History

Friday, 26 January 2018

විකල්ප කිහිපයක්


විකල්ප කිහිපයක්


පෙබරවාරි දහවැනි දිනට කලින් දේශපාලන බලතුලනයේ වෙනසක් සිදු වීමට ඇති සම්භාවිතාව ඉතා අඩු වෙයි. එහෙත් එදිනට පසුව වෙනසක් සිදු වේවි ද? ඒ සඳහා සම්භාවිතාවක් ඇති නමුත් නිශ්චිත වශයෙන් කිසිවක් කීමට නො හැකියි.  අප එකිනෙකාට එක එක බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු සමග බැඳිච්ච උපකල්පනත් තියෙනවා. ඒ අතර අපේ අනාවැකි ද තියෙනවා. ඒ අනාවැකි බොහෝ විට බලාපොරෙත්තු මත රඳා පවතිනවා. 
 

බලාපොරොත්තු එකිනෙකගෙන් එකිනෙකාට වෙනස් වෙනවා වගේ ම වර්තමාන දේශපාලන පොරපිටිය පෙනෙන ආකාරය ද එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. අපට පෙනෙන්නේ අප බලන ආකාරයට, අප බලන්නේ අපට පෙනෙන ආකාරයට බව නැවත නැවතත් කියන්න ඕන. ඒකට හේතුව වාස්තවිකත්වයක් කියලා එකක් නැති වීම. අපේ අනාවැකි හා බලාපොරොත්තු අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අනාවැකි ද එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. අපේ උපකල්පන ආදී සෑම දේකට ම මේ සාපේක්‍ෂතාව පොදුයි.

කාට හරි කියන්න පුළුවන්  මොන බලාපොරොත්තු තිබුණත් වෙන්නෙ මොකක් හරි එක දෙයක් කියලා. එහෙමත් නැහැ. ඒ සිද්ධ වෙන්නෙත් එක එක දේ. එක එක්කෙනාට පෙනෙන්නෙ එක එක ආකාරයට. ඉන් කියැවෙන්නේ එක ම දෙයක් එක එක්කෙනාට එක එක විධිහට පේනවා කියන එක නො වෙයි. එක ම දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒකෙන් කියැවෙන්නෙ නිරපේක්‍ෂ දෙයක් නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින බවත් ඒ නිරපේක්‍ෂ දෙය එක් එක් අයට (නිරීක්‍ෂකයාට) එක් එක් ආකාරයට පෙනෙන බවත්.

අප එහෙම දෙයක් කියන්නෙ නැහැ. මෙතෙක් ලෝකයේ තිබූ සාපේක්‍ෂතාවාදවල, අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතාවාදයත් ඇතුළත් ව, කියැවුණෙ නිරපේක්‍ෂ යමක් තිබෙන බවත් ඒ නිරපේක්‍ෂ දෙය (අයින්ස්ටයින්ගෙ ගෝලයන්ගෙ භාෂාවෙන් නම් අවිචලක- ඉන්වේරියන්ට්ස්) එක් එක් නිරීක්‍ෂකයාට එක් එක් ආකාරයෙන් පෙනෙන බවත්. එහෙත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නෙ එහෙම නිරපේක්‍ෂ දෙයක් නැති බවත් එක් එක් නිරීක්‍ෂකයා තම තමන්ට සපේක්‍ෂ ව පෙනෙන ආකාරය, තම නිරීක්‍ෂණය, නිර්මාණය කරන බවත්. ලංකාවෙ උගතුන් යැයි කියා ගන්නා අති විශාල බහුතරයක් මගේ ලෝකය පළ වී අවුරුදු විසිහයකට පස්සෙවත් එහෙම සාපේක්‍ෂතාවක් ගැන අහලා නැහැ. 

ඒ අර්ථයෙන් ගත්ත ම ආදර්ශ ප්‍රවාදය (Model Theory) යන්න නොමග යැවීමක්. අප කිසි දෙයක ආදර්ශ ගොඩ නගන්නෙ නැහැ. අපට ආදර්ශයක් නිර්මාණය කිරීමට නිරපේක්‍ෂ දෙයක් නැහැ. අපේ ඊනියා ආදර්ශය තමයි අප දකින ආකාරය, එහෙමත් නැත්නම් අපට පෙනෙන ආකාරය. ඊනියා ආදර්ශය ම තමයි ලෝකය. ප්‍රවාද කියන්නෙ කතන්දර. කතන්දර කියන්නෙ නිර්මාණය කරන දේ. සාමාන්‍ය මිනිස්සු කතන්දර හදනවා. ඒවට පද හදනව කියලත් සමහර විට කියනවා. උගතුන් හදන පදවලට ප්‍රවාද කියලා කියනවා. මේ සියල්ල දැනුම පිළිබඳ දැනුම. ඕන නම් ඥානවිභාගය කියලත් කියන්න පුළුවන්. එයත් සාපේක්‍ෂයි.  

පෙබරවාරි දහවැනි දිනට පස්සෙ රනිල් සිරිසේන ආණ්ඩුව සාමාන්‍ය අර්ථයෙන් තවත් කලක් පවතිනවා කියලා හිතමු.  කොහොමටත් එක එක්කෙනාට එක එක කතන්දර තියේවි. එය රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව දිගට ම පවත්වාගෙන යෑමක් ලෙසත් දහවැනි (හත්වැනි) දා තෙක් කෙළේ රඟපෑමක් පමණක් බවත් කියන අය ඉඳීවි. එය මෛත්‍රිපාල රනිල් වෙත ආපසු යැවීමක් ලෙස දකින අයත් ඉඳීවි. රනිල් වෙත ආපසු යවන්න දෙයක් තිබුණෙ නැහැ මෛත්‍රිපාල එදත් අදත් ඉන්නෙ රනිල් එක්ක කියන අයත් (ඔවුන් නම් සරල ව දකින පඬියන්. පඬියන් දකින්නේ සරල ව) ඉඳීවි. මෛත්‍රිපාල රනිල්ට විරුද්ධ වී පැමිණි නමුත්  ඒකාබද්ධ විපක්‍ෂෙ අය ඔහු ආපසු රනිල් වෙත යැව්ව කියලා කියන අයත් ඉඳීවි.

දහවැනි දිනට පස්සෙ මට පෙනෙන විධියට තවත් දේ වෙන්න පුළුවන්. රනිල් හා ඒකාබද්ධ විපක්‍ෂය එකතුවෙලා මෛත්‍රිපාලට දෝෂාභියෝගයක් ගෙනෙන්නත් පුළුවන්. එයට ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයත් සහාය දේවි. මේ මැතිවරණයේ දි මෛත්‍රිපාල තනිව ම සටනක් කරන බවයි මට පේන්නෙ. සමහරුන්ට පේන්නෙ එය රඟපෑමක් හැටියට. ඒ කොහොම වුණත් දහවැනිදාට පසූවවත් මෛත්‍රිපාල හා මහින්ද එකතු වෙනවා නම් රටට යහපතක්. එසේ එකතු වී රනිල් ඉවත් කිරීම තමයි රටට ජාතියට ආගමට විය හැකි හොඳ ම දේ.

මෛත්‍රිපාලට දෝෂාභියෝගයක් ගේන්නෙ නැතිව තනි එ ජා පෙ ආණ්ඩුවක් හදන්න බැහැ. ඒ දෝෂාභියොාගය කරු ජයසූරිය මත බොහෝ දුරට රඳා පවතිනවා. ඒ නිසා එහෙම දෙයක් වෙන බව ඉව වැටුණොත් මෛත්‍රිපාල කරු ජයසූරිය එකතු වෙලා ආණ්ඩුවක් හදන්නත් පුළුවන්. එයට රනිල් විරෝධී එ ජා පාක්‍ෂිකයනුත් සමහර ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැම් මන්ත්‍රීවරුනුත් සහාය දේචි. මහින්දට ඒකාබද්ධ විපක්‍ෂෙන් යන අය නවත්වන්න බැරි වේවි. එවිට රනිල් මහින්ද එක පැත්තක ඉඳීවි.

චන්ද්‍රිකාත් මංගල අගමැති කරලා ආණ්ඩුවක් හදන්න උත්සාහ කරාවි. එහෙම වුණොත් ඒක කබලෙන් ලිපට වැටීමක් වෙනවා. මෛත්‍රිපාලට ඔහුගෙ කණ්ඩායමේ පමණක් තනි ආණ්ඩුවක් හදන්න බැහැ. ඔහුට කාගෙ හරි සහාය අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර බලවේග රනිල්ට හරි මංගලට හරි වඩා කැමති වේවි. අප ජාත්‍යන්තර බලවේග පරාද කරන්න කොහොම ද? මහින්ද අගමැති කරනවා නම් හොඳයි. එහෙත් දැන් තියෙන වෛරී දේශපාලනය නිසා එහෙම දෙයක් වෙන එකක් නැහැ. මෛත්‍රිපාල අකමැති ව මහින්ද අගමැති කරන්නත් බැහැ. මෛත්‍රිපාල ජනාධිපති වෙලා ඉන්න කම් ඒකාබද්ධ විපක්‍ෂයට ඔහුගෙ කණ්ඩායමේ අයගෙන් කිහිප දෙනකු හැරෙන්නට අනෙක් අය දිනාගන්න බැහැ. වෛරී දේශපාලනය තිබෙන තාක් මහින්ද අගමැති කරන්න නම් මෛත්‍රිපාල දෝෂාභියෝගයක් ගෙනල්ල අයින් කරන්න ඕන. එහෙම තැතක දී කරු ජයසූරිය විකල්පය ක්‍රියාත්මක වෙන්න පුළුවන්.  තවත් විකල්ප තියෙනවා. මෛත්‍රිපාලට රටේ පැත්තෙන් බලන විට ඇති හොඳම විකල්පය ඒකාබද්ධ විපක්‍ෂයෙන් මහින්ද බැරි නම් වෙනත් කිසිවකු අගමැති කරන එක.       


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-26