History

Friday, 18 May 2018

නන්දිකඩාල් සමග පෙරට

නන්දිකඩාල් සමග පෙරට

අද නන්දිකඩාල් දිනය. එහෙත් ආණ්ඩුව ඒ ජයග්‍රහණය සමරන්නේ නැහැ. එමගින් ආණ්ඩුව එක් පැත්තකින් රණවිරුවන් කළ කැපවීම, ජීවිත පූජා අවතක්සේරු කරනවා. ඒ බටහිරයන්ට යටවෙලා. රාජිත ජයග්‍රහණය අවතක්සේරු කරමින් රණවිරුවන්ට අවමන් කරමින් තවමත් ඇමතිවරයකු ලෙස වැජඹෙනවා. මෛත්‍රිපාලට රාජිත ඉවත් කරන්න හැකියාවක් නැහැ. ඒත් අද යාපනයේ ප්‍රභාකරන් සැමරෙනවා. එය නවත්තන්නත් ආණ්ඩුවට බැහැ. මේ නිවට ආණ්ඩුවට  රාජ්‍යය, ආණ්ඩුව, රාජ්‍ය ක්‍රමය, රට බෙදීම ආදියෙහි ඇති වෙනස්කම් තේරෙන්නේ නැහැ. ඔවුන් ජ වි පෙ හා කොටි සසඳන්නේ එබැවිනුයි. එහෙත් නිවට ආණ්ඩුව තවමත් තියෙනවා. රනිල් පවත්වාගෙන යන්න කවුද වැඩ කර තියෙන්නෙ කියලා ඇහුවම පොහොට්ටුවෙ උදවියට තරහ යනවා. තමන් කොටි සමග සැසඳුවත් ජ වි පෙ නිහඬයි.


පොහොට්ටුවෙ  උදවියගෙන් බොහෝ දෙනකු නන්දිකඩාල් ජාතිකවාදීන්. ඔවුන් සමහරකු ලියන්නෙ කොටි පරාද කෙරුවෙ තමන් වගේ. මා නම් කොටි පරාද කරන්න කිසිම දෙයක් කරලා නැහැ. ඒ වුණත් අසූ ගණන්වල අග හා අනූ ගණන්වල මුල කොටි පරාද කරන්න පුළුවන්, කරන්න ඕන කියලා කියන්නවත් මා හැරෙන්න වෙනත් කිසිවකු හිටියෙ නෑහැ. මා කෙළේ වැඩක් නොවන බව මා දන්නවා. කතා කරන එක ලියන එක කාට කරන්න බැරිද? නන්දිකඩාල් ජාතිකවාදීන් කරල තියෙන වැඩවලින් දහදාහෙන් එකක්වත් මා කරලා නැති බව දන්නවා.

ඒත් මට යමක් කියන්න ඕන. අපේ රණවිරුවන්ට යුද්ධ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ප්‍රභාකරන් එක්ක අපේ යුද්ධයක් තිබුණෙ නැහැ. අප කළේ දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහි ව හමුදා මෙහෙයුම් කිරීම පමණයි. එය කෙළේ මහින්ද රාජපක්‍ෂගෙ දේශපාලන නායකත්වය යටතේ හා ගෝඨාභය රාජපක්‍ෂගෙ මනා සැලසුම්කරණයට අනුව. එකල මා දේශපාලන නායකත්වයක් ගැන කියන විට පඬියන් මට හිනා වුණෙ හමුදාවට දේශපාලන නායකත්වයක් දෙන්නෙ කොහොම ද කියා අසමින්.

නන්දිකඩාල් ගැන මටත් කරුණක් දෙකක් කියන්න තියෙනවා. ඒ ඊනියා යුද්ධ විශේෂඥයන් ගැන නොවෙයි. ගෝඨාගෙ යුද්ධය ගැන ලියූ කොළපාට සමාජකාරයන් ගැනත් නො වෙයි. විවිධ මාදිලියෙ ස්මාට් ජාතිකවාදීන් ගැනත් නො වෙයි. ඔවුන් සියල්ලන් ම නූතනත්වයෙ දාසයන්. මට ලියන්න ඕන රණවිරුවන් ගැන හා ඔවුන්ගෙ සතුරන් ගැන. ඉතිහාසයෙ සිංහලයන් යුද්ධවලින් පරාජය වෙලා නැහැ. තාවකාලික පසුබැසීම් තියෙන්න ඇති. එහෙත් අප ගැමුණු රජු දවස සිට මේ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්‍ෂා කර ගත්ත. එය අපේ සංස්කෘතික ලක්‍ෂණයක්. අප කොටි පරාද කරන්න පුළුවන් බව කීවේ මේ ඉතිහාසය හා පනස්හය මත පදනම් වෙලා. මතක තබා ගන්න සොළීන්ටවත් යුරෝපීය ජාතීන් තුනකටවත් අප සම්පූර්ණයෙන් පරාජය කරන්න බැරි වුණා.

ඉංගිරිසින්ට අප අවසානයේ දී යටත් වූයේ අප යුරෝපීයයන්ගේ ජඩ වැඩ, බලු වැඩ, සටකපට නොදැන සිටි නිසයි. අපට ගිවිසුම් ගැන කිසිම අවබෝධයක් තිබී නැහැ. අවාසනාවකට දැනුත් නැහැ. අප 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම (ඊනියා උඩරට ගිවිසුම) අත්සන් කෙළේ ගිවිසුම් තියෙන්නෙ කඩන්න බව නොදැන. සිංහල බෞද්ධයන් ගිවිසුම් යනු කඩන ඒවා බව දැන සිටියේ නැහැ. ඇහැළෙපොළ මහඅදිකාරමත් දැන සිටියෙ නැහැ. ඔහුත් රැවටුණා. එහෙත් අප ඉංගිරිසින් තේරුම් ගත් දිනයේ ම ඔවුන්ට විරුද්ධව සටන පටන් ගත්තා. අප 1817-18 නිදහස් සටන දිනන්න ඔන්න මෙන්න තත්වයක හිටියෙ. එහෙත් සෙංකඩගල නිළමෙවරුන්ගෙ අසමගිය නිසාත් සුමේධ වීරවර්ධන කියන්න වගේ රජකම හිමිවිය යුත්තේ කාට ද කියන එක පිළිබඳ අවබෝධයක් නොතිබූ නිසාත් අප පැරදුණා. අප නිශ්සංක මල්ල අනුගමනය කරමින් ඊනියා රාජකීයයන් රජකමට හෙව්වා.

නන්දිකඩාල් ජයග්‍රහණය කෙළේ පනස්හයේ දරුවන්. අප මෙහි දී සැමරිය යුතු දෙදෙනකු ඉන්නවා. ඒ ඇල් එච් මෙත්තානන්ද හා ඇන් ක්‍යු දියෙස් මහත්වරුන්. ඒ මහත්වරුන් හමුදාව සිංහල බෞද්ධකරණය නොකරන්නට අපට නන්දිකඩාල් සටන් කරන්න වෙන්නෙ විජාතික හමුදා නායකත්වයකින්. අප ඉතිහාසයේ අපේ සටන් දිනුවේ සිංහල බෞද්ධ නායකත්වයෙන්. මෙකී මහත්වරුන් නිසා තමයි හමුදාවට සිංහල බෞද්ධ නායකත්වයක් ලැබුණෙ. අප මේ සරත් ෆොන්සේකා විවේචනය කරනවා. එහෙත් ඒ සරත් ෆොන්සේකා විවේචනය කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂත් සිංහල බෞද්ධ හමුදා භටයකු ලෙස සේවය කර තිබෙනවා. එහෙම කියනවාට අර තුට්ටු දෙකේ ස්මාට් ජාතිකවාදීන් අකමැති වේවි. ගෝඨාභයවත් වෙන කවුරුන්වත් ඒ දීනයන්ගෙ කැමැත්ත අකැමැත්ත විමසන්න ඕන නැහැ. රණවිරුවන් ඉතා බහුතරය සිංහල බෞද්ධ. ඔවුන් පනස්හයේ දරුවන්. රණවිරුවන් අතර මුස්ලිම් අය ද හිටියා. ඔවුනුත් සටන් කෙළෙ සිංහල බෞද්ධ සංස්කෘතියක. ඇන්ටන් මුතුකුමාරුගේ හා ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ හමුදාපතිත්වයෙන් සටන් කළා නම් අපට කොටි පරාද කරන්න බැරි වේවි. මෙහි දී මහින්දගේ දේශපාලන නායකත්වයත් සිංහල බෞද්ධ කියන එක අවධාරණය කරන්න ඕන.

ඉන්දියාව යම් පමණකින් මැදිහත්වෙලා තියෙනවා. ඒ ඔවුන්ට 13+ දී ගන්න. මහින්ද කොහොම හරි ඒ ගැටයෙන් බේරිලා තියෙනවා. ඒ ඔහු සිංහල බෞද්ධ ජනමතයට කන් දීමට පුරුදු වී සිටි නිසා. අප සටන් කෙළේ බටහිර රටවල අනුග්‍රහය හා ආශිර්වාදය ලැබූ කොටි එක්ක. කොටි යුරෝපීයයන් මෙරට ඇති කළ දෙමළ ජාතිවාදයේ අවසාන විකාශය. ඒ කොටි සමග ජේ ආරගෙ හරි චන්ද්‍රිකාගෙ හරි රනිල්ගෙ හරි නායකත්වයෙන් මුතුකුමාරුලාගෙ හමුදාවක් එක්ක සටන් කරලා දිනන්න බැහැ.

නන්දිකඩාල් සමග දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාදයි. එහෙත් බටහිරයන් ඔවුන්ගේ ජඩකම් සටකපටකම් අනුව නැවතත් සිංහල බෞද්ධයන් මුළා කරනවා. ඊනියා සංහිඳියාවක් ගැන කියනවා. දෙමළ ජනයාගේ ප්‍රශ්නයක් ගැන කියනවා. ඊනියා දෙමළ විඥානයක් ගැන කියනවා. මානව හිමිකම් කඩවීම් ගැන කියනවා. අරක කියනවා මේක කියනවා. මහින්දවත් ගෝඨාභයවත් මේ කතන්දරවලින් මුළා වූණොත් අපට 1818 ඉරණමට වැඩි දෙයක් 2018දී අත්වෙනවා.

පඬියන් හිතනවා ඇති පනස්හයේ දරුවන් නූතනත්වය දන්නෙ නැහැ, ඒ දැනුම දන්නෙ නැහැ කියලා. සමහරවිට ඔවුන් මහින්දටත් ගෝඨාභයටත් එසේ කියනවාත් ඇති. ඔය පඬියන් බටහිර දැනුමට එකතු කළ ඉටිගෙඩියක් නැහැ. පනස්හයේ දරුවන්ට පුළුවන් මේ අනුකාරකයන්ට අවශ්‍ය නම් නූතනත්ව දැනුමේ විසංවාද අඩුලුහුඬුකම් කියලා දෙන්න.

නන්දිකාඩල්වලට පස්සෙ (පඬියන් කියන විධියට පශ්චාත් නන්දිකඩාල්- මට පඬියන්ගෙ පශ්චාත් ප්‍රදේශයට වාම පාද ප්‍රහාරයක් එල්ල කරන්න හිතෙනවා) අපට තියෙන්නෙ සංහිඳියාවක් ගැන කතාකරන්න නොවෙයි. නන්දිකඩාල් ජයග්‍රහණය තහවුරු කරගෙන දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කරන්න. ඒ සඳහා සිංහලයන් සංවිධානය කරන්න. මෙරට ජනවර්ගවලටත් බටහිර නූතනත්ව ආධිපත්‍යයෙන් මිදෙන්න පුළුවන් සිංහල බෞද්ධ රාජ්‍යයක පමණයි.