History

Sunday, 13 May 2018

ඔළුවෙන් වැඩ කරමින් ඇඹරෙන ජාතිය


ඔළුවෙන් වැඩ කරමින් ඇඹරෙන ජාතිය



මුහුණු පොතේ මෙන් ම වෙනත් තැන්වල ද ඇසෙන කතාබහ ඉතා වැඩි වේගයකින් ඉංගිරිසිකරණයට ලක්වෙමින් පවතිනවා. භාෂාවක් එක තැන පල්වෙන්නෙ නැහැ කියලා අපට කියලා දෙන්න වාග්විද්‍යාඥයන් හරි වෙනත් පඬියන් හරි අවශ්‍ය වෙන්නෙ නැහැ. භාෂාවක් වෙනස් වෙනවා. පාළි සංස්කෘත දෙමළ තෙළිඟු මලයාලම් ආදී නොයෙක් ඉන්දීය සම්භවයක් ඇති භාෂාවලින් මෙන් ම පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි ආදී බටහිර භාෂාවලින් ද සිංහලයට වචන එකතු වෙලා තියෙනවා. ඒ වගේ ම ප්‍රස්තා පිරුළු ආදිය ද එකතු වෙලා තියෙනවා.




ඒත් ඒ එකතු කිරීම් යම් ප්‍රමාණයකට සිංහල ඌරුවට සකස් කෙරුණා. කාර්ට් කරත්තය වුණා. ග්‍රෙගරි ගිරිගෝරිස් වුණා. කෝච් කෝච්චිය වුණා. එමෙන් ම සිංහලයෙ සමහර වෙලාවට  පිටින් වචනයක් ගන්න කොට සිංහල වචනයත් එක්ක ම ගන්න සම්ප්‍රදායකුත් තිබුණා. මල ඉලව්, ලයිට් එළිය ආදිය විතරක් නොවෙයි සුමන සමන් දෙවියන් ද එයට උදාහරණ. මල හෝන්තුව යන්න තවත් ආරක එකතු කිරීමක්. තව තව රීති ඇති. භාෂාව ගැන හදාරන්නකුට ඒ හොයලා බලලා එවැනි රීති එකතු කරන්න පුළුවන්.



කාලය රන් හා සමානය යන්න අප ඉංගිරිසියෙන් ගත්ත එකක්. කාලයට වටිනාකමක් මිලක් නියම කෙළෙ බටහිරයන්. ඉනුත් ඉංගිරිසින්. අප කාලය රන් හා සමානය කියලා පාසලේ බාල්කයෙ ලිව්වත් ඒකෙ අදහස ගත්තෙ නැහැ. අපේ සමාජයෙ කාලය ඒ තරම් වටින්නෙ නැහැ. අප පාළියෙන් අප්පමාදො අමතපදං කිව්වෙ වෙනත් අර්ථයකින්. ඒ නිවනත් එක්ක සම්බන්ධ කරලා. 



එහෙත් අප උගතුන් වෙත් ම මේ   රීති නැතිවෙන්න ගත්ත. ක්‍රියා පද සම්බන්ධයෙන් එ ඉස්සෙල්ල ම වුණු බවයි පේන්නෙ. කනවා බොනවා වෙනුවට අප සෙල්ලම් කරනවා. මල් පූජා කරනවා. ඒ මදිවට ලයිට් දානවා. සිග්නල් දානවා. කර්මාන්තකරණය කරනවා.  මේ අපේ නිර්මාණශීලිත්වය බිඳ වැටීමත් සමග සිදු වූ දේ. එය බටහිරයන් එන්න පෙරත් තිබුණා වගේ. නාම පද සම්බන්ධයෙන් අපට තියෙන්නෙ එක යන්න එකතු කිරීම පමණයි. බස් එක, ලයිට් එක, දැන් නම් බයික් එක, බකට් එක ආදිය තියෙනවා. බසය කියලා වචනයක් හදල තිබුණත් එය ව්‍යවහාර වෙන්නෙ නැහැ. බකට්ටුව කියන්නෙ නැහැ, එහෙත් පනිට්ටුව කියලා කිව්වා.



දැන් එක කියන වචනය වර නගන හැටිත් අපට මහාචාර්යවරු උගන්වනවා. එක කියන වචනයෙ බහුවචනය මොකක් ද? එය වර නගන්නෙ කොහොම ද? ගොඩ ද ? බස් එකේ බහු වචනය බස්. ඒක වර නගන්නෙ මොන බස්වලින් ද? අප දැන් ස්ලිං ගාලා යනවා කියනවා. වයිරල් වෙනවා කියනවා. ඒ මදිවට ලොල් කියලා වචනයකුත් යොදනවා. ලොල් කියන්නෙ මොකක් ද? ලොට්ස් ඔෆ් ලාෆ්ටර් ද? මුහුණු පොතත් එක්ක අප ඉහළ ම අනුකාරකයන් බවට පත් වෙලා.



ජනමාධ්‍ය පඬියන් අපට තවත් දේ කියනවා. ඔවුන් ආරංචි මාර්ග සඳහන් කරන හැටි කියනවා. ආරංචි මාර්ග කියන්නෙ අප්‍රාණවාචී පදයක්. අද අප්‍රාණවාචි දේත් කතා කරනවා. ජනමාධ්‍යවේදීන් නම් පණ පිටින් ම අප්‍රාණවාචී බව පේන්න තියෙනවා.



අද අප අතරෙත් ඔළුවෙන් වැඩ කරන අය ඉන්නවා. එයා වැඩ කරන්නෙ අනෙක් අය වගේ නො වෙයි ඔළුවෙන් කියලා ඇතැම් උගතුන් කියනවා. ඒක මගේ ඔළුවට ගියේ නැහැ කියලා සමහරු කියනවා. මා අහන්නෙ නැහැ ඔළුවට යන්න ඔළුවක් තියෙනවා ද කියලා.  මෙය භයානක දෙයක්. අප හිතන්නෙ ඔළුවෙන් ද? ඒ කවද හිටන් ද? මේ බටහිර කියුම් අප සංස්කෘතියට ගැනීමෙන් වෙන දේ. අටුවාවෙ මනස හෘදය වස්තුව සමග සම්බන්ධ කරලා. ඒක වුණත් වැරදි කියලා මා හිතන්නෙ. මනස ද්‍රව්‍යයට සම්බන්ධ කිරීම වැරැද්දක්.



ඒත් මනස ඔළුවට සම්බන්ධ වෙන්නෙ කවද හිටන් ද? බටහිරයන් මනස මොළයේ ක්‍රියාවක් හැටියට දකිනවා. ඔවුන් මනස ද්‍රව්‍යයට ඌනනය කරනවා. සිංහල බෞද්ධයන් ද මනස මොළයට හා එමගින් ඔළුවට රිංගවනවා ද? අපට ඔළුවෙන් හිතන්න බැරි හින්ද වෙන්න ඇති සිංහල බෞද්ධ විද්‍යාඥයන් නැත්තෙ.



අප දැන් ඇතැම් සිංහල වචන සමග වෙනින් මොකක් දෝ භාෂාවක් ලියන කියන පිරිසක් බවට පත්වෙමින් ඉන්නවා. අප ඉංගිරිසි සම්ප්‍රදායෙන් ඔළුවෙන් වැඩ කරනවා. මේවා නවතින්නෙ කොහෙන් ද? අපට දැන් ගීත රචකයන් හිඟයක් තියෙනවා. ඒ වචන ප්‍රශ්නයක් නිසා. ඔවුන් සාහිත්‍යය දන්නෙ නැහැ.  ඒ නිසා සංගීතඥයන් පැරණි ගීත වෙනත් සංගීත රටාවන් මගින් ඉදිරිපත් කරනවා. ඉන්න ගීත රචකයන්ගෙ ගීත වැළපිලි අඳෝනා පමණයි. ඒ ගීත බටහිර විධියට සකස් කරන්න උත්සාහ කෙරුණු කටහඬින් ගයන විට තරුණ තරණියන් උඩ පනිනවා. ඇඹරෙනවා. මුළු ජාතිය ම දැන් ඇඹරෙන  තැනකට ඇවිල්ල.