History

Wednesday, 14 March 2018

සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම


සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම



අද දි අයිලන්ඩ් පුවත්පතේ පිටරට සිටින ශ්‍රී ලාංකික අධ්‍යයනිකයන් යැයි කියා ගන්නා පිරිසක් සිංහල බෞද්ධයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වරද කරුවන් කරමින් ලිපියක් පළ කර තිබෙනවා. ඔවුන් දෙමළ ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් ඝාතනය කරන විට සිටියේ කොහේ දැයි අප අසන්නේ නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදීන්ට දෙමළ ජාතික සංධානයේ නොමඳ සහාය ලැබුණු බව ද අපට අමතක කරන්න බැහැ. එකී සංධානයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයන්  පාර්ලිමේන්තුවේ ද වෙනත් තැන්වල ද දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියා. අදත් පෙනී ඉන්නවා. සුමන්තිරන් මේ කණ්ඩායමේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරනවා. ඔහු පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ මැතෝදිස්ත බැතිමතෙක්.


තෙල්දෙණියේ සිදු වූ සිද්ධි අද සිංහල බෞද්ධ විරෝධීන්ට සිංහල බෞද්ධයනට තැළීමට හොඳ නිමිත්තක් වෙලා තියෙනවා. අද ආණ්ඩු පක්‍ෂය ද විපක්‍ෂය ද එකිනෙකාට චෝදනා කර ගන්නවා. ඔවුන් දෙපැත්තකින් පොලීසියට චෝදනා කරනවා. පොලීසිය නිසි අයුරින් කටයුතු කෙළේ නැහැ කියලා. එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයකු කෙලින් ම පොලීසියට චෝදනා කරනවා. ආණ්ඩු පක්‍ෂයටත් විරුද්ධ පක්‍ෂයටත් තමන් කරන්නේ කුමක් ද යන්න පැහැදිලි නැතිව ඇති. එහෙත් ඒ දෙගොල්ලන් ම දැනුවත් ව හෝ නොදැනුවත් ව සිංහල බෞද්ධයන්ට චෝදනා කරනවා. 


අද සියළු මුස්ලිම් දේශපාලන පක්‍ෂ මොන වෙනස්කම් තිබුණත් එකතු වෙලා. ඔවුන්ට දෙමළ පක්‍ෂත් සිංහල බෞද්ධ විරෝධීනුත් එකතු වෙලා. සිවල් සමාජ සාමාජිකයන් රාජ්‍ය නොවන ගැත්තන් ආදී සියල්ලන් එකතු වෙලා. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් අයිතිකරුවන් එකතු වෙලා. එහෙත් දේශපාලන පක්‍ෂවල සිංහල බෞද්ධයන්ට එකතු වෙන්න බැහැ. අද පොහොට්ටුවේ (ඒකාබද්ධ විපක්‍ෂයේ), මෛත්‍රි කණාඩායමේ, එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න සිංහල බෞද්ධයනට එකතු වෙන්න බැරි මොක ද? ඔවුන් සිංහල බෞද්ධ නෙවෙයි ද? එහෙමත් නැත්නම් සිංහල බෞද්ධ කියලා කියන්න ලැජ්ජ ද? ඊනියා අපෝහක භෞතිකවාදය ඔවුන්ට එකතු වීමට ඉඩ දෙන්නේ නැද්ද? ලෝකයේ කම්කරුවනි එකතුවව් කියන කටින් සිංහල බෞද්ධයනි එකතුවව් කියන්න බැරි ද?


අද ජාතිකත්වයට 50%කට වඩා ඡන්ද තියෙනවා. පෙබරවාරි 10 වැනි දා මැතිවරණයෙන් යමක් පෙන්නුවා නම් ඒ මේ බහුතර ඡන්දයයි. ඒ බහුතර ඡන්දය ලබා ගන්න පුළුවන් අයකුට ජනාධිපති ක්‍රමය තිබුණොත් 2019 දී ජනාධිපති වෙන්න පුළුවන්. එහෙත් අද සිංහල බෞද්ධයන් එකතු කරන්න බැහැ. සිංහල බෞද්ධ නායකයන් අද රිෂාඩ් බද්‍යුද්දීන්ට යට වෙලා. ඔහු පුත්තලම් දිස්ත්‍රික්යේ පමණක් නොවෙයි වෙනත් දිස්ත්‍රික්කවලත් බලය පතුරවනවා. ඔහුට අනූබල දෙන්නේ දෙපැත්තේ ම ඉන්න සිංහල බෞද්ධ නායකයන් යැයි කියා ගන්නවුන්. තව කොටසක් හකීම්ට ආධාර කරනවා. ඒ ඡන්ද හිඟා කෑමට. එහෙත් පෙබරවාරි 10 වැනි දා මැතිවරණයෙන් පෙන්නුම් කෙරුණේ මුස්ලිම් ඡන්ද හිඟා නොකෑවට ජාතිකත්ව ඡන්ද එකතු කර ගැනීම ප්‍රමාණවත් කියා.  


සිංහල බෞද්ධයන් කර ඇති වරද කුමක් ද? ඔවුන් මුස්ලිම් කඩ කඩලා ද? මුස්ලිම් ගෙවල් ගිනි තියලා ද? ඒ සඳහා සිංහල බෞද්ධයන් කී දෙනකු සහභාගි වෙලා තියෙනවා ද?  භික්‍ෂූන් වහන්සේ ද ඇතුළු සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට රැකවරණ සපයලා තියෙනවා. ඒ ගැන කිසිවකු කතාවක් නැහැ. විදේශීය ජනමාධ්‍ය විදේශවල ඉන්න ඊනියා ලාංකික බුද්ධිමතුන්ගේ කටේ ඒ වෙලාවට ඉබ්බන් දමලා. මොකක් ද මේ සාධාරණීකරණය (පොදුකරණය)


මේ රටේ ඊනියා ඉස්ලාම් භීතිිකාවක් තියෙනවා කියලා දයාන් ජයතිලක හා වෙනත් කතෝලික සම්භවයක් තියෙන ඊනියා ජාතිකවාදී ගැහැණු පිරමි පඬියන් පඬිනියන් කියනවා. මෙරට ඇති ඊනියා ඉස්ලාම් භීතිකාවක් නැහැ. ඉස්ලාම් භීතිකාවක් තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි රටවල. මේ භීතිකා කාරයන් ඒ රටවලට ගිහින් යාතිකා කරනවා නම් හොඳයි ඒ රටවල භීිතිකා නැති කර දෙන ලෙස ඉල්ලා. අපි කෙලින් ම අහමු. ඔය ලංකවෙන් පිට බටහිර රටවල ඉන්න ඊනියා බුද්ධිමතුන්ට කියන්න පුළුවන් ද මුස්ලිම් ජනයාට වැඩි නිදහසක් ඇත්තේ ලංකාවේ ද බටහිර රටවල ද කියා. බටහිර රටවල නායකයන් නිතර කියන කතාවක් තමයි ඒ රටවල සංස්කෘතිය අනුව ජීවත් වීමට නොහැකි අයට වෙනත් රටවලට යන්න කියන එක. සිංහල බෞද්ධයන් කිසිදාක කියා තියෙනවා ද මෙරට මුස්ලිමුන්ට තමන් පැමිණි වත්මන් කේරළය –- තමිල්නාඩු ප්‍රදේශයට  යන්න කියා. මෙරට මුස්ලිමුන් අරාබියෙන් පැමිණ සිංහල කාන්තාවන් විවාහ කරගත් අයගෙන් පැවත එන්නන් නො වෙයි. සරත් අමුණුගමට කියන්න පුළුවන් ද අරාබි තාත්තලාගේ හා සිංහල අම්මලාගේ දරුවන් මලයාලම් වචන සහිත දෙමළ කතාකරන්නේ මොන සමාජ විද්‍යාවකට එකඟ ව ද කියා. ලෝනා දේවරාජාගේ පොතේ එහෙම තියනවා කියන එක එයට පිළිතුරක් නො වෙයි. ඒ ඊනියා මූලාශ්‍ර සැපයීමක් පමණයි. ඒ දේවරාජාගේ පොතේ මූලාශ්‍රය කුමක් ද?  


අප හැමදාමත් කියා ඇත්තේ මෙරට ඇති ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන අහිමි වීම කියා. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්. මහාසොහොන් බලකාය, බොදු බල සේනා ආදියට සිංහල බෞද්ධයන්ගෙන් බහුතරයක් විරුද්ධයි. ඒ සංවිධානවල කවුරුන් ආධාර කළත් එවැනි සංවිධානවල ක්‍රියාකාරීත්වයට විරුද්ධ වුවත් ඒ සංවිධාන ඇතිවන්නේ කිනම් හේතුවක් නිසා ද? අනෙක් අතට ඒ සංවිධාන යොදා ගැනෙන්නේ කුමක් සඳහා ද


අයිසිස් සංවිධානයේ කී දෙනකු මෙරට සිටිනවා ද? මෙරට මුස්ලිමුන් ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා ද? දෙමළ කොටි සංවිධානයට දෙමළ දේශපාලනඥයන් කී දෙනකු විරුද්ධ වුණා ද? අදත් කොටි යුක්තියුක්ත කරන දෙමළ නායකයන් පමණක් නොව ඊනියා ස්මාට් ජාතිකවාදීන් ද ඉන්නවා. දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඇති වුණේ 1956න්වත් 1983න්වත් පසුව නොවෙයි. මෙරට ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් බිහි වූ ඊනියා සිංහල බෞද්ධ නායකයන්ට ඒ බව දකින්න බැහැ. 


නාමල් රාජපක්‍ෂ කියලා කවුද ඊනියා උගතකු කියා තිබුණා ජාතික ව්‍යාපාරයට වඩා දේශපාලන ව්‍යාපාරය පළල් කියලා. නැහැ අද ජාතික ව්‍යාපාරය දේශපාලනඥයන් විසින් ඩැහැගනු ලැබ තියෙනවා. ජාතික ව්‍යාපාරය කුරුවළු කිරීමට පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීමත් හේතු වුණා. එය එකම හේතුව නොවන බව සිංහල තේරුම් ගන්නට බැරි උපැවිදි පඬියන්ගේ දැන ගැනීම සඳහා කියන්න වෙනවා.  පිිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම නිසා බුද්ධිය නැති වෙලා.


මට මෙහි දී එක්තරා ප්‍රසිද්ධ භික්‍ෂූන් වහනසේ නමක් මට කී කතාවක් මතක් වෙනවා. පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්වීමෙන් පසු ගුරු මෙන් ම ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ උපැවිදි වුණා. ඉන් එක් අයකු දිනක් සෙනරත් පරණවිතාන මහතා හමුවීමට ගොස්. පරණවිතාන මහතා ඔහුගෙන් කවුදැයි විමසා තිබෙනවා. එවිට  තමාගේ පැවිදි නම කියා තමන් දැන් විමල් කියලා කියා තියෙනවා. පරණවිතාන මහතා ගත් කටට ම අසා ඇත්තේ එතකොට අර බුද්ධි කෑල්ලට මොක ද වුණේ කියලා. පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් වීමෙන් පසු බුද්ධිය නැති වෙලා. අදත් ඇතැම් උපැවිදි වූවන්ගේ ලිපි කියවන විට ඒ බව මොනවට පැහැදිලි වෙනවා. අද කළ යුත්තේ සිංහල බෞද්ධයන් සමගි කිරීම වුවත් ඔවුන් කරන්නේ භේද කිරීමයි.