History

Saturday, 16 June 2018

චීවරය ද ජම්පරය ද


චීවරය ද ජම්පරය ද





ඥානසාර හාමුදුරුවන්ගෙ ප්‍රශ්නය එක්ක මා සමග තවත් පිරිසක් මතභේද හදාගන්න පුළුවන් බව මා දන්නවා. පළමුවෙන් ම කියන්න ඕනෙ මා උන්වහන්සෙගෙත් බොදු බල සේනාවෙත් දේශපාලනය සමග එකඟ නොවන බව. දැන් බොහෝ දෙනෙකු කියාවි මා අපක්‍ෂපාත නැහැ කියලා. ඒක ඇත්ත. මා මගේ දර්ශනය, ඥානවිභාගය, ආදිය මත ඉඳගෙනයි ප්‍රශ්න දිහා බලන්නෙ. කවුරු කවුරුත් නොකිව්වත් තම තමන්ගෙ ලෝකවල තමයි ප්‍රශ්න දකින්නෙ.




ඕනෑම රටක රටවැසියන් විවිධ නීති පද්ධතිවල ඉන්න පුළුවන්. මෙහි නීතිය කියන එකට විනය ආදියත් ඇතුළත්. එහෙම නැත්නම් අනෙක් පැත්තටත් කියන්න පුළුවන්. ඒ ඒ අය විවිධ විනය අනුගමනය කරනවා කියලා. එහි දී රටේ නීතියත් විනයක් හැටියට සලකන්න පුළුවන්.



මෙරට සිංහල බෞද්ධයන් දළ වශයෙන් පද්ධති දෙකක ජීවත් වෙනවා. එකක් රටේ නීතිය, අනෙක සිංහල බෞද්ධ විනය. භික්‍ෂූන් වහන්සේත් එසේමයි. උන්වහන්සේ රැකිය යුතු විනය ගිහියන් රැකිය යුතු විනයට වඩා බෙහෙවින් උසස්. මා දන්නා පරිදි බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා අප රටේ නීතියත් අනුව ජීවත් විය යුතු ය. අප රටේ නීතිය කැඩුවොත් ඒ නීතිය අනුව දඬුවම් විඳින්න වේවි. අප රටේ නීතිය කඩනවා නම් අදාළ දඬුවම් විඳීමටත් සූදානම් විය යුතුයි.



සුද්දන් මෙරට උපක්‍රමයෙන් යටත් කර ගැනීමෙන් පසුව රටේ නීතිය බවට පත් වුණේ රෝම ලන්දේසි නීතිය එය සිංහල බෞද්ධ නීතිය නො වෙයි. මා සිංහල බෞද්ධ නීතිය ලෙස සලකන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයේ නීතිය. එය සිංහල බෞද්ධ විනය ම නො වෙයි. එහෙත් ඒ දෙක අතර බැඳීමක් තිබුණා. සිංහලයේ පැත්තෙන් බැලුව ම සුද්දන්ට විරුද්ධව සටන් කිරීම හරි. එහෙත් සුද්දන්ගෙ පැත්තෙන් එය ඔවුන්ගෙ රජුට විරුද්ධ ව කැරලි ගැහීමක්. අප සුද්දන්ට විරුද්ධව සටන් කරන විට ඔවුන්ගෙ ආධිපත්‍යය යටතෙ ඔවුන්ගෙ නීතියට වැරදි කරුවන්. ඒ වරදට ඇතැමුන්ට මරණ දඬුවම නියම වුණා. අප සටන් කළෙ ඒ බව දැන ගෙන. සුද්දන්ගෙ නීතිය හරි කියන එක නොවෙයි මා මෙයින් අදහස් කරන්නෙ.



ඥානසාර හාමුදුරුවන් උසාවි පරිශ්‍රයේ දී ම නඩුවක සාක්‍ෂි කාරියකට බැණ වැදිලා. එමෙන්ම උන්වහන්සේ උසාවියේ දී අනවසර ප්‍රකාශයක් ද කරලා. ඒ නඩු දෙකක්. පළමු නඩුවට තමයි උන්වහන්සේට දඬුවම් කරලා තියෙන්නෙ. දෙවැනි නඩුවෙ තීන්දුවත් පස්සෙ ලැබේවි. මේ හාමුදුරුවන් උසවියේ එසේ හැසුරුණෙ යම් සැලැස්මකට අනුව ද නැද්ද කියන එක මෙහි දී වැඩක් නැහැ. බොදු බල සේනාව පස්සෙන් කවුරු හරි ඉන්නව ද කියන එකත් වැඩක් නැහැ. ඥානසාර හාමුදුරුවන් රටේ නීතිය අනුව වරදක් කරලා. උන්වහන්සේ එය වරදක් බව නොදැන හිටියා කියලා කියන්න බැහැ.



ඒ කොහොම වුණත් ඇතැමුන් උන්වහන්සෙ දකින්නෙ සිංහල බෞද්ධයන් වෙනුවෙන් වැඩ කරන හාමුදුරුනමක් ලෙස. එහෙත් ඒ නිසා වරදට දඬුවම් විඳින්න ඕන නැහැ කියන්න බැහැ.



මෙයට කලින් හාමුදුරුවරු සිරගත වෙලා තියෙනවා. මාපිටිගම බුද්ධරක්ඛිත, තල්දූවේ සෝමාරාම ආදී හාමුදුරුවරුන් එසේ දඬුවම් විඳි අය. ඒ වෙලාවෙ කවුරුවත් කිව්වෙ නැහැ සිවුරට ගරු කරලා දඬුවම් කරන්න එපා කියලා.



සිංහල බෞද්ධ නීතියක් තිබුණ නම් මෙය මෙහෙම නොවන්න තිබුණා. ප්‍රගීත් එක්නැලිගොඩට විරුද්ධවයි එවිට ජාතිද්‍රෝහි වීමේ වරදට නඩු පැවරෙන්නෙ. සුද්දන්ගෙ නීතිය අනුව ඔහුට විවාහක භාර්යාවක් ඉන්නවා. ඔහු මිය ගිහින් ද නැත් ද කියලත් තවම දන්නෙ නැහැ. සමහර විට ආණ්ඩුවේ ඇමතිවරයෙක් දන්නවා ඇති. ඒ වගේ ම ප්‍රගීත් එක්නැලිගොඩ වෙනත්  කාන්තාවක් සමග ජීවත් වුණා ද නැද්ද කියන එකත් මෙහි දී අදාළ නැහැ. මෙතන දි සුද්දන්ගෙ නීතිය අනුව බලපාන්නෙ එකම එක දෙයයි. නඩුවක සාක්‍ෂිකාරියකට බැණ වැදීම.



ඥානසාර හිමියන් වෙනුවෙන් දඩ මුදල් එකතු කරන්න පුළුවන්. එමෙන් ම නීතියට අනුව උන්වහන්සේ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඇප දෙන ලෙස ඉල්ලන්නත් පුළුවන්. එහෙත් දැනට උන්වහන්සේ සිර දඬුවමට යටත්. එහි දී චීචරය ප්‍රශ්නයක් වන්නේ නැහැ. චීවරය නිසා බන්ධනාගාරගත කරන්න එපා කියලා ඉල්ලන්නත් බැහැ.



එහෙත් මා දන්නේ නැහැ බන්ධනාගාරයේ දී ජම්පර් ඇඳීම නීතියක් ද කියා. එය නීතියක් නොව හුදෙක් සම්ප්‍රදායක් නම් උන්වහන්සේට ජම්පර් නොඅන්දන ලෙස ඉල්ලන්න පුළුවන්. නීතියක් වුණත් ඒ නීතිය හාමුදුරුවරුන්ට බල නොපාන ආකාරයට වෙනස් කරන්න පුළුවන්. චීවරය ගැලවීම කියන එක බරපතල ක්‍රියාවක්. එය හාමුදුරුවන්ගෙ නිකායෙන් කළ යුතු දෙයක්. ඒ අයිතිය බන්ධනාගාර කොමසාරිස්ට දෙන එක වැරදියි. රටේ නීතිය අනුව හාමුදුරුවරුන් සිරගත කෙරුණත් බන්ධනාගාරයේ දී උන්වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන සිතා බැලිය යුතුයි.



මේ ටික ලියූ නිසා මගේ සිංහල බෞද්ධකම ගලවා දැමීමට බොහෝ දෙනා ඉදිරිපත් වන බව මා දන්නවා.