History

Tuesday, 26 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දහනවවැනි සියවසේ අග වන විටත් මෙරට අඩු තරමෙන් දෙමළ ජනවාර්ගිකත්වයක් ගොඩ නැගී තිබුණේ නැහැ. එයට ප්‍රධාන ම සාක්‍ෂිය එකල සිද්ධි ලෙබ්බේ වැනි මුස්ලිම් නායකයන් මුස්ලිම් ජනයා සඳහා ද ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටි විට පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ පොන්නම්බලම් රාමනාදන් තමන් මුස්ලිමුන් වෙනුවෙන් ද පෙනී සිටින බව කීමයි. ඔහුට හා අනෙක් වෙල්ලාල නායකයන්ට අනුව පොන්නම්බලම් රාමනාදන් දෙමළ කතාකරන ජනයාගේ නියෝජිතයා වුණා! මුස්ලිමුන්ට වෙන ම නියෝජනත්වයක් ලැබුණේ පසුවයි.


එහෙත් මේ දෙමළ කතා කරන කියන එක තවමත් සම්පූර්ණයෙන් ම නැති වෙලා නැහැ. 1976 පැවැත්වූ වඩුකොඩෙයි සම්මේලනය එක් අතකින් ගත් කල දෙමළ කතාකරන නායකයන්ගේ සම්මේලනයක්. එයට වෙල්ලාලයන් මෙන් ම මඩකලපු දෙමළ කතා කරන ජනයාගේ නායකයන් ද  වතුකරයේ දෙමළ කතා කරන ජනයාගේ නායකයා වූ තොණ්ඩමන් ද මුස්ලිමුන්ගේ නායකයන් ලෙස අෂ්රොෆ් ඇතුළු පිරිසක් ද සහභාගි වුණා. එය කිසිසේත් ම දෙමළ ජනවාර්ගිකයන්ගේවත් සම්මේලනයක් නො වෙයි. අදටත් දෙමළ කතාකරන ජනයාට වෙන වෙන ම නායකයන් උතුරේ නැගෙනහිර හා කඳුකරයේ ඉන්නවා. තවමත් දෙමළ ජනවාර්ගික විඥානයක් මෙරට නැහැ. 

එපමණක් නොවෙයි. වෙල්ලාල නායකයන් ඊනියා ස්වයං නීර්ණ අයිතියත් දෙමළ ඊළමත් ඉල්ලන්නේ සියළු ම දෙමළ කතා කරන ජනයාගේ නමින්. නැගෙනහිර පළාතේ වැඩි ජනගහනය මුස්ලිමුන්. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට ඉල්ලන විට ම දෙමළ ජනවර්ගය කියන පදනමකින් නොවෙයි එසේ කියන්නේ. මේ ඉල්ලීම මූලික ව කළේ වෙල්ලාලයන් මිස වෙනත් නායකයන් නො වෙයි.

විසිවැනි සියවස මුල වෙල්ලාලයන්ට වෙන ම දෙමළ රාජ්‍යයක් කියන ඉල්ලීමක් තිබුණේ නැහැ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් දැයි ඇසූ විට අඩුම තරමෙන් ප්‍රශ්නයේ ඉතිහාසයට යෑමේ අවශ්‍යතාවක් මෙරට කසිකබල් ඉතිහාසඥයන් යැයි කියා ගන්නා අයට නැහැ. මේ පඬියන් පුහු පොරවල් පමණයි. ඔවුන්ට එසේ කීම අශ්ලීලකමක් නොවෙයි. අශ්ලීලයන්ට සුදුසු ම භාෂාවෙන් කතා නොකරන්නේ නොලියන්නේ මේ ලිපි වෙනත් අය ද කියවන නිසා. ඉතිහාසය පිළිගනිමින් එය නොසලකන ඊනියා ඉතිහාසඥයා අශ්ලීලයකු නොවේ නම් වෙන කවුද?

විසිවැනි සියවසේ වෙල්ලාල නායකයන්ට තිබූ ප්‍රශ්නය වූයේ ලංකාවේ සුද්දන් යටතේ දේශපාලන නායකයන් වීමේ ප්‍රශ්නයයි. ඔවුන්ට ඒ සඳහා සුද්දන්ගේ සහාය ද ලැබුණා. සුද්දන්ට වුවමනා වූයේ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල මෙරට දේශපාලනයේ හා සංස්කෘතියේ ප්‍රධාන පවුල කිරීමයි. වෙල්ලාලයන් විසි වැනි සියවසේ මුල සටන් කෙළේ ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනත්වයට සමාන ව හෝ වැඩියෙන් හෝ දෙමළ නියෝජනත්වය තබා ගැනීමට. මෙය තමයි සටනේ මුල. වෙල්ලාලයන්ට සුද්දන් යටතේ වරප්‍රසාද තාන්න මාන්න දේශපාලන හා සංස්කෘතික නායකත්වය ලැබුණා. එය දිගින් දිගට ම රඳවා ගැනීම තමයි ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වුණේ. ඒ කියන්නේ මෙරට සිංහලයන්ට හිමි නිසි තැන නොදීම. එය ජාතිවාදයක් නොවේ නම් ජාතිවාදය යනු කුමක් ද?

දෙමළ ජාතිවාදයක් ඇති වීමට දෙමළ ජාතියක් අවශ්‍ය නැහැ. මේ ජාතිවාදය ඇති වුණේ වෙල්ලාල නායකයන් අතරයි. එය ඇති කෙළේ සුද්දන්. ජාතිවාදය ඇති වුණේ දෙමළ කතා කරන ජනයා අතරවත් නො වෙයි. ජාතිවාදයක් ඇති වන්නේ වෙනත් ජාතියකට ජනවර්ගයකට විරුද්ධව. දෙමළ ජාතිවාදය ඇති වුණේ සිංහල ජාතියට විරුද්ධව වෙල්ලාලයන් අතර. අදත් ලොව ඇත්තේ ජාතීන් දෙකක් පමණයි කීම නිවැරදියි. ඒ චීන ජාතිය හා සිංහල ජාතිය. චීන ජාතියේ රාජ්‍යය හඳුනා ගැනීමට නොහැකි බටහිරයන් එයට සභ්‍යත්ව රාජ්‍යයක් කියා කියනවා. මාටින් යැක්ගෙන් ඒ සංකල්පය ගත් ගුණදාස අමරසේකර අප ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක් කරා ගෙන යෑමට උත්සාහ කරනවා. අපට අමුතු රාජ්‍යයක් අවශ්‍ය නැහැ. අපේ සිංහල බෞද්ධ රාජ්‍යය තියෙනවා. අපට අවශ්‍ය ඒ රාජ්‍යය නැවත ඇති කිරීම. සිංහල බෞද්ධ රාජ්‍යය කියන්නේ සිංහල ජාතියේ රාජ්‍යය. ජාතීන් නැති බටහිරයන්ගේ ජාතිය ගැන ඇති සංකල්පවලින් අපේ රාජ්‍යය විස්තර කරන්න උත්සාහ කරන පූහු පොරවල්වලට ඇත්තේ දීන බව හා සිංහල විරෝධී බව පමණයි.

දෙමළ ජාතිවාදයේ ඉතිහාසයක් ගැන වෙනත් යමක් ලියා ඇත්තේ අද ඕස්ත්‍රේලියාවේ පදිංචි එකල සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයෙහි කතෘ මහින්දපාලයි. ඔහු උත්සාහ කරන්නේ වෙල්ලාලයන්ට යාපනයේ අනෙක් කුලවල ජනයාගේ වූ විරුද්ධත්වය වෙනත් අතකට යොමු කිරීමට වෙල්ලාලයන් සිංහල විරෝධයක් ඇති කළ බවයි. එහෙත් එය වැරදියි. අනෙක් කුලවල ජනයාට වෙල්ලාලයන්ට විරුද්ධව යමක් කිරීමට හැකි වුණේ ප්‍රභාකරන්ගෙන් පසුවයි. එයට කලින්  අනෙක් කුලවල ජනයාට කෝවිලකටවත් යෑමේ අයිතියක් තිබුණේ නැහැ. විසිවෙනි සියවස මුල වෙල්ලායන්ට විරුද්ධව අනෙක් කුල නැගිටින්න හිතාවත් නැහැ. වෙල්ලාලයන්ගේ සටන තිබුණේ සිංහල නියෝජනත්වයට විරුද්ධව. එය අනෙක් දෙමළ කුලවල අයට දැනුනේවත් නැහැ.

1912 දී තමයි මෙරට සීමිත ඡන්ද බලයක් ලැබුණේ. ඒ ඡන්ද බලය තිබුණේ වරප්‍රසාද ලත් පිරිසකට පමණයි. ව්‍යවස්ථාදායක සභාවට වූ ඒ මැතිවරණයේ දී ජයග්‍රහණය කෙළේ පෙන්නම්බලම් රාමනාදන්. ඉංගිරිසි කතාකරන ක්‍රිස්තියානි සම්භවයක් තිබූ සිංහල නායකයන් බෙදී හිටියා. ඒ සුද්දන් ඇති කළ කුල භේදයක් අනුවත්. සිංහලයන් අතර වූ කුල ක්‍රමය කුල භේදයක් බවට පත් කෙළේ වඩිගයන් හා ඉංගිරිසින්. රාමනාදන් හා ඔහුගේ සොහොයුරා අරුණාශලම් ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජනත්වය සිංහල නියෝජනත්වයට වැඩියෙන් තබා ගැනීමට සටන් කළා. මේ සටන් ඉතිහාසය සැකෙවින් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා කෘතියෙහි ඇති. (මතු සම්බන්ධයි)