History

Wednesday, 24 January 2018

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?


ජාතිකවාදීන්ට පමණක් නොව මහින්දවාදීන්ට ද පොදුවේ පොදු පෙරමුණට හිතවත් අයට ද වෙනත් අයට ද රටට අවශ්‍ය කුමක් ද කියා ඇසුවොත් විවිධ පිළිතුරු තිබේවි. ඒ පිළිතුරු තම තමන් රටට යහපතක් වන්නේ කෙසේ ද යන්න මතත් අවසානයේ දී රටට යහපතක් වීම යනු කුමක් ද යන්න මතත් රඳා පවතිනවා. ඒ ඒ අයගේ විශ්වාස මා ප්‍රශ්න කරන්නේ නැහැ. අප අපේ විශ්වාසවලින් බැහැර වන්නේ එක්තරා ආකාරයකට කම්පනයකට පත් වීමෙන් පසුවයි. තර්ක කිරීමෙන් නො වෙයි.

දැන් දශක කිහිපයක් තිස්සේ මා කටයුතු කරන්නේ අපට ම ආවේණික දැනුමක් නිර්මාණය කිරීමට. එහි දී බටහිර දැනුම් ආධිපත්‍යයක් ඇති බව මා විශ්වාස කරනවා. සමාජයේ අති විශාල බහුතරයකට එවැනි විශ්වාසයක් නැහැ. ඔවුන්ට අපට ලැබෙන දැනුම සාමාන්‍යය ලෙස සිතනවා. අප පාසලේ දී විශ්වවිද්‍යාලයේ දී ලබන්නේ සාමාන්‍ය සම්මත දැනුමක් ලෙස ඒ අය සිතනවා. එහි ඇති ආධිපත්‍යයක් ගැන ඔවුන් සිතන්නේ නැහැ. ඔවුන්ට එසේ සිතන්න සමාජය ඉඩ දෙන්නේ නැහැ.

මා සිතන ආකාරය නිවැරදි කියා මා හිතනවා. එහෙත් මිනිසුන් වෙනත් ආකාරවලට සිතන බව මා දන්නවා. මා එසේ කියන්නේ පඬි වදනක් ලෙස නො වෙයි. මා පඬියන් ප්‍රතික්‍ෂෙප කරනවා. මා පදනම් වන්නේ බුදුදහම මතයි. බුදුදහම යනු මට තවත් දැනුමක් නො වෙයි. බුද්ධාගම යනු තවත් ආගමක් පමණක් නො වෙයි. බුද්ධාගම අනෙක් සියළු ආගම්වලට වෙනස්.  ආගම්වල බොහෝ විට කියැවෙන්නේ මරණින් මතු සිදුවන්නේ කුමක් ද, අප ජීවත් විය යුත්තේ කෙසේ ද, ඒ ජීවත්වීම මරණයට පසු සිදුවන දේ සමග ගැට ගසන්නේ කෙසේ ද ආදී කරුණු. බුදුදහමෙහි ඉගැන්වෙන්නේ මරණය නැති කිරීමට. ඒ කියන්නේ ඉපදීම නැති කිරීමට. අනෙක් ආගම්වල සදාකාලික සැපතක් ඇතිව ඉපදීමට පෙළ ගස්සනවා. 

ආගම්වල වත් පිළිවෙත් තියෙනවා. වත් පිළිවෙත් නැත්නම් ආගමක් වන්නේ නැහැ. ඇතැමුනට අවශ්‍යයයි බුද්ධාගම බුදුදහමක් පමණක් බවට පත් කරන්න. ඒ අතර බුදුදහම බටහිර ක්‍රිස්තියානි  නූතනත්වයට අනුව වෙනස් කරන්න, එහෙමත් නැත්නම් විවරණය කරන්න, අර්ථකථනය කරන්න. ඒ ඒ අය බුදුදහම අර්ථකථනය කරන්නේ කෙසේ ද යන්නත් එකිනෙකට වෙනස්. අනගාරික ධර්මපාලතුමාත් බුදුදහම නූතනත්වයට අවශ්‍ය අන්දමට ඇතැම් තැන්වල දී අර්ථකථනය කර තිබෙනවා.

බුදුදහම නුතනත්වයට ගැලපෙන ආකාරයට අර්ථකථනය කිරීම දහනවවැනි සියවස කරා දිව යනවා. එය සිංහල බෞද්ධයන්ට පමණක් සීමා වූවක් නො වෙයි. ජපානයේත් බටහිර රටවලත් එය සිදු වූවා. තවමත් එය සිදු වෙනවා. බුදුදහම නූතනත්වයට අනුව අර්ථකථනය කළ ආසියාතික රටවල් වනුයේ ලංකාව හා ජපානය. ලංකාවේ උගතුන් ථෙරවාදය නූතනත්වයට ගැලපෙන ආකාරයට අර්ථකථනය කළ අතර ජපන් උගතුන් මහායානය බටහිර නූතනත්වයට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කළා.

එහෙත් ඒ සියල්ල සමග බටහිර උගතුන් කිහිප දෙනකු සිටි බව අමතක කළ යුතු නැහැ. ඕල්කට්තුමා ද මේ ගණයට අයත් වෙනවා. මේ සියළු දෙනා ම පාහේ බටහිර අද්භූතවාදී (රොමෑන්ටික්) දර්ශනයෙන් ද බටහිර විද්‍යාවෙන් ද ආභාසය ලැබුවා. ඕල්කට්තුමා ද සියළු ආගම්වලට මුල් වූ විශ්වීය ආගමක් ගැන විශ්වාසය තැබුවා. ඔවුන්ට අනුව යම් තැනක දී සියළු ආගම් එකතු වෙනවා. අපේ වත්මන් ප්‍රසිද්ධ කියමනක් අනුව මොන පාරෙන් ගියත් අප නල්ලතන්නියේ දී හමුවෙලා එකම සිරීපාදෙ වන්දනා කර ගන්නවා  ධර්මපාලතුමාටත් ඒ අදහස් යම් ප්‍රමාණයකට බලපෑවා.

අද අපට බටහිර නූතනත්වයේ වියගහෙන් මිදීම අසීරු කරුණක් වී තිබෙනවා. බුදුදහම හා ඒ මත පදනම් වූ බුද්ධාගම අනෙක් සියලු දැනුම්වලින් හා ආගම්වලින් වෙනස්. අද අප බටහිර දර්ශනය මත පදනම් වී සාන්දෘෂ්ටිකවාදය වැනි බහුබුත ගැන උනන්දුවක් දක්වනවා. බටහිර සියලු දර්ශන පදනම් වන්නේ පැවැත්ම හා ද්වෛතය මත. පැවැත්ම ද සාරය (එසෙන්ස්) ද වඩා වැදගත් ආදී ප්‍රශ්න මත. ප්‍රශ්නය එසේ අසන්නේ ම ද්වෛතය මත පදනම් ව. 

බුදුදහමේ පැවැත්මක් ගැන කතා කරන්නේ සම්මුති අර්ථයකින් පමණයි. පැවැත්ම යන්න ද බොරුවක්. මේ බොරුවේ මම යන්න ද තිබෙනවා. එමෙන් ම ආත්මවාදය ක්‍ෂණවාදය ආදී දහසක් කරුණු තිබෙනවා. බුදුදහම කලක දී වෛදික බමුණන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කෙරුණා. අද බටහිර බමුණන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කරනවා. වල්පොල රාහුල හිමියන්ගේ සිට මහාචාර්ය කේ එන් ජයතිලක හරහා අද දක්වා ම ඒ සිදු වෙනවා.

මා අද ලිපිය පටන් ගත්තේ රටට අවශ්‍ය දේ කුමක් ද යන ප්‍රශ්නය අසමින්. ඒ ප්‍රශ්නයට මා දන්නා අන්දමට වියුක්ත ව හා ඇතැම් විට සංයුක්ත ව අවුරුදු තිහකට වැඩි කලක් මා පිළිතුරු දී තිබෙනවා. ඒ සියල්ලට පදනම් වන්නේ සිංහල බුද්ධාගමේ චිරස්ථිතිය, පැවැත්ම. සිංහල බෞද්ධයන් අවුරුදු දෙදහසක් තිස්සේ මොන අඩුපාඩුකම් මැද වුවත් බෞද්ධ සංස්කෘතියක් රැක ගත්තා. මේ අඩුපාඩු මට සාපේක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මට වාස්තවිකත්වයක් ගැනවත් නිරපේක්‍ෂකත්වයක් ගැනවත් කිසිම විශ්වාසයක් නැහැ.  

අද සිංහල බෞද්ධයන් කල්පනා කළ යුත්තේ සිංහල බුද්ධාගමේ චිරස්තිථිය කෙසේ වෙතත් පැවැත්ම සඳහා කළ යුත්තේ කුමක් ද යන්නයි. එහෙත් අවාසනාවකට බොහෝ සිංහල බෞද්ධයන්ට නූතනත්වයේ බලපෑම තියෙනවා. ඔවුන් නූතනත්වයෙන් තමන්ට අවශ්‍ය දේ ගන්නවා වෙනුවට නූතනත්වයේ වහලුන් වෙලා. අප පැවැත්ම ගැන කතා කරන්නේ සම්මුති ආකාරයකින් පමණයි. සිංහල බුද්ධාගමේ පැවැත්මත් එසේමයි. එහෙත් ප්‍රශ්නය වන්නේ සම්මුති අර්ථයෙන් අද සිංහල බුද්ධාගමේ පැවැත්මට පසුගිය අවුරුදු පන්සියක පමණ කාලයෙහි එල්ල වුණු බලවත් ම තර්ජනය එල්ල වී තිබීමයි. පෙබරවාරි දහවැනි දා මැතිවරණය වැදගත් වන්නේ එබැවිනුයි. අපට එහි දී ඊනියා ජාතික ආණ්ඩුව එක ඒකකයක් ලෙස සලකන්න බැහැ. එහි ඇති භේදය වැඩි දියුණු වීම රටට හිතකරයි. ඒ භේදය නැති කිරීම හරි භේදය නැති වන තැනකට තල්ල කිරීම හරි රටට අහිතකරයි.  අවාසනාවකට ජනාධිපති කාර්යාලයේ ඇතැම් ප්‍රධානීන්ගේ සිට පොදුජන පෙරමුණේ බොහෝ නායකයන් දක්වා ක්‍රියා කරන්නේ භේදය නැති කරන තැනකට තල්ලු කිරීමට. 


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-24