් වෙනවා. එහෙත් ඒවා සාමාන්‍යයෙන් දේශපාලනය ලෙස හැඳින්වෙන්නේ නැහැ. ඒවාට සිංහලෙන් වචනයක් නැති නිසා කැම්පස් පොලිටික්ස් වැනි යෙදීම් තියෙනවා.

පොලිටික්ස් යන්න එයටත් වඩා සාධාරණීය (පොදු) වචනයක්. එහෙත් බටහිර රටවලත් අද එය එසේ සාධාරණීකරනයට ලක් වූ වචනයක් ලෙස යෙදෙන්නේ නැහැ. පොලිටික්ස් යන්න බිඳී එන්නේ පොලිටි යන වචනයෙන්. පොලිටි කියන්නේ යම්කිසි ආකාරයකට සංවිධානය වූ ජන සමූහයකට. එය බහුජන කණ්ඩායමක්. ඒ කණ්ඩායමට යම් කිසි අනන්‍යතාවක් තියෙනවා. සමහර විට එහි ධුරාවලියක් තියෙන්නත් පුළුවන්. එකී කණ්ඩායමේ සාමාජිකයන් යම්කිසි ආකාරයකට එකිනෙකා සමග බැඳී ඉන්නවා. පොලිටි යන්නට සංවිධිත බහුජන සමූහයක් කියා කියන්න පුළුවන්.

පොලිටික්ස් කියන්නේ එවැනි සංවිධිත බහුජන සමූහයක සාමාජිකයන් තීරණ ගන්නා ආකාරය. ඒ මූලිකව  කණ්ඩායමක්, සමූහයක් ලෙස එකට සිටීමේ දී ගිවිසුම්වලට බැඳෙන ආකාරය, වෙනත් කණ්ඩායම් සමග ගණුදෙනු කිරීමේ දී ගත යුතු ක්‍රියා මාර්ග, ආදිය පිළිබඳ ව තීරණ ගන්නා ආකාරය. එහි කටයුතු කෙරෙන ආකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් ආයතනයේ ව්‍යවස්ථාවෙන් කෙරෙන්නේ ඒ කටයුතු කෙරෙන ආකාරය සටහන් කිරීම.

මරණාධාර සමිතියක් වුණත් සංවිධිත ජන සමූහයක්. එයටත් බොහෝ විට ව්‍යවස්ථාවක් තියෙනවා. ධුරාවලියක් තියෙනවා. සමහර මරණාධාර සමිතිවල ඒ ධුරවලට පත්වීමේ දී මරා ගන්නවා. ඒ කොහොම වුණත් අද පොලිටික්ස් යන වචනය යෙදෙන්නේ රටේ හා පළාත් පාලන ආයතන ආදියෙහි තීරණ ගන්නා ආකාරය හැඳීන්වීමට මිස මරණාධාර සමිතිවල බලය ලබා ගැනීමට හෝ තීරණ ගන්නා ආකාරය හැඳින්වීමට නො වෙයි.  අද පොලිටික්ස් යන්න බොහෝ විට දේශපාලනය ලෙස හඳුන්වන්න පුළුවන්.

ජාතික චින්තනය කියන්නේ එයට වඩා බෙහෙවින් පළල් ක්‍රියාවකට. ජාතික චින්තන ව්‍යාපාරය මුල් අවධියේ දී ම ඇතැමුන්ට අවශ්‍ය වුණා දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට.  මා එයට විරුද්ධ වුණා. මෙය රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා වූ ව්‍යාපාරයක් නො වෙයි. ජාතික චින්තනය යන්න ගුණදාස අමරසේකර මහතා යොදා ගත් වචනයක්. ඔහු එය යෙදුවේ නැෂනල් තෝට් යන්න සිංහලෙන් හැඳින්වීමට. එක්තරා ලේඛකයකු කියා තිබුණා රුසියන් විප්ලවයට මුල් වුණේ මාක්ස්වාදය නොව එරට ජාතික චින්තනය (නැෂනල් තෝට්) කියා.

ඒ එසේ වුවත් චින්තනය යන වචනයෙන් මගේ ලෝකය කෘතියෙහි කියැවෙන්නේ වෙනත් දෙයක්. එය සමාජයක මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිතන පතන ආකාරය ආදිය හැඳින්වෙන්නක්. සමාජය ජාතියක් වූ විට එහි චින්තනය ජාතික චින්තනය ලෙස හැඳින්විය හැකියි. අමරසේකර මහතා පරිවර්තනය කළ ජාතික චින්තනය යන්න චින්තනය යන සංකල්පය සමග බද්ධ වූයේ එලෙසිනුයි.

ජාතික චින්තනයට රාජ්‍ය බලය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. අපට අවශ්‍ය මෙරට රාජ්‍යය, පුද්ගලයන්, ආගමික නොවසමාජ සංවිධාන ආදිය අපේ ජාතික චින්තනයෙහි ක්‍රියාත්මක වනු දැකීමයි. එයින් කියැවෙන්නේ අප වර්තමාන අර්ථයෙන් දේශපාලනයෙන් වෙන්වෙලා යන්න නොවෙයි. අප අද වැඩිපුර ම යෙදෙන්නේ එවැනි දේශපාලන සාකච්ඡාවල. එහි දී අප සංධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යකට, නව ව්‍යවස්ථාවට, දෙමළ ජාතිවාදයට, රාජ්‍ය නොවන පඬියන්ට පමණක් නොව සාහිත්‍යයෙහි අධිපති මතවාදයටත් විරුද්ධව ක්‍රියා කරනවා.

ඉතා පළල් ආකාරයකින් කිවහොත් මෙරට ජාතික චින්තනය යන්නෙන් කියැවෙන්නේ මෙරට බහුජන සමාජ හා පුද්ගලයන් සංවිධානය විය යුතු, ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ දැක්මකට. මෙය බටහිර සාධාරණ අර්ථයෙන්වත් පොලිටික්ස් නො වෙයි.  බහුජන සමාජ අතරින් ප්‍රධාන වන්නේ ජාතිය. ජාතිය සංවිධානය විය යුත්තේ සිංහල බෞද්ධ පදනමක කියා අප කියනවා. අප ජාතිවාදීන් සිංහල ස්වොත්තමවාදීන් අන්තවාදීන් ලෙස හැඳින්වෙන්නේ අප එසේ කියන නිසා. සිංහල බෞද්ධ පදනමක ක්‍රිස්තියානින්ට ක්‍රිස්තියානි ආගම ඇදහීමටවත්, දෙමළ ජනයාට හා මුස්ලිම් ජනයාට තම තමන්ගේ සංස්කෘතීන් රැක ගැනීමටවත් කිසිම තහංචියක් නැහැ. ඒ තහංචි නොපැමිණවීම ලැබෙන්නේ ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන්.

අපට අන්තවාදීන් යැයි කියන්නන් නොකියන, එසේත් නැත්නම් නොදකින දේ තමයි අද මෙරට සමාජය සංවිධානය වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක බව. ඒ සංස්කෘතියෙහි ඇති අධිපතිභාවය ඔවුන් දකින්නේ නැහැ. මෙරට සෘජුව සුද්දන් නැති වුවත් ඇත්තේ සුදු පිරිමි ක්‍රිස්තියානි ආධිපත්‍යයක්. බටහිර රටවල ඇති ඊනියා කාන්තා විමුක්ති ව්‍යාපාරවලින් කෙරෙන්නේත් ඒ රටවල ගැහැණුන් පිරිමි ආධිපත්‍යයට යටකර පිරිමින් මෙන් ජීවත්වීමට සැලැස්වීමක්. අප රටවල කෙරෙන්නේ අප ගැහුණු පිරිමි සියලු දෙනා බටහිර සුදු පිරිමින් මෙන් ජීවත්වීමට සැලැස්වීමක්. අප සිතන්න බැරි තත්වයකට පත් කිරීමක්. අපට අපේ ම වූ චින්තනයක් නැති කිරීමක්. මේ ආධිපත්‍යය අති විශාල බහුතරයකට නොපෙනෙන්නේ වහලුන්ට වහල්කම නොතේරෙන ආකාරයට. අධ්‍යාපනයෙන් හා අද වන විට විද්‍යුත් මාධ්‍යයෙන් ඔවුන් වහලුන් බවට පත් කෙරිලා. ජාතික චින්තනය හැකිනම් ඔවුනුත් මේ වහල්කමින් මුදවා ගැනීමට.  





________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-21