History

Saturday, 10 March 2018

ප්‍රශ්නය ඉවර නැහැ ජාතිය අන්තිම පැයේ


ප්‍රශ්නය ඉවර නැහැ ජාතිය අන්තිම පැයේ




දැන් ප්‍රශ්නය ඉවර ද? සමහරවිට කලබල නම් ඉවර ඇති. මේ සියල්ලට ම වරදකරුවා මුහුණු පොත ද? අර තරුණ ගැටවු දෙදෙනා ද මේ ප්‍රශ්න සියල්ල ඇති කෙළේ? ඔවුන් අත් අඩංගුවට ගැනීමත් සමග ප්‍රශ්නය ඉවර වුණා ද? එහෙමත් නැත්නම් මහින්ද ලොහාන් රත්වත්තෙගෙ නුවර ගෙදරට ගිහින් ප්‍රශ්නය විසඳුවා ද? එහෙමත් නැත්නම් තමා ආනන්දෙ ඉගෙන ගත්ත බෞද්ධයකු යැයි කියන හමුදාපති හදිසි නීති යටතේ ප්‍රශ්නය විසඳුවා ද? දැන් අහන්න පුළුවන් ප්‍රශ්නය මොකක් ද කියලා. මාත් දන්නෙ නැහැ ඔය ප්‍රශ්නය මොකක් ද කියලා.




මුහුණු පොතේ අය කරන ඉටිගෙඩියක් නැහැ. ඔවුන් දන්නේ ඔවුන්ගේ ම භාෂාවෙන් කියනවා නම් මුහුණු පොතේ කොටන්න විතරයි. ඔවුන් මැතිවරණයක දි හැරෙන්න සෘජු දේශපාලනයක යෙදෙන අය නොවෙයි. ඔවුන් අතර දේශපාලනඥයන් වෙනුවෙන් ලියන අය එකකු දෙදෙනකු ඉන්න පුළුවන්. ඔවුන් 2010 ට එසේත් නැත්නම් 2005 ට කලින් කෙළේ මොනව ද කියලා ඇහුවොත් ඔවුන් ගැන දැන ගන්න පුළුවන්. අර ගැටයන් දෙදෙනා මොනවා ලිව්වා ද කියන්න මා දන්නෙ නැහැ. ඒත් කලබල ඇති කෙළෙ ඔවුන් ලියපු දේවල් කියවපු අය ද?  දැන් බාධක නිසා මුහුණු පොත පරිහරණය කරන්නෙ ටික දෙනයි. ඒ අය් ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණය දන්නවා. තාක්‍ෂණික ශාස්ත්‍රීය දැනුම වැඩිවත් ම සෘජු දේශපාලන ක්‍රියාකාරකම් ද අඩු වෙනවා.



මුහුණු පොතේ අය වැදගත් වන්නෙ ඡන්දයක දී විතරයි. ඒ තමයි ඔවුන් අති විශාල බහුතරය සෘජු ව දේශපාලනයට සම්බන්ධ වන එක ම අවස්ථාව. මුහුණු පොත 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම 2018 පෙබරවාරියේදීත් යම් ප්‍රමාණයකට බල පෑවා.  මුහුණු පොත කියවලා කලබල කරන්නෙ කවුද? මුහුණු පොත ඇතත් නැතත් කටකතා පැතිරෙනවා. මෙවරත් කටකතා පැතුරුණා. ඒත් සිංහල බෞද්ධයන් ඉවසුවා. කටකතා පැතුරුණ පමණින් බෞද්ධයන් ඒ විශ්වාස කෙළේ නැහැ. එහෙත් ඒ ගැන එතරම් කතාවක් නැහැ. සිංහල බෞද්ධයන්ගෙ හොඳක් කීම මොන තරම් පවක් ද?



මුහුුණු පොතේ ඇතැමුන් කියලා තිබුණේ ගෝඨාභයට ආරක්‍ෂක ලේකම්කම දෙන්න වැඩ පෙන්වයි කියලා. එහෙත් දුන්නත් භාර ගන්නෙ නැත්නම්, භාර නොගන්න විවිධ හේතු කියනවා නම් මොකද කරන්නෙ? මේ යෝජනාව ගැන මා දන්නවා. පසු දිනෙක වැඩි විස්තර කියන්නම්. ඒ යෝජනාව විතරක් නොවෙයි තවත් යෝජනාත් තියෙනවා. ඒවා පිළිගන්නවා නම් හොඳයි. පොහොට්ටුවාදීන්ට මා පෙනෙන්නේ සිරිසේනවාදියකු, මුග්ධයකු, පිස්සකු, බකපණ්ඩිතයකු, කොන්ත්‍රාත්කාරයකු ආදී වශයෙන්. දෙමළ ජාතිවාදීන් මට වැඩිම වුවහොත් සිංහල ජාතිවාදියකු කියන්න ඇති. එහෙත් මහින්දවාදීන්/පොහොට්ටුවාදීන් තරම් නම්බුනාම දීලා නැහැ.



අප මේ ගත කරන්නේ ජාතියේ අන්තිම පැය. එහි දී කිසිවකු තමාගේ කීර්තිය ගැන අනවශ්‍ය විධියට හිතන්න ඕන නැහැ. තමන්ට කීර්තියක් අත් වෙන්නෙ ජාතිය පැවතුණොත් විතරයි. ජාතිය නැති වුණොත් තමන් විතරක් නොවෙයි ගැමුණු රජුත් පාරාවෝගේ තත්වයට පත් වෙනවා. පාරාවෝලාට අද ඊජිප්තුවේ ඇති කීර්තිය මොකක් ද? අද ජාතිය අනතුරේ. එහි දී තමන්ගෙ කීර්තිය බලාගෙන විවිධ හේතු දක්වලා තනතුරු භාර නොගෙන ඉන්න එකෙන් ජාතියට වෙන හානිය ගැන කියන්නෙ මොකක් ද? 2019 ගැන ඕනවට වඩා හිතන්න එපා.



අද තත්තවයට වග කියන්න ඕනෙ මෙරට උගතුන්. මා අහනවා ප්‍රශ්නයක්. මෙරට සිංහල බෞද්ධ රටක්, මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ, මෙරටවත් කිසිම රටකවත් සංස්කෘතීන් සමාන නැහැ, මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට වෙන කිසිම සංස්කෘතියක් සමාන කරන්න බැහැ කියලා කියන දේශපාලනඥයන් උගතුන් කී දෙනකු සිටිනවා ද? දෙමළ ජාතිවාදය පටන් ගත්තෙ 1650 තරම් ඈත කාලයක බව එය දේශපාලනය වශයෙන් බෞතීස්ම කෙරුණෙ 1833 දී බව පිළිගන්න දේශපාලනඥයන් උගතුන් කවු ද? මුහුණු පොතේ ඇතැම් ජාතිකවාදීනුත් හිතන්නෙ දෙමළ ජාතිවාදය ඇති වුණෙ 1956න් පසුව කියා. මා මෙතෙක් කියා ඇති දේට තවමත් කිසිවකු පිළිතුරක් දීලා නැහැ. එහෙත් ඔවුන් තවමත් 1956ට බණිනවා. මා අද කියෙව්වා අෂ්රොෆ්ගෙ කාලයෙ සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් තිබුණෙ නැහැ කියලා. මේ පට්ටපල් බොරුවක්. 1915 කාගෙ නිර්මාණයක් ද? අෂ්රොෆ් තමයි මුස්ලිම් ජාතිවාදය (මා ජාතිවාදය කියන්නෙ ඉංගිරිසියෙන් රේසිසම් කියන දෙයට. අපට ජාතිවාදය කියලා වචනයක් තිබුණෙ නැහැ. රේසිසම් ලෝකෙට දුන්නෙ ඉංගිරිසින්. පඬියකු එයට වර්ගවාදය කියන්න පුළුවන්. ඒ පඬිකමේ අහංකාරය පෙන්වන්න) දේශපාලනික ව තහවුරු කෙළේ.



අෂ්රාෆ්ට පළමුව කඩුගන්නාවේ සිංහල මරික්කාර්ලා හිටියත් ඉන්පසු එවැන්නන් බිහි වුණේ නැහැ. අද සිංහල දේශපාලනඥයන් මුස්ලිම් ඡන්ද හිඟා කනවා. සිංහල බෞද්ධයන් 70%ක් එකතු වුණොත් සිංහලයන් 66%ක් එකතු වුණොත් ඡන්ද හිඟමන නවත්වන්න පුළුවන්. මා ශාස්ත්‍රීය වශයෙන් ගෙනැවිත් ඇති කරුණු බිඳ හෙළීමට අවුරුදු තිහකට වැඩි කලක් නිවට පරඬැල් උගතුන් සමත් වී නැහැ. එහෙත් ඔවුන්ට රටේ තවමත් තැනක් තියෙන්නෙ එක පැත්තකින් සිංහල බෞද්ධ දේශපාලනඥයන්ගෙ නිවටකම නිසා. දේශපාලනඥයන් නිවට පරඬැල් උගතුන්ට යටවෙන නිසා. නිවට පරඬැල් උගතුන් පිටුපස ඉංගිරිසින් ඉන්න නිසා.



අපට මියන්මාරය වගේ වෙන්න බැරිවුණේ ඇයි? අද රොහින්ග්‍යා කොහෙන්ගියා ද කියා අහන්න වෙනවා. මියන්මාර ථෙරවාදයට සිංහල ථෙරවාදයට නැති ශක්තියක් ලැබුණේ කෙසේ ද? 1956 ඌ නූ හා බණ්ඩාරනායක අතර වෙනස කුමක් ද? අවුන් සාන් සු කී හා චන්ද්‍රිකා අතර වෙනස කුමක් ද? අප මියන්මාරයට වඩා බටහිර යටත්විජිතවාදයට ගොදුරු වීම ද? ඕල්කට්තුමා කළ හානිය කුමක් ද? ඔහු සර්වාගමිකයෙක්. ඔහු සිතුවේ සෑම ආගමක් පිටුපස විශ්වීය ආගමක් තියෙනවා කියලා. අප අද සර්වාගාමික වෙලා. ථෙරවාද බුද්ධාගමට මෙරට හිමි විය යුතු තැන හිමි වෙලා නැහැ. අද මෙරට ථෙරවාද බුද්ධාගම තවත් ආගමක් පමණයි.



කලබල ඉවර වෙලා වෙන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නය විසඳිලා නැහැ. නිවට පරඬැල් උගතුන් පරාජය කරන තෙක් ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. ඔවුන් ශාස්ත්‍රීය ව පරාජය වෙලා නමුත් දේශපාලනික ව පරාජය වෙලා නැහැ. ඒ අපේ කසිකබල් අධ්‍යාපනය නිසා. අපට ලැබෙන්නේ ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. හමුදාපතිට ආනන්දෙ ලැබුණෙත් ඒ අධ්‍යාපනය. ඉංගිරිසි දැනුම් ආධිපත්‍යය පවතින්නෙත් දේශපාලනික ව. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට නාථ දෙවියන් ගැන කියන විට මෙරට නිවට පරඬැල් උගතුන්ට රිදෙනවා.  ඔවුන් කිසිම නිර්මාණයක් කර ගන්න බැරි අනුකාරකයන්.