History

Wednesday, 25 July 2018

විග්නේස්වරන්ගෙ ඉතිහාසය 1


විග්නේස්වරන්ගෙ ඉතිහාසය 1



කුමාරස්වාමි විසුවලිංගම් විග්නේස්වරන් ඉතිහාසය ගැන කියන්නේ පැරණි කතා. මේ කතා ප්‍රතික්‍ෂෙප වී බොහෝ කල් ගත වී ඇති නමුත් තවමත් සමහරු ඒ පුනරුච්චාරණය කරනු දකින්න පුළුවන්. මේ ඉතිහාසයට අනුව මෙරට මුල් පදිංචිකරුවන් දෙමළ. ඒ කියන්නේ අවුරුදු දෙදහස් පන්සියකටත් පෙර. ඊට පසු සිංහලයන් මෙරටට පැමිණ තියෙනවා. එහෙත් සිංහලයන් පැමිණෙන්න ඔවුන් වෙනත් රටක ඉන්න ඕන. එහෙම දෙයක් කිසිවකුටවත් පෙන්නන්න බැහැ. දෙමළ නම් අඩුම තරමෙන් තමිල්නාඩුවෙ ඉන්නවා. සිංහලයන් අඩුම තරමෙන් වංගයේවත් (බෙංගාලයේ) නැහැ. විග්නේස්වරන්ගේ සාකච්ඡාවෙ කියන්නෙත් සිංහලයන් ඉපදෙන්නටත් පෙර දෙමළ ජනයා හිටි බවයි. මෙහි ඉපදෙන්න කියලා කියන්නෙ ආරම්භය කියන එක බව පැහැදිලියි. විග්නේස්වරන්ට අනුව සිංහල ජාතියෙ ආරම්භය ක්‍රී ව හයවැනි සියවසේ පමණ. ඒ කියන්නෙ මහාවංසෙ ලිව්වටත් පස්සෙ!




තවත් සමහරු ඒ කාලෙ කිව්ව දෙයක් තමයි දේවානම්පිය තිස්සත් දෙමළ බව. ඔහු දේවානම්පිය තීෂම් කියලා. මිහිඳු හාමුදුරුවන්ගෙන් පස්සෙ පාළි භාෂාව එකතු වෙලා සිංහල හැදුණ කියලා. මේවට පිළිතුරු දෙන්නවත් වටින ඒව නොවෙයි. හෙළ අටුවා ගැන ඉතිහාසයෙ කියැවෙනවා. ඒ හෙළ බස කුමක් ද? හෙළ අටුවා පාළියට පරිවර්තනය වුණෙ බොහොම කාලෙකට පස්සෙ පස්වැනි සියවසේ. දේවානම්පිය කියන වචනෙට දෙමළ නිරුක්ති නැහැ. තවත් වැදගත් කරුණක් තමයි තිස්සලා හිටියත් තීෂම්ලා නැති බවත් අශෝක රජුටත් දේවානම්පිය නම භාවිතා කළ බවත්.



විග්නේස්වරන් කිව්වට ඉන්දු ලංකා ගිවිසුමේ තියෙන්නෙ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ සාම්ප්‍රදායික වාසභූමි කියලා මිසක් නිජභූමි කියලා නෙවෙයි. කොහොමටත් ඒ පළාත් ඊනියා දෙමළ සාම්ප්‍රදායික වාසභූමිවත් නොවෙයි. ඒ වචන ජේ ආර්ගෙ නිවට කමට ඉන්දු ලංකා ගිවිසුමට ඇතුළත් කරපු ඒවා. ඉන්දු ලංකා ගිවිසුම කිසිම ඓතිහාසික පදනමක් මත ලිව්ව එකක් නොවෙයි. ඒ මත ඉඳගෙන තර්ක කරන්න බැහැ. අනෙක අප කාලෙකට ඉස්සර පෙන්නලා දීපු අන්දමට ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අනුව කටයුතු නොකර ඇති බැවින් එය අවලංගු බව.



උතුරු හා නැගෙනහිර පළාත් දෙක ඇතිවුණෙ ඉංගිරිසින්1889 දි ලංකාව පළාත් නවයකට බෙදපු වෙලාවෙ. ඉංගිරිසින් මුලින් ම ලංකාව බෙදල තිබුණෙ පළාත් පහකට. එහි දී උතුරු මැද පළාතක් තිබුණෙ නැහැ. අනුරාධපුරය අයිති වුණෙ උතුරු පළාතට. බැරිවෙලාවත් පළාත් පහ ඒ විධියට ම තිබුණ නම් අනුරාධපුරයත් දෙමළ සාම්ප්‍රදායික වාසභූමියක් වෙන්න තිබුණා. සුද්දො බෙදපු පළාත් අනුව ද දෙමළ කතාකරන ජනයා පදිංචි වෙලා තියෙන්නෙ.



හැබැයි ඒකෙ පොඩි ඇත්තක් තියෙනවා. නැගෙනහිර පළාතෙ දෙමළ කතාකරන ජනයා පදිංචි කෙරුවෙ නම් ඉංගිරිසින් තමයි. ඒ සෙනරත් රජ්ජුරවො මුස්ලිමුන් රුහුණෙ පදිංචි කරලා බොහෝ කලක් ගියාට පස්සෙ. ඉංගිරිසින් ගෙනා දෙමළ කතාකරන ජනයා පදිංචි කෙරුවෙ මුස්ලිමුන් නොසිටි ප්‍රදේශවල. ඒ නිසා තමයි නැගෙනහිර පළාතෙ ජනගහන ව්‍යාප්තියට පිට්ටු බම්බු ව්‍යාප්තියක් කියලා කියන්නෙ. පොල් පිටි පොල් පිටි වගේ මුස්ලිම් දෙමළ මුස්ලිම් දෙමළ විසිරිලා තියෙන්නෙ.



උතුරු පළාතෙ දෙමළ කතාකරන ජනගහනය 1650ට පැරණි නැහැ. ඒ අය ලන්දේසීන් ගෙනා වෙල්ලාලයන්ගෙන් හා දෙමළ සංස්කෘතියට අවශෝෂණය කෙරුණු සිංහලයන්ගෙන් පැවත එන්නෙ. විග්නේස්වරන්ගෙ දෙමව්පියන් මනිපෙයි ප්‍රදේශයේ. පියා රජයේ නිලධාරියකු නිසා තැනින් තැන ගිහින් තියෙනවා. විග්නේස්වරන් ඉපදිලා තියෙන්නෙ අලුත්කඩේ. ඔහු කුඩා කාලයෙ අනුරාධපුරේ කන්‍යාරාමයක ඉගෙනගත් බව කියැවෙනවා. පස්සෙ අවුරුදු එකොළහේ දී රාජකීය විදුගලට ඇතුළත් වෙලා. ඒ සියල්ලට ම වඩා වැදගත් ඔහුගෙ සීයා පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම්ගෙ ඥාති සොහොයුරෙක්. මේ අය ලංකාවට පැමිණිලා තියෙන්නෙ 1650න් පස්සෙ. පොන්නම්බලම් පවුල ගැන විස්තර කලකට ඉහත ජේම්ස් රත්නම් ලියලා තිබුණ. කාට හරි ඒ ලිපි කියවන්න පුළුවන්. නැත්නම් යාපනේ කච්චේරියට ගිහිල්ල තෝම්බු කියවලා දැනගන්න පුළුවන්.



ඒත් කාට හරි කියන්න පුළුවන් විග්නේස්වරන්ල එසේ පැමිණියත් ඒ වන විට මෙරට හිටපු දෙමළ සමාජයට ඔවුන් ඇතුළත් වුණ බවත් අප කතා කරන්නෙ දෙමළ කතාකරන ජනයා ගැන මිස පුද්ගලයකු වූ විග්නේස්වරන් ගැන නොවන බවත්. ඇත්ත, එහෙත් ප්‍රශ්නය මෙරට දෙමළ කතාකරන ජනගහනයත් ඊට පෙර නොවීම. යාපන විශ්වවිද්‍යාලයෙ පළමු ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල ලන්ඩන් විභ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට ඉදිරිපත් කළ නිබන්ධයෙ (මෙහි පිටපතක් මා සතුව තිබෙනවා) පැහැදිලිව සඳහන් කරනවා දොළොස්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන නොතිබූ බව. ඔහු පසුව ඕස්ත්‍රේලියාවෙ ඉන්න කොට තවත් පොතක් ලිව්ව (ඒ පොතත් මා සතුව තිබෙනවා) පළමු පොතේ කතා ප්‍රතික්‍ෂෙප කරමින්. විග්නේස්වරනුත් ඒ බව කියා තිබෙනවා. එහෙත් විග්නේස්වරන් නොකියන කතාව තමයි දෙවැනි පොත කොටින්ගේ බලපෑමට ලියූ බව.



යාපනයට පැමිණි ආර්යචක්‍රවර්තීන් කතාවත් බොහෝ වෙලාවට කියැවෙනවා. ඔවුන් කවුද කියන එක හරියට ම දන්නෙ නැහැ. සමහරුන්ට අනුව ඔවුන් පාණ්ඩ්‍ය. පාණ්ඩ්‍යයන් දෙමළ කතා කළත් සොළීන් නොවෙයි. දෙමළ කතාකරන කියන එකෙන් කියැවෙන්නෙ නැහැ දෙමළ ජනවර්ග කතාවක්. පාණ්ඩ්‍යයන් වෙල්ලාලයන් කරගන්න බැහැ. අනෙක් අතට පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විටත් යාපනයේ සිංහලයන් බහුතරය බව ක්වේරෝස් පවසනවා. ආර්යචක්‍රවර්ති රාජ්‍යය ගම්පොළට හරි කෝට්ටෙට හරි සිතාවකට හරි යටත් රාජ්‍යයක් ලෙස පවත්වාගෙන ගිය බවට සාක්‍ෂි තියෙනවා. ආර්යචක්‍රවර්තීන් තමන් යාපනේ රජු හැටියට කියා ගෙන තියෙන්නෙ සිංහල රජවරුන්ගෙන් අවසරය ලබා ගෙන.



එකල යාපනයෙ (නාගදීපයෙ) සිටි සිංහලයන්ට මොකද වුණෙ කියන ප්‍රශ්නය පැන නගිනවා. ඒ සිංහලයන් ඊනියා අඩුකුල දෙමළ ජනයා ලෙස 1650න් පසව දෙමළ සමාජයට ඇතුළත් කරගෙන. යාපනයේ බහුතරය ඔවුන්, ඒ කියන්නෙ ඊනියා අඩුකුල දෙමළ කතාකරන ජනයා. විග්නේස්වරන් කියන කොට දෙමළ හා සිංහල ජනයාගෙ ඩී එන් ඒ සමානකමක් තියෙන බව අප එය පිළිගන්නවා. එහෙත් අප ඔහුගෙ නිගමනය, එනම් සිංහලයන් යනු ද්‍රවිඩයන් බව අප පිළිගන්නේ නැහැ. ද්‍රවිඩ කියන්නෙ මොකක් ද කියන එක අපි පසුව කතා කරමු. විග්නේස්වරන් දැනගත යුතු කරුණක් නම් සිංහලයන්ගෙ හා වංගයන්ගෙ (බෙංගාලයෙ) ජාන සියයට හැත්තැපහක පමණ සමානත්වයක් තියෙන බව. ඒ කියන්නෙ යාපනයෙ දෙමළ ජනයාට වංගයන් සමගත් සම්බන්ධයක් තියෙනවා. මා හිතනවා යාපනයෙ බහුතර ජනයාගෙ ජාන තමිල්නාඩුවෙ දෙමළ ජනයාට වඩා බෙංගාලයෙ ජනයාට සමීප බව. විග්නේස්වරන්ගෙ ජාන නම් වඩා සමීප තමිල්නාඩු ජනයාට වෙන්න පුළුවන්. මා කියන්නෙ බහුතරය ගැන.



දෙමළ ඊනියා අඩුකුලයක් තමයි නලවාර් කියන එක. ඒ අය රා මදින්නන්. පුළුවන් නම් නලවාර් කියන එකට දෙමළෙන් නිරුක්ති දෙන්න. එයට සිංහල නිරුක්ති තියෙනවා. සිංහල රා මදින්නන් දැන් දෙමළ ඊනියා අඩුකුලයක් බවට පත්වෙලා. වෙල්ලාලයන් කියන්නෙ බ්‍රාහ්මණ වර්ණභේදයට අනුව ශුද්‍රයන්. ඔවුන් කෘෂිකාර්මික කම්කරුවන්. ලන්දේසීන් කෝරමණ්ඩල (චෝල මණ්ඩල) වෙරළෙන් වෙල්ලාලයන් දුම්කොළ වගාවට ලංකාවට ගෙනල්ල ඊනියා උසස් කුලයක් බවට පත් කළා. මා විග්නේස්වරන්ගෙන් අහන්න කැමතියි ලන්දේසින් දකුණු අප්‍රිකාවට ගෙන ගිය වෙල්ලාලයන් ද එහි නැටෝල් ප්‍රදේශයේ වැසියන් ද කියා. ඒ ප්‍රදේශයත් වෙල්ලාලයන්ගෙ නිජභූමියක් ද? (මතු සම්බන්ධයි)