History

Wednesday, 7 February 2018

මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය



මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය


අද මැතිවරණය සම්බන්ධයෙන් යමක් කිව හැකි අන්තිම දිනය. එය වෙබ් අඩවිවලටත් බලපානවා ද යන්න පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් විද්‍යුත් තැපෑලෙන් නම් අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නය වන්නේ විද්‍යුත් තැපෑලෙන් යවන ලිපියක් ඒ ලබන තැනැත්තකුට තමන් කැමති ආකාරයකින් පිටපත් කිරීමට, වෙනත් අයට ඉදිරිපත් කිරීමට හැකි වීම. නීතිය තාක්‍ෂණයට වඩා පසුපසින් ඉන්නෙ.

මා පුවත්පතක දුටුවා එක් අයකු අභියෝග කර තිබෙනවා ජ්‍යොතිෂවේදීන්ට ආධ්‍යාත්මික බලයක් ඇති අයට මැතිවරණ ප්‍රතිඵල ගැන අනාවැකි කියන ලෙස. ඒසේ කළ හැකි අය හිටියත් ඔවුන් ඒ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කරන්නේ නැහැ. සමහර ජ්‍යොතිෂවේදීන් එසේ කරනවා වෙන්නත් පුළුවන්. එහෙත් එසේ කිරීම සුුදුසු නැහැ. ජ්‍යොතිෂය යනු අනාවැකි පළ කරන ශාස්ත්‍රයක් නො වෙයි. එය පුද්ගලයකුට අනාගතයේ දී විය හැකි විපතක් හෝ වෙනත් යමක් හෝ පෙන්නුම් කර සුදුසු පරිදි ක්‍රියා කිරීමට උපකාර කරනවා. ඒ සියලු අනාවැකි සම්භාවිතාවකට යටත්.

ලෝකයේ ඇත්තේ ජ්‍යොතිෂයට බලපාන කරුණු පමණක් නම් මා හිතන්නේ සම්භාවිතාව ඉතා ඉහළ අනාවැකි පළ කිරීමේ හැකියාව ජ්‍යොතිෂය සතු බවයි. එහෙත් දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් පරිසර වෙනස්වීම් කාලගුණ වෙනස්කම් ආදී කරුණු රාශියක් පුද්ගලයකුගේ ජීවිතයට බලපානවා. එපමණක් නොව ගෙදර එකට වාසය කරන අයගේ ක්‍රියාකාරකම් (ඔවුන්ට ජ්‍යොතිෂය අනුව විය හැකි දේ ආදිය ඇතුළු) ද එහි දී බලපානවා. ඇතැමුන්  හඳහනක් බලන විට ගෙදර අනෙක් අයගේ ද හඳහන් ඉල්ලනවා. වෙනත් කරණු ද පුද්ගලයකුගේ ජීවිතයට බලපාන බැවින් ජ්‍යොතිෂයේ අනාවැකිවලට ඇත්තේ තරමක පහළ සම්භාවිතාවක්.

පොල් ගෙඩි පොළොවට වැටීමේ දී බලපාන්නේ නිව්ටන්ගේ හිතළුව පමණක් නො වෙයි. එහෙත් සාමාන්‍යයෙන් පොල් ගෙඩියට වෙනත් කරුණු තීරණාත්මක ව බලපාන්නේ නැහැ. එබැවින් නිව්ටන්ගේ හිතළුව සෑහෙන සම්භාවිතාවක් ඇතිව හරියනවා. එහෙත් තද කුණාටුවක වැටෙන අත්තකට ඒ සම්භාවිතාව හරියන්නේ නැහැ. අනාවැකි කීම පහසු වන්නේ යම් සංසිද්ධියක් එක් හිතළුවකින්  විස්තර කිරීමට හැකි අවස්ථාවක.

මැතිවරණය ගැන ජ්‍යොතිෂයෙන් විමසන්න කලින් ඊනියා විද්‍යාඥයන්ට සුදුසු නියැදී තෝරාගෙන සමීක්‍ෂණ මගින් හෝ වෙනත් ආකාරයකට හෝ දත්ත ලබාගෙන ඒ දත්ත මුළු ගහනයට ම බලාපාන සම්භාවිතාව සංඛ්‍යානාත්මක ව කියන්න පුළුවන් ද? ඒ අභියෝගය  භාර ගැනීමට ඊනියා විද්‍යාඥයන්ට පුළුවන් ද? ඊනියා විද්‍යාඥයන් යථාර්ථවාදීන් එසේ භාර නොගෙන අනෙක් අයට අභියෝග කිරීම විහිළුවක්. ඊනියා විද්‍යාත්මක ක්‍රමයට අනාවැකි පළ කිරීමට විද්‍යාඥයන් යැයි කියා ගන්නා වාස්තවික යථාර්්ථවාදීන්ට නො හැකි ද? ඔවුන් ජ්‍යොතිෂයට අනාවැකි පළ කිරීමට අභියෝග කරන්නේ තමන්ගේ විධික්‍රමය අසාර්ථක බව දන්නා නිසා විය යුතුයි.

මැතිවරණයේ ප්‍රතිඵල ගැන අපට යමක් කිව හැකියි. ඒ ජ්‍යෙතිෂයෙන් නො වෙයි. ආධ්‍යත්මික ව කරුණු විමසන්නන්ගේත් ආධාරයෙන් හා අත්දැකීමෙන්. පළාත් පාලන ආයතනවල සභාපති තේරීම ඇතැමුන් හිතන තරම් පහසු වන එකක් නැහැ. මා හැම විට ම මැතිවරණයෙන් පසු සිදුවිය හැකි දේ ගැන කියන්නේ එබැවින්.

රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමේ වාතාවරණයක් ඇති වේවි. ඒ සඳහා ඉඩකඩක් තියේවි. එහෙත් එසේ වන්නේ බුද්ධිමත් ව කටයුතු කළහොත් පමණයි. නැතහොත් මෛත්‍රිපාල නැවතත් රනිල් වෙතට යැවීමට කටයුතු සිදුවේවි. එවිට මෙතෙක් කළේ රඟපෑමක් බව කීමටත් ඇතැමුනට අවස්ථාව සැලසේවි.

හුදු හැඟීම් මත ක්‍රියාත්මක නොවී රට ජාතිය ආගම ගැන කල්පනා කිරීමෙන් පමණක් රනිල් ඉවත් කිරීමේ අවස්ථාව සලසා ගන්න හැකි වේවි. මෙය ඩීල් දේශය බව අප අමතක නොකළ යුතුයි. මැතිවරණයෙනේ පසු ඩීල් කාක්කන් ක්‍රියාත්මක වීම වළක්වන්න පුළුවන් වන්නේ හැඟීම් අමතක කර රටේ අනාගතය ගැන සිතුවොත් පමණයි. 


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-07