History

Thursday, 19 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10



1948 දි අපට ඩොමීනියන් නිදහස ලැබෙන්න මාස කිහිපයකට ඉස්සෙල්ලා ඉන්දියාවටත් ඩොමීනියන් නිදහස ලැබුණා. ඒත් ඒ එතෙක් පැවති ඉංගිරිසි ඉන්දියාව දෙකඩ කරලා පකිස්ථානය කියල තවත් රටක් ඇති කරලා. ඒ ඉන්දියාවත් පකිස්ථානයත් වැඩිකල් යන්න ඉස්සෙල්ල ජනරජ බවට පත්වුණෙ ඉංගිරිසි රජු අයින් කරලා. ඔවුන් ජනරජ දින තමයි උත්සශ්‍රීයෙන් සමරන්නෙ. අපට ජනරජයක් වෙන්න අවුරුදු විසිහතරක් බලා ඉන්න වුණා. ජනරජයක් වෙලත් අපි ජනරජ දිනය අමතක කරලා. අඩු තරමෙන් එදාට නිවාඩුවක්වත් නැහැ. අපි තාමත් සමරන්නෙ ඩොමීනියන් නිදහස ලැබුණු දිනය.




ඉන්දියාව නිදහස ලබපු එක අපට තරමක තර්ජනයක් වුණා. ලංකාවට ඩොමීනියන් නිදහස ලැබෙන විට ඩී එස් සේනානායක ත්‍රිකුණාමලේ හා කටුනායක කඳවුරු ඉංගිරිසින්ට ම පැවරුවා. ඒ ඉන්දියාවෙන් තර්ජනයක් එල්ල වේය කියන බයත් එ ජා පක්‍ෂයේ බටහිර (ඉංගිරිසි) ගැති විදේශ ප්‍රතිපත්තියත් නිසා. ඉන්දියාව ගැන බය වෙන්න හේතුත් තිබුණා. ජවහර්ලාල් නේරු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවෙයි. ඔහු ඉන්දියාවේ ආධිපත්‍යය ගැන සිතූ ඉන්දිය වංසක්කාරයෙක්.



මට මතක හැටියට නේරු ලංකාවට පැමිණි දිනයක බණ්ඩාරනායක මහතාත් සමග ආහාර ගැනීමට ගිය අවස්ථාවක නේරු සාමාන්‍ය ජනතාවගෙන් වෙන් ව ආහාර ගැනීමට ඉල්ලා තියෙනවා. බණ්ඩාරනායකත් වරප්‍රසාද ලත් පවුලක ඉපදුණත් මට මතක හැටියට කියා තිබුණ ඒ අවස්ථාවේ දී ඔහු නේරුගේ රදළකම දුටුවා කියා. නේරු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අතර පසු කලෙක මවුන්ට්බැටන් ආණ්ඩුකාරයාගේ භාර්යාව සමග සම්බන්ධයක් තිබූ බවටත් කතා තියෙනවා. මා එයින් අදහස් කරන්නේ නේරු ඉංගිරිිසි සමාජයේ හැසිරුණු ආකාරයයි. ඔවුන් ඉංගිරිසින් සමග සම තත්වයෙ හිටියෙ.



නේරුගේ ඉන්දියාවට අධිපතිවාදී අභිලාෂ තිබුණා. ඉන්දියන් සාගරය යනු ඉන්දියාවේ සාගරය බවට පනික්කාර් නමැත්තාගේ ප්‍රවාදයක් තිබුණා. 1948 දී තිබූ ඉන්දියාවට වඩා අද ඉන්දියාව විශාලයි. ඇසෑමයක් අද නැහැ. බූතානය නමින් පමණක් නිදහස්. ඉන්දියාවේ සාගරයේ තිබූ ලංකාව ඇඳා ගැනීමට ඉන්දියාවට අපේක්‍ෂා තිබුණා. ඒ මදිවට වතුකරයේ ජනතාවක් හිටිය මැත දී ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ලද. ඔවුන් 1947 දී මැතිවරණයට තරග කෙළේ ලංකා ඉන්දීය කොංග්‍රසය ලෙස. ඔවුන්ගේ නායක තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසය ඔවුන්ගේ වෘත්තීය සමිතිය ලෙස සකස් කළා. එහි ධජය ඉන්දියාවේ ධජය.



ඩී එස් සේනානායක මේ අයට බය වුණා. 1947 මැතිවරණය වන විට ඉන්දියාවෙන් ගෙනා වතු කම්කරුවන්ට ලංකාවේ ඡන්ද බලය තිබුණා. 1947 මැතිවරණය පැවැත්වුවේ ලංකාව එංගලන්තයේ යටත්විජිතයක් ව පැවතිය දි. එකල ලංකාවේ ඡන්ද බලය තිබුණේ මෙරට රටවැසියන්ට නොව එංගලන්තයේ යටත්වැසියන්ට. අපේ දෙමවුපියන් 1947 දී ඡන්දය දී ඇත්තේ ඉංගිරිසි යටත්වැසියන් ලෙස. කලක් එංගලන්තය ඕස්ත්‍රේලියාව වැනි රටවලත් ඉංගිරිසි යටත්වැසියන්ට ඡන්දය තිබුණා. මාත් ඒ රටවල් දෙකේ ම පුරවැසියකු නොවී ඡන්දය දී තිබෙනවා. මා ඒ ගැන පසුව ලජ්ජා වුණා.



1948 ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසුව ලංකාවට සිද්ධවුණා තම රටවැසියන් නම් කරන්න. ඒ එදා වන තුරු රටවැසියන් කවුද කියා අර්ථදක්වා නොතිබූ නිසා. ඩී එස් සේනානායක ආණ්ඩුව රටවැසි පනතකින් ඉන්දියාවෙන් ආනයනය කළ කම්කරුවන් රටවැසියන් ලෙස නම් කෙළේ නැහැ. සේනානායක ආණ්ඩුවට කියන්න තිබුණා ඒ අය එංගලන්තයට ගෙනි යන්න කියා. ලංකාවට වතු කම්කරුවන් ගෙනාවෙ ඉංගිරිසින්. ඉඩි අමින් එසේ කළා. දැන් පඬියන් කියාවි අප ඉඩි අමින් ප්‍රතිපත්තිවලට ගරු කරනවා කියා. එහෙත් ඔහු එහි දී නිවැරදි ව ක්‍රියා කළා. ඒ උගන්ඩාව පැත්තෙන් බලලා. අද ට්‍රම්ප් කරන්නෙ මොකක් ද? ඔහු දරුවන් හා දෙමවුපියන් වෙන් කරන එක අනුමත නොකළත් ඔහු උත්සාහ කරන්නේ ඔහුගෙ රටේ රටවැසියන් නිර්වචනය කරන්න.



ඩී එස් සේනානායක වතු කම්කරුවන් එංගලන්තයට යැවුවෙ නැහැ. එබැවින් මෙරට රටක් නැති අයගෙ ප්‍රශ්නයක් ඇති වුණා. රටවැසියන් නොවන විශාල පිරිසක් මෙරට හිටියා. ඉන්දියාව ඔවුන් බාර ගත්තෙ නැහැ. ඔවුන්ට රටක් තිබුණෙ නැහැ. ඉන්දියාව ඔවුන් භාර ගත්තෙ නැති වුණත් ඔවුන් හරහා මෙරටට අත පොවන්න මගක් හදා ගත්ත. මේ අතර එකල ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් එන්නන් ද හිටියා. ඔවුන්ට ජනවහරෙ කියැවුණෙ කල්ලතෝනි කියා. ප්‍රශ්නය යම් තරමකට හරි නිරාකරණය කර ගන්න නේරුලා උපකාර කෙළේ නැහැ. අන්තිමට එය නිරාකරණය වුණෙ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන්, ලාල් බදුර් ශාස්ත්‍රි ඉන්දියාවෙ අගමැති වුණාට පස්සෙ.



1977 ජේ ආර් බලයට පත්වුණාට පස්සෙ තොණ්ඩමන් මැදිහත් වෙලා නැවතත් නේරු පවුලෙ බලපෑමෙන් සිරිමා ශාස්ත්‍රි ගිවිසුමට පටහැණිව ඉන්දීය වතු කම්කරුවන් තවත් පිරිසකට රටවැසිකම ලබා දුන්න. ජේ ආර් එයට සුපුරුදු කපටිකමින් භික්‍ෂූන් වහන්සේ නොමග යවා කැමැත්ත ලබා ගත්තා. අදත් තොණ්ඩමන් සිරසෙ මහාරාජලා මෙරට ක්‍රියාත්මක කරන්නෙ ඉන්දියාවට අවශ්‍ය ප්‍රතිපත්ති. මුරලිදරන් මේ ප්‍රවාහයට එක්වෙන්න යන බවක් පේනවා. ඔහුගෙ භාර්යාව ඉන්දීය.



මෙහි දී අප අමතක නොකළ යුතු කාරණයක් නම් ජී ජී පොන්නම්බලම් ඩී එස් සේනානායකගෙ රටවැසි පනතට පක්‍ෂව ඡන්දය දුන් බව. එයින් පැහැදිලි වෙන එක් කරුණක් නම් ඒ වන විටත් ඊනියා දෙමළ ජනවර්ගයක් මෙරට නොතිබූ බව. මෙරට එකල තිබුණේ දෙමළ කොටස් තුනක්.යාපනය, මඩකලපුව හා වතු යනුවෙන්.



අද ඇතැමුන් කියනවා වතු කම්කරුවන්ගෙ ඡන්ද අයිතිවාසිකම් නැති කිරීමත් එක් හේතුවක් වුණාය කියා චෙල්වනායගම්ට ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා වෙන ම රාජ්‍යයක් ඉල්ලීමට. පළමුවෙන් ම කිව යුත්තෙ වතු කම්කරුවන්ගෙ ඡන්ද අයිතිවාසිකම නැති වුණෙ නැති බව. ඔවුන් 1947 දී ඡන්දය දී තිබුණෙ ඉංගිරිසින්ගේ යටත්විජිතවැසියන් ලෙස. එකල රටවැසි පනතක් තිබුණෙ නැහැ. රටවැසි පනතෙන් වුණෙ රටවැසියා අර්ථදක්වන එක. එය ඕනෑම රාජ්‍යයක අයිතියක්. ලංකාව එවැනි පනතක් සම්මත කර ගත්තා. ඒ පනත අනුව වතු කම්කරුවන් රටවැසියන් ලෙස අර්ථදැක්වුණෙ නැහැ. රටවැසියන් නොවූ අයට ඡන්දය නැහැ. එපමණයි.



දෙවනුව වතු කම්කරුවන්ගෙ ප්‍රශ්නයත් වෙන ම රාජ්‍යයට අදාළ නම් චෙල්වනායගම් උතුරට හා නැගෙනහිරට පමණක් වෙන ම රාජ්‍යයක් ඉල්ලුවෙ ඇයි? ඔහු එක්කෝ වතු කම්කරුවන් තම අභිප්‍රාය මුදුන්පත් කර ගැනීමට යොදා ගත්තා. නැත්නම් අද ටිකක් හෙට හුඟක් යන ඔහුගේ ප්‍රතිපත්තිය යටතේ කඳුකරයත් ඊළමෙ කොටසක් බවට පත් කර ගැනීමට ඉටා ගෙන තිබුණා. කොහොමටත් ඉන්දියාව දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට මැදිහත් වීමට පටන් ගත්තා. අප අමතක නොකළ යුතු තවත් කරුණක් නම් චෙල්වනායගම් දකුණු ඉන්දීය පල්ලියේ බැතිමතකු වීම.