History

Tuesday, 22 May 2018

හැරීගෙ මගුල




ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සියල්ලන් එකතු වී තරගකාරී බවකින් තොරව  කටයුතු කරනවා නම් හොඳයි. 

අද ජනරජ දිනය. ඒකත් මතක තබා ගනිමු.


හැරීගෙ මගුල



අපේ යටත්විජිත මානසික තත්වය තවමත් තියෙන බව හැරීගෙ මගුලෙන් පෙනුණා. සන්ඩෙ අයිලන්ඩ් පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය වුණෙ මගුලේ විස්තර. සන්ඩෙ අයිලන්ඩ් කතෘගෙ මනස එහෙමයි කියමු. අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්න දෙරණත් මගුල හොඳට ම අරගෙන තිබුණා. පැය විසිහතරෙ නාලිකාවෙ ඒකෙ සජීව විස්තරයක් ප්‍රචාරය කරනවා කිව්වා. කළා ද දන්නෙ නැහැ. ජාතිකවාදීන් කියන ඇතැමුන් හැරීගෙයි හැරීගෙ ආච්චිගෙයි (එංගලන්තයේ රැජින) හොඳ කිව්වෙ අපේ ආච්චිලා නැන්දලා නම් කියන්නෙ මේ වගේ දේ යැයි කියමින්.


සමහරු මාකල්ගෙ (මනමාලි) චාම්කම කිව්වා. මංගල්ලෙට ඩොලර්වලින් මිලියන 45ක් ද කොහෙද ගියා කියලා තිබුණා. මට මතක් වෙන්නෙ වරක් නේරු ගාන්ධි ගැන කියපු දෙයක්. ගාන්ධිගෙ චාම් බව තියාගන්න කොංග්‍රසයට සෑහෙන මුදලක් යනවා කියලා නේරු කිව්වා. මා ප්‍රශ්න කරන්නෙ වියදම නොවෙයි. එයින් කොපමණ මුදලක් මහජනයගෙ සල්ලි ද කියලා. ඒක නිසා අපේ ගෙදර මංගල්ලවලට කීයක් ගියා ද කියලා අහන ප්‍රශ්නය වෙනත් ඒ වගේ ප්‍රශ්න වැනි ම වැඩකට නැති එකක්.

මාකල්ගෙ මිශ්‍ර වාර්ගිකත්වයත් බොහෝ දෙනාගෙ කතාවට ලක්වුණා. එහි දීත් අපේ සමහරු අපේ ආච්චිලට නැන්දලට බැන්න ඒ වගේ දෙයකට ඒ ගොල්ල ඉඩ දෙයි ද කියලා. ඒත් මිශ්‍ර විවාහ මෙරට සිදු වුණෙ අද ඊයෙ නොවෙයි. කුවේණිගෙ කාලෙත් සිදු වුණා. මාකල් කලින් විවාහ වෙච්ච අයෙක්. හැරීට වඩා අවුරුදු තුනකින් වැඩිමල්. ඇ එ  රාජ්‍යවල පුරවැසියෙක්. සාමාන්‍ය අයෙක්. නිළියක්. රාජකීයයෙක් නො වෙයි.  මේ ඔක්කොමත් තියාගෙන එලිසබෙත් වින්ඩ්සර් මාකල් මිණිබිරියක ලෙස පිළිගෙන. එංගලන්තෙ රජ පවුල කෙතරම් ප්‍රගතිශීලි ද? හැරීගෙ අම්ම ඩයනාත් සාමාන්‍ය කාන්තාවක්. ඒත් ඇය මළා. මැරුව ද කියලා තාම දන්නෙ නැහැ. හැරී තම පැරණි පෙම්වතියන් දෙදෙනකුටත් මගුලට ආරාධනය කරලා. හැරී මොන තරම් හොඳ ද?

එංගලන්තෙ රජ පවුල හුඟක් කාලයක දි ටිකක් වෙනස් වෙලා. අටවැනි එඩ්වඩ් දෙවරක් දික්කසාද වුණු තවත් ඇමරිකානු ජාතික සිම්ප්සන් නෝනා සමග විවාහ වුණා කියලා රජකම අත්හරින්න සිද්ධවුණා. ඒ නිසා ඔහුගෙ සොහොයුරා හයවැනි ජෝජ් කියලා රජවුණා. එලිසවෙත් ජොජ්ගෙ දුව. එලිසබෙත්ගෙ නංගි මාගරට් එයාට අසුන් පිට යන්න උගන්නපු මනුස්සයාත් එක්ක ගියා. ඒත් ඒ විවාහය වැඩි කල් තිබුණෙ නැහැ. එලිසබෙත්ගෙ දුව ඈනුත් සාමාන්‍ය මිනිහකු සමග විවාහ වුණා. ඒ විවාහයත් වැඩි කල් තිබුණෙ නැහැ. අටවැනි එඩ්වඩ්ට රජකම අහිමි වුණෙ නැත්නම් එලිසබෙත්ට රජ වෙන්න බැහැ. හැරීට  රාජකීය ධුරාවලියෙ හිමිවන්නෙ හයවැනි තැන. එයාට රජ වෙන එක සිහිනයක් විතරයි. එ නිසා විවාහය පවතින්නත් ඉඩ තියෙනවා. මා මේ නරකක් කියනවා නොවෙයි. හැරීට සුබ මංගලම්!

ඩයනාටත් ටවුන්සෙන්ඩ්ටත් මාර්කල්ටත් සාමාන්‍ය මිනිසුන් හැටියට ජීවත් වෙන්න බැහැ. මාකල් දැන් සසෙක්ස්හි ආදිපාදවරිය. හැරීට ආච්චි මගුල වෙනුවෙන් සසෙක්ස් හි ආදිපාද පදවිය දීලා. එතකොට මාකල් සසෙක්ස්හි ආදිපාදවරිය බවට පත්වෙනවා. ඩයනා වේල්ස් කමරිය වුණා වගේ. ඉස්සර බන්දුලගෙ සසෙක්ස් කියල පාසලක් තිබුණා. අරීසෙන් අහුබුදුවන් එයට සිංහල නිරුක්ති දීල තිබුණා. මාකල් ආදිපදවරිය වන්නෙ ඒ පාසලේ නොවෙයි. එංගලන්තෙ දකුණෙ තියෙන ප්‍රාන්තයකට. මහළු අය ඒ ප්‍රාන්තයෙ පදිංචියට කැමතියි. මා ඉගෙන ගත් විශ්වවිද්‍යාලය තිබුණෙත් ඒ ප්‍රාන්තයෙ.

මගුල බලන්න දසදහස් ගණනක් ජනයා වින්ඩ්සර් මාළිගාව ඉදිරිපිට රැස්වෙලා. දැනට අවුරුදු විසිදෙකකට පමණ ඉහත මාකල් අවුරුදු පහළොව කාලෙ යෙහෙළියක් සමග බකිංග්හම් මාළිගාව ඉදිරිපිට ඉන්න ඡායාරූපයක් ප්‍රසිද්ධ කරලා. එදා මාළිගාව ඉදිරිපිට හිටි තරුණි අද කුමරි. නූතන සින්ඩරෙල්ලා කතාව. ඒක නොවෙයි ප්‍රශ්නය. මෙච්චර සෙනගක් වින්ඩිසර මාළිගාව ඉස්සරහ රැස්වුණෙ මොක ද කියන එක. සමහරු කලින් දා රෑ ඉඳන් එතන. අපි නුවර පෙරහැර බලන්න යනවා වගේ.

මට සිද්ධි දෙකක් මතක් වෙනවා. 1953-54 කාලයෙ. එකල මා තුනේ හතරෙ පන්තිවල. එකක් එලිසබෙත්ගෙ මෞලි මංගල්ලෙ. අපේ පාසලේ ගුරුවරු අප එක්කන් ගියා කොළඹ රීගල් සිනමා ශාලාවට මෞලි මංගල්‍යය පිළිබඳ වාර්තා චිත්‍රපටියක් නැරඹීමට. අප ඒ වෙනකොට ඊනියා නිදහස ලබලා. ඒත් එකල අපේ මනස් නිදහස් වෙලා නැහැ. දැනුත් නැහැ. බටහිර යටත්විජිතවාදය ඊට කලින් තිබුණු යටත්විජිතවාදවලින් වෙනස් වෙන්නෙ බටහිරයන් අපේ මනස් ද විජිතකරණයට ලක් කරන නිසා. මේ ලෙනින්ගෙ අධිරාජ්‍යවාදය සමතික්‍රමණයක් නෙවෙයි. කිසි දිනෙක වලංගු නොවුණු ඒ මළඉලව් මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නෙ අහවල් දේකටය. මාක්ස්වාදයෙ  දරිද්‍රතාවය තේරෙන්නෙ නැති පඬි පෝතකයෙ ඒකෙ තියෙනවා කියන පරස්පර ගැන කියනවා. පුළුවන් නම් පරස්පර පෙන්නන්න. මගේ මනස ඒ පුංචි සන්දියෙත් වහල් වෙලා තිබුණෙ නැහැ. ඒ චිත්‍රපටිය බලද්දි ම මට තේරුම් ගියා අපේ සංස්කෘතිය එංගලන්තෙ සංස්කෘතියෙන් කොච්චර වෙනස් ද කියා. එලිසබෙත් ශාලාවට එනවිට ආච්බිෂොප්ලා නැගිට්ටා. මා ඒ දවස්වල ආච්බිෂොප් කතාව දැන හිටියෙ නැහැ, මා දැක්කෙ ප්‍රධාන පූජකවරු නැගිටින එක. ඒත් මා දැන හිටියා රජවරු භික්‍ෂූන්වහන්සේ වඩින විට නැගිටනවා කියලා. මා අම්මගෙන් ගිහින් ඇහුව ඒ පූජකවරු නැගිට්ටෙ මොකද කියලා. දැන් මා දන්නවා අපේ රාජ්‍යය හා ජාතිය ගොඩනැගිල තියෙන්නෙ භික්‍ෂූන් වහන්සේ වටා කියලා.

දෙවැන්න එලිසබෙත් රජ වෙලා ලංකාවට ආපු වෙලාව. එදා අපත් ගියා ඇය බලන්න. එතන හිටිය සෙනග මට අද වගේ මතකයි. කුමාරතුංග මුනිදාස මාවතෙ ඒ දවස්වල තර්ස්ටන් පාරෙ අර වින්ඩ්සර් මළිගාව ඉස්සරහ වගේ මිනිසුන් රැස්වෙලා හිටියා. මා තරමක් ඉහළ පංතිවලට ගියාම ඉංගිරිසි ඉතිහාසය ඉගෙන ගත්තා.1053 නෝමන් ආක්‍රමනය, හේස්ටිංග්ස් සටන, එයට පෙර සැක්සන් රජවරු වයිකිංන්ග්, පසුව නෝමන් රජවරු, ටියුඩර් වාංශිකයන්, ස්ටුවට් වාංශිකයන්, ක්‍රොම්වෙල්ලා, හැනොවර්ලා, වින්ඩසර්ලා ආදින් ගැන අප ඉගෙන ගත්තා. භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉගෙන ගන්න අතරෙදිමයි අප ඉංගිරිසි ඉතිහාසය ඉගෙන ගත්තෙ.  මා ඉතිහාසයට ව්‍යවහාරික ගණිතය ළඟට ඇලුම් කළා. අපේ අවුරුද්දෙ පාසලෙ ඉංග්‍රිසි ඉතිහාස තැග්ගත් ව්‍යවහාරික ගණිත තෑග්ගත් ලැබුණෙ මට.

දැන් ප්‍රශ්නය ඉංගිරිසින් ජාතියක් ද? ඔවුන් ජාතියක් නම් ජාතියක් වුණෙ කවද ද? මිනිසුන් වින්ඩ්සර් මාළිගාව අසල රැස්වුණෙ ඉංගිරිසි ජාතියෙ කුමරකුගෙ මගුලට ද? ඉංගිරිසි ජාතිය නිර්මාණය කෙළෙ උඩින් ද යටින් ද? ඉස්සර  හිටපු වෙසෙක්ස් රජවරු කවු ද? මේ ජාතියෙ රාජ්‍යය මොකක් ද? එංගලන්තය  හා වේල්සය රාජ්‍යයක් වුණෙ කොහොම ද? අයර්ලන්තය, ස්කොට්ලන්තය මේ රාජ්‍යයට එකතු වුණෙ කොහොම ද? උඩින් ද යටින් ද? මා කියනවා තවමත් ඉංගිරිසි ජාතියක් නැහැ කියලා. මිනිසුන් වින්ඩ්සර් මාළිගාව අසළට ආවෙ අප එලිසබෙත් බලන්න ගියා වගේ. එලිසබෙත් අපේ ජාතියේ ද? ඉංගිරිසින් යටින් ඊනියා ජනවිඥානයක් ඇති කරගෙන යටින් ජාතියක් හදාගත්තෙ කවද ද?

බටහිරයන්ට ජාතිය රාජ්‍යය නිර්වචනය කරගන්න බැහැ. ඒ ඔවුන්ට රාජ්‍ය හා ජාති නැති නිසා. ඒ සියල්ල වහගන්න ඊනියා ජාතික රාජ්‍ය ඇතිකරගෙන. ජාති නැති අය ජාතියට නිර්වචන සපයන එක නොවෙයි වැඩේ අප ඒ කසිකබල් නිරවචන අරගෙන අප ජාතියක් ද නැද්ද කියන එක තීරණය කරන්න යෑම. මේ තමයි යටත්විජිත මානසිකත්වය. එංගලන්තෙ රජ පවුල ටිකක් වෙනස් වෙලා. ඒත් මාකල්ට හුඟක් වෙනස් වෙලා රජපවුල විධියට හැදෙන්න වේවි. කොහොමත් මාකල් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. නැත්නම් ඇය ව වින්ඩ්සර් මාළිගාවට වැද්ද ගන්න එකක් නැහැ. ඔබාමා ජනාධිපති වුණෙ ඇමරිකානුවන් කළු මිනිසුන්ට සලකන හින්ද නොවෙයි. ඔහු ක්‍රිස්තියානි සංස්කෘතියෙ නිසා. මාකල් බෞද්ධ වුණා නම් මොකක් වෙන්න තිබුණ ද?  මාකල්ගෙ චාම් මේකප් ගැන පස්සෙ කතාකරමු.