History

Sunday, 25 February 2018

මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම



මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම


අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලයට ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවකුවත් එකතු වේ දැයි මා දන්නේ නැහැ. රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමති මණ්ඩලයට එක්වන්නේ නම් හොඳයි. එහෙත් එය වළක්වන්නේ ඇතැම් රාජපක්‍ෂලා හා ඔවුන් වටේ සිටින්නවුන්. නාමල් රාජපක්‍ෂ අද විශේෂිත බලයක් අත්කර ගෙන. මේ අය පිටුපස ඉන්නේ කවුද කියා මා කියන්නේ නැහැ. අද මේ රටේ මෛත්‍රිපාලගේ හිත කියවන්න දන්න පඬියන් ඉන්නවා. ඔවුන් කියන්නේ මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට වුවමනාවක් නැති බවයි. හැම දෙයක් ම කුමන්ත්‍රණ හා රඟ පෑම් ඇසුරෙන් තේරුම් කරන පඬියන්ගෙන් රටට වැඩක් නැහැ. ඔවුන් දාර්ශනිකයන් වුවත් වැඩක් නැහැ. මහින්ද කරන්නේ රඟ පෑමක් නොවේ යැයි ද මෛත්‍රිපාල හා රනිල් රඟ පෑම් කරන්නේ යැයි ද පැවසිය හැක්කේ ජී එල් පීරිස් ගණයේ ඊනියා විද්වතුන්ට පමණයි.

මෛත්‍රිපාල සුපිරිසිදු දේශපාලනඥයකු යැයි මා කියන්නේ නැහැ. එහෙත් අද බොහෝ දෙනකු කතා නොකරන දෙයක් නම් මෛත්‍රිපාල රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ගියේ ඇයි ද යන්න. ඔහුට කෝටි ගණනක් මුදල් ලැබුණා ය කියන මතය ඉදිරිපත් කරන්නන් ද ඉන්නවා. අද මෙරට දේශපාලනයේ මුදල් හුවමාරු වන බව අප දන්නවා. එහෙත් හැම පිල් මාරුවක් ම මුදල් නිසා සිදුවන බව කියන්න බැහැ. පසුගිය දා පැවති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී පිල් මාරු ගණනාවක් සිදු වුණා. පිල් මාරු කිරීමට ගිය මහා කථිකයන් අවසාන මොහොතේ දී තම අදහස් වෙනස් කර ගත්තා. මේ හැම දෙයක් ම පිටුපස ඇතැම් රාජපක්‍ෂවරුන් සිටියා.

ඊනියා ජාතික ආණ්ඩුවට එකතු වූ සියළු මෛත්‍රිපාලගේ කණ්ඩායම එසේ එකතු වූයේ හොරකම්වලින් බේරීමට යන්න පිළිගත නොහැක්කක්. ආණ්ඩුවට එකතු වූ අය අතර මෙන් ම එකතු නොවූ අය අතරත් හොරු ඉන්න පුළුවන්. එහෙත් එකතු වූයේ හොරුන් ය කියා සාධාරණීකරණයට ලක් කිරීම වැරදියි. ඇතැම් රාජපක්‍ෂලා සර්වතොභද්‍රයන් නො වේ. මා මෙසේ කීම නිසා ජාතිකවාදීන් යැයි කියන බොහෝ දෙනා මා සමග උරණ වේවි. ඇතැම් රාජපක්‍ෂලාට කිසිම ජාතිකත්වයක් නැහැ. අද මහින්ද ජාතිකත්වයේ කොඩිය අතට ගෙන. මේ ජාතිකත්වය කුමක් ද ඔහු එකී කොඩිය අතට ගත්තේ කෙසේ ද යන්න අප සාකච්ඡා කළ යුතුයි.  

නූතන ජාතික ව්‍යාපාරය බිහි වූයේ කෙසේ ද යන්න බොහෝ දෙනා දන්නේ නැහැ. එය මූලික වශයෙන් හැටේ දශකයේ අග බිහි වූවක්. අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකෝන් මේ ජාතික ව්‍යාපාරයේ මූලික ව කටයුතු කළ අයෙක්. ඔහු විජේවීර සමගත් සම්බන්ධකම් පැවැත්වූවා. එකල ජ වි පෙ තේ ගස් ඉදිරීමට කතා කෙළේ ඔහුගේ උපදෙස් මත. පස සේදී යෑම නාය යෑම ආදියට මුල කඳුකරයේ තේ වැවීම යැයි ඔහු විශ්වාස කළා. ඔහුට පොල්පොට් ජාතිකවාදී අදහස් තිබුණා. එහෙත් ඔහු මිනී මරන්න ගියේ නැහැ. විජේවීර පොල්පොට්ගෙන් ඒ ටික ලබා ගත්තා.

මුදියන්සේ තෙන්නකෝන් සිංහල ගොවිකම ගැන කතා කළා. ඔහු වැව් ගැන දැන සිටියා. ඔහුගේ ඇතැම් අදහස් දිවයින බදාදා අතිරේකයේ පළවුණා. හැත්තෑහතෙන් පසුව යම් ආකාරයක ජාතිකවාදී අදහස්වලට රටේ ඉල්ලුමක් ඇති වුණා. දිවයින ආරම්භ කෙළේ අසූවේ. ඒ පුවත්පත මගින් ජාතිකත්ව අදහස් සමාජයට ගෙන යනු ලැබුවා. ජේ ආර්ගේ විවෘත සංස්කෘතියට ජාතිකවාදය ප්‍රශ්නයක් වුණා. මේ කාලයේ දෙමළ ජාතිවාදය ද නැගී සිටියා. 1976 දී වඩුකොඩෙයි සම්මේලනය පැවැත්වුණා.

මලගණේ අත්ථදස්සි හිමියන්ගේ අදහස්වලට දිවයිනේ තැනක් ලැබුණා. පැරණි කෘෂිකර්මය ගැන සාකච්ඡාවක් ඇති වුණා. එය පැරණි දේශීය දැනුමක් ගැන කියැවුණු එකක්. එහෙත් සිංහල වෙදකම සිංහල සංගීතය ආදිය එතරම් සාකච්ඡා වුණේ නැහැ. සූරිය ගුණසේකර විවිධ නම්වලින් මේ අදහස් දිවයින පුවත්පත යොදා ගෙන ජනතාව අතරට ගෙන ගියා.

මේ අතර සිංහල සංගිතයක්, දේශීය සංගීතයක් ගැන කතාබහක් කලින් ඇති වුණා. මකුළොළුව සී ද එස් කුලතිලක ආදී මහත්වරුන් ජන සංගිතයක් ගැන සාකච්ඡා කළා. මේ අදහස් මත පිහිටා ඒ වර්ධනය කරමින් රෝහණ බැද්දගේ රංවල ආදී සංගිතඥයන් දේශීය සංගිතයක් බිහි කිරීමට උත්සාහ ගත්තා. ජනගායනා ජන සංගීතය එහි කතා කෙරුණා. බැද්දගේ පෙන්නුම් කළා ජන සංගිතය උත්තර භාරතීය සංගීතයේ රාගධාරී සප්තස්වරයෙන් විස්තර කිරීමට බැරි බව. එහෙත්  සිංහල වෙදකම ගැන එතරම් කතා බහක් තිබුණේ නැහැ. 

ගුණදාස අමරසේකර ජාතිකත්වයක් ගැන කතා කෙළේ මේ එක ක්‍ෂෙත්‍රයකවත් නො වෙයි. ඔහු දේශපාලනය  ගැන පමණයි මුල දී කතා කෙළේ. අබුද්දස්ස යුගයක්, අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද යන කෘති හැත්තැවේ දශකයේ පළ වූවා. ඔහු ජාතික චින්තනය යන්න රටට ගෙන ගියා. එය නැෂනල් තෝට් යන අදහසෙහි පරිවර්තනයක්. අමරසේකර සමසමාජ පක්‍ෂයට හිතවත් වූවෙක්. එහෙත් ඔහු දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වී නැහැ. අන්ද්‍රයෙෆ් මගින් ඔහු රුසියානු විප්ලවයේ ජාතික චින්තනයක් දැක්කා. ඔහුට අවශ්‍ය වූයේ ඒ අදහස් ලංකාවට ගෙන ඒමටයි. මාක්ස්වාදය ජාතිකවාදී කිරීම ඔහුගේ ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකියි. ඔහු සිතා ගෙන සිටියේ ඊනියා ගැමි උගත් තරුණයන් රටට අරුණළු ගෙන ඒවිය කියායි. අසූවේ දශකයේ ඊනියා ගැමි උගත් තරුණයන් නන්දා මාලිනිගේ පවන ගීත අසමින් හා ගයමින් අමරසේකරගේ ගණදුරු මැදියම අරුණළු දකිනෙමි කෘතිය කියෙව්වා. ඔවුන් ටයර් සෑවල දැවුණේ අනුර කුමාර විජිත හේරත් විමල් වීරවංස වැන්නවුන් ඉතිරි කරමින්.

කුලියාපිටියේ ප්‍රනන්ද පසුව කියා සිටියේ ජාතික චින්තනය යන අදහස මුලින් ම කිව්වේ තමන් ය කියා. එහෙම වෙන්න ඇති. එහෙත් ඔහුගේ අදහස සමාජයට ගොස් තිබුණේ නැහැ. ඔහු කලක් කතෝලික පූජකවරුන් සමග ආශ්‍රයක් පැවැත්වුවා. ගුණදාස අමරසේකර ජාතිකත්ව ඇසකින් කවි ගැන කතා කරන්න පටන් ගත්තෙ මෑතක දි. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. සිංහල කවිය ගායනා කරන එකක් මිස කියවන එකක් නො වෙයි. ඊනියා පේරාදෙණි කවි කියවන්න (reading poetry) මිසක් ගයන්න තියෙන ඒවා නො වෙයි. අමරසේකර ඒ බවක් තේරුම් ගත්ත බවක් පේන්න නැහැ. (මතු සම්බන්ධයි)  


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-25