History

Sunday, 24 June 2018

මුතුකුඩ ගැන අදහස් කිහිපයක්


මුතුකුඩ ගැන අදහස් කිහිපයක්



මේ මුතුකුඩ ටෙලි නාට්‍යය ගැන විචාරයක් නොවෙයි. මා කලක සිට නාට්‍ය, සිනමාව, නවකතා කෙටිකතා විචාරය කරන්නේ නැහැ. කවුද මාධ්‍ය කරුවකු කියලා තිබුණා මා චිත්‍රපටි විචාරය කරන්නෙ ඒ නොබලා කියලා. ඒ ඔහුගේ දැනුම. මෙහි සඳහන් වන්නේ මුතුකුඩ නාට්‍යයේ සමහර කොටස් නැරඹීමෙන් පසු මගේ හිතට ආ අදහස් ටිකක් පමණයි. ඒ නාට්‍යයේ මුල කොටස් බොහොමයක් මා නරඹා නැහැ. ඉන්පසුත් සමහර කොටස් මට මගඇරුණා.




කේ බී හේරත් මගේ මිත්‍රයකු නොවෙයි. මට මතක හැටියට ඔහු වරක් අපේ ගෙදර පැමිණ තිබෙනවා. එහෙත් ඉන්පසු ඔහු ආවේ නැහැ. ඒ මක්නිසා ද කියා මා දන්නේ නැහැ. 1987-89 භිෂණ සමයෙන් පසු විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ සතිපතා නාට්‍ය පෙන්වීමට අප කටයුතු කළා. එදිරිවීර සරච්චන්ද්‍ර ගැන මා ඒ දිනවල බොහෝ දේ දැනගත්තා. අපට පොලීසි යන්න සිදු වුණා ජී එල් පීරිස්ටත් මතක ඇති. උදයසිරි වික්‍රමරත්නගෙන් අහන්න. ඔහු ඒ දවස්වල නාට්‍ය ගැටයෙක්. ඒ නාට්‍ය සංදර්ශනයට එක් සතියක හේරත්ගේ නාට්‍යයක් පෙන්නුවා. එදාත් මට ඔහු හමුවුණා. ඒ හැරෙන්න ඔහු හමුවෙලා නැහැ.



හේරත් මා දන්නා තරමින් හොඳ නාට්‍ය කාරයෙක්. ඔහුට යම් ජාතිකත්වයක් තියෙනවා. මගේ නිර්ණායක ඊනියා විශ්වීය නිර්ණායක නොවෙයි. සිංහල නාට්‍ය ගැන මා කියන්නේ ජාතිකත්ව පැත්තෙන්. මේ නාට්‍ය සිංහල නාට්‍ය කියන එක වැරදි කියා පඬියන් කියන්න පුළුවන්. ඇත්තේ නාට්‍ය පමණක් බව ඔවුන් කියාවි. ඒ කව් ඇන්ඩ් ගේට් පඬියන්. මෙරට හිටි හොඳම නාට්‍ය කරුවා ලෙස මා සලකන්නේ දයානන්ද ගුණවර්ධන. ජයලත් මනෝරත්නත් හොඳයි. ඒත් මේ ඔක්කොම බයයි. ඔවුන් ක්‍රිස්තියානි සංස්කෘතියට ක්‍රිස්තියානි නාට්‍ය විචාරයට බයයි. ඔවුන්ගේ නාට්‍යවල යම් ජාතිකත්වයක් තිබුණත් ඔවුන් තම නාට්‍ය ගැන ජාතිකත්ව පැත්තෙන් කතා කරන්න බයයි. මෙරට ඇති යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයේ තරමයි ඉන් කියැවෙන්නේ.



මුතුකුඩ නාට්‍යයෙන් කියැවෙන්නේ මේ සංස්කෘතික ආධිපත්‍යයේ එක් හන්දියක්. වංගුවක් නූනත් වංගු ගැහීමේ ආරම්භය. රජකමට ඊනියා රාජකීයයන් හොයන්න ගිහිල්ල කරගත්ත විනාශයක්. ඒ වඩිග කුමරුවන් සිංහල රජවරුන් කිරීමෙන්. වඩිගයන් තම සංස්කෘතිය සෙංකඩගල නිළමෙලාට පැටෙව්වා. ඔවුන්ගේ ගෙවල් වලව් වුණා. වලව් කියන්නෙ වඩිගයන් ගෙවල්වලට කිව් නම. බංගලාව කියන්නෙ ලන්දේසීන් තනි තට්ටුවේ ගෙවල්වලට කී නම. අද තට්ටු දෙකේ තුනේ ගෙවලුත් බංගලා වෙලා. සමහර නිළමෙළා දෙමළෙන් අත්සන් කළා.



ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංගිිසින්ට විරුද්ධව සටන් කළත් කෘර රජෙක්. ගණනාථට නම් ඔහු ගැන කරුණාවක් තියෙන බව පේනවා. සිංහලයන්ට විරුද්ධව ඕනෑම දෙයක් කරන ඕනෑම අයකුට පඬියන්ගේ කරුණාව ලැබෙනවා. සෙංකඩගල නිළමෙළාට අවශ්‍ය වුණා ශ්‍රී වික්‍රම රාජසිංහ ඉවත් කරන්න. අද අපට රනිල් ඉවත් කරන්න අවශ්‍ය වගේ. එහෙත් නිලමෙළා අතර එක මතයක් තිබුණේ නැහැ. රාජසිංහගෙන් පස්සෙ රජු කවුද කියන ප්‍රශ්නය බලවත් වුණා. සෙංකඩගල නිළමෙලා එකට හිටියා නම් ශ්‍රී වික්‍රම එළවන්න තිබුණා. රනිල් ඉවත් කරගන්න තවමත් බැරි ඇයි?



නිළමෙළා පිටින්, සියමෙන් බුරුමයෙන් කුමාරවරුන් ගෙන එන්න සූදානම් වුණා. ඒ අසාර්ථක වුණා. ඇහැළෙපොළ ඉංගිරිසින්ගෙ ආධාර පැතුවා. ඉංගිරිසින් ඔහු සෙංකඩගල පාලකයා (රජු නොවෙයි) කරන්න පොරොන්දු වුණා. ඇහැළෙපොළ නිළමෙ ඉංගිරිසින් විශ්වාස කළා. එහෙත් ඉංගිරිසින් අහැළෙපොළ නිළමෙ රැවටුවා. නිළමෙළා එක් අයකු දෙන්නකු ඇරෙන්න 1815 සිංහල ඉංගිරිසි උඩරට ගිවිසුම අත්සන් කළා. සමහරු දෙමළෙන් අත්සන් කළා. සරත් වීරසේකරයි ජානක බණ්ඩාරයි හැර දියවන්නාවෙ නිළමෙවරු දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන්නා.



ගිවිසුම අත්සන් කරලා මාස දෙකෙන් ඉංගිරිසින්ට විරුද්ධව නිදහස් සටනක් සංවිධානය වුණා. 1817-18 ඉංගිරිසින්ට විරුද්ධව පළමු නිදහස් සටන වෙල්ලස්සෙන් ඇරඹුණා. එය දිනන්න ඔන්න මෙන්න කියලා තිබුණෙ. එහෙත් මොල්ලිගොඩලා එක්නැලිගොඩලා සුද්දන්ට පක්‍ෂපාතීව සිංහලයන්ට විරුද්ධ වීම නිසාත්, සෙංකඩගල නිළමෙළා අතර විරසක ඇති වීම නිසාත් මුස්ලිමුන් කිහිප දෙනකු හැර අනෙක් මුස්ලිමුන් සුද්දන්ගෙ පැත්ත ගත්ත නිසාත් 1818 සටන පැරදුණා. 1815න් පස්සෙ මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නැහැ. සිංහල නීතියක් නැහැ. ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. සිංහල නායකයන් තමන්ගෙ රට නිදහස් කිරීමට සටන් කිරීම සුද්දන්ගෙ නීතිය අනුව වැරුද්දක් වුණා. කැප්පටිපොළ නිළමෙ සහ තවත් නිළමෙවරුන් මරා දැමුණා. අප මෙය හරිහැටි තේරුම් ගත් බවක් පේන්න නැහැ. තමන්ගෙ රටේ නිදහස වෙනුවෙන් සටන් කිරීම වරදක් වන්නේ කිනම් නීතියකට අනුවද ඒ නීතිය මෙරටට ගැලපෙනවා ද? මේ නායකයන් ද්‍රෝහීන් බවට සුද්දන්ගෙ නීතිය යටතෙ තීරණය වුණා. මහින්ද රාජපක්‍ෂ විධායක බලතල යොදලා ඒ නායකයන්ගෙ ඊනියා ද්‍රෝහීත්වය අහෝසි කළා. එය විධායක ජනාධිපති බලතලවලින් කෙරුණු එක් මෙහෙයක්.   



මුතුකුඩ මැණිකෙත් තවත් මැණිකෙලාත් අනාථ වුණා. ඒ හැමටමත් වැඩිය කැප්පටිපොළ ආර්යාවට (දැන් ආර්යාව කියල නම් කෙරෙන අය දැක්කම ඒ මැණිකෙලාට ආර්යාව කියන එක හරි නැහැ කියලත් හිතෙනවා. කව් ඇන්ඩ් ගේට් පඬියකු කියන්න බැරි නැහැ මට තියෙන්නෙ වැඩවසම් මානසිකත්වයක් කියලා) එක්නැලිගොඩගත් එක්ක දිග කන්න සිදුවුණා ඒ තමන්ගෙ පුතා රැකගන්න. පුතුන් වෙනුවෙන් මව්වරුන් නොකරන්නෙ මොනව ද? ඒත් ඒ පුතා මිය යනවා. මිය යන්නෙ සුද්දො මේ රටේ ආරම්භ කරපු පාසලක දි.



මෙය හරිම සංකේතාත්මකයි. කේ බී හේරත්ටත් එය ඒ ආකාරයෙන් ම සංවේදී වුණා ද කියා මා දන්නේ නැහැ. සුද්දන් මෙරට පාසල් පිහිටෙව්වෙ ඔවුන්ගෙ දැනුම සංස්කෘතිය අපට දෙන්න. සුද්දන් කැප්පෙටිපොළ නිළමෙගෙ පුතා අරන් යනවා ඔහුගෙ සංස්කෘතිය වෙනස් කරන්න. ඒ කියන්නෙ ඔහු මරා දාන්න. කැප්පටිපොළ නිළමෙගෙ පුතා ශාරීරික ව මිය ගියා. අප බොහෝ දෙනකු ආධ්‍යාත්මික ව මිය ගියා. අද ඉන්න මහා වෘත්තියකයන් සියළු දෙනා ම පාහේ ආධ්‍යාත්මික ව මිය ගිය ඕජස් ගලන ඇවිදින මළකඳන්. සුද්දන් ඔවුන් මරා දාල හුඟක් කල්.



ඉතිරි නිළමෙළා එකතු වී අවුරුදු හතරකට පස්සෙ නැවත සටනක් ආරම්භ කරන්න රැස්වුණු වෙලාවෙ සුද්දන්ට ලැබුණු ඔත්තුවක් (සිංහලයකු දුන්න වෙන්නත් පුළුවන්) අනුව ඔවුන් වටළලා සිරභාරයට ගැණුනා. ඔවුනුත් අර නීතිය යටතේ වරදකරුවන් වී මුරුසියට පිටමං කෙරුණා. මේක පුදුම නීතියක් පුදුම දැනුමක් පුදුම අධ්‍යාපනයක් කියලාත්, අපේ විරසක මෝඩකම් නිසා 1818 දි අප පැරදුණ කියලාත්, මුතුකුඩ බැලුවට පස්සෙවත් හිතෙන්නෙ නැද්ද? අර ගණිත  ගුරුයි ටිකිරි නිළමෙයි පමණක් ඉතිරි වෙලා. ඔවුන් ඊළඟ සටනට සූදානම් වෙනවා. ඒකත් පැරදෙනව. මේ හැම සටනක ම හාමුදුරුවරු සිටි බවත් උන්වහන්සේගේ බණ මෙන් ම අණ ද සිංහලයන්ට ලැබුණු බවත් අපට අමතක කරන්න බැහැ.



අවසානයේ අහන්න තියෙන්නෙ ප්‍රශ්න දෙකයි. අප 2018ත් පරදිනවා ද? රනිල් ඉවත් කරන්නේ කවදා ද?