History

Monday, 2 July 2018

මෙරට වෘත්තීය අධ්‍යාපනය


මෙරට වෘත්තීය අධ්‍යාපනය



බොහෝ රටවල බටහිර වෛද්‍යවරුන්ට සමාජයේ වැදගත් කමක් ලැබෙනවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවෙ සමහර විට වෙනත් බොහෝ රටවලට වඩා වැදගත් කමක් ලැබෙනවා ඇති. ලංකාවේ බටහිර වෛද්‍යවරුන් විවිධ ක්‍රමවලින් තම ආධිපත්‍යය රැකගන්නවා. අනෙක් සෑම වෘත්තියක ම හා ශාස්ත්‍රීය කියන අධ්‍යාපනයෙහිත් පෞද්ගලික විශ්වවිද්‍යාල/අනුබද්ධ විශ්වවිද්‍යාල තිබෙන නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවන්න දෙන්නෙ නැහැ. ඒ සඳහා උපයෝගී කර ගන්නෙ බොහෝ විට ශාස්ත්‍ර පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ අතර තරුණ භික්‍ෂූන් වහන්සේ ද යොදා ගන්නවා. උන්වහන්සේලාත් ඉගෙන ගන්න විෂය සඳහා බාහිර උපාධි ආයතන හන්දියක් හන්දියක් ගානේ තියෙනවා.




බටහිර වෛද්‍ය විද්‍යාවට තරමට නැතත් ඉංජිනේරු නීතිඥ වෘත්තීන්ටත් සමාජයේ වැදගත් තැනක් තියෙනවා. කොහොමටත් මෙරට අධ්‍යාපනය යොමු වෙලා තියෙන්නෙ මේ වෘත්තීය අධ්‍යාපනයට. අද වන විට කළමනාකරණයට හා තොරතුරු තාක්‍ෂණයටත් වැදගත් තැනක් හිමිවෙලා. වෙනත් පීඨවල විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට හා පරිපාලන නිලධාරීන්ට හිමිවන්නේ ඊට වඩා පහළ තැනක්. මේ ධුරාවලියේ සාහිත්‍යකරුවන් කලාකරුවන් ද සමාජයේ වැදගත් තැනක් හිමිකර ගන්නවා. අද කතා නොකළත් උගත් භික්‍ෂූන් වහන්සේට රටේ පිළිගැනුමක් නැහැ. මෙරට දේශීය වෘත්තීය අධ්‍යාපනයට තැනක් නැහැ.  භික්‍ෂූන් වහන්සේ අතරෙන් ජනතාවගේ සැලකිල්ලට ලක්වන්නේ දේශපාලන ප්‍රකාශ නිකුත් කරන හාමුදුරුවරුන් පමණයි.



පරංගි පැමිණීමට පෙර මෙම ධුරාවලියේ ඉහළින් ම හිටියේ භික්‍ෂූන් වහන්සේ. රජුන්ට හා ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට උන්වහන්සේට හැකි වූවා. අද භික්‍ෂූන් වහන්සේ බැහැ දැකීමට දේශපාලනඥයන් ඇතැළු ගිහියන් ගියත් උන්වහන්සේගේ අණ බණ රකින අයකු හොයා ගැනීම අමාරුයි. මේ තත්වය උත්සන්න වෙන්න පටන් ගත්තේ නුවර යුගයේ වෙන්න පුළුවන්. පරංගි හා ලන්දේසීන් එයට මුල් වෙන්න ඇති. එහෙත් එය නුවර යුගයේ ගිහියන්ට හාමුදුරුවනේ හන්දුරුවනේ කීමත් සමග වෙනත් මගක් ගන්නට ඇති. මෙරට හාමුදුරුවන් හිටියේ රජුන්ට උඩින්. නුවර යුගයේ ඇතැම් ගිහියන්ට හාන්දුරු තත්වයක් ලැබී තියෙනවා.



ඉංගිරිසින් මෙය තවදුරටත් ගිහි ආධිපත්‍යයකට හැරෙව්වා. අධ්‍යාපනය රැකියා සඳහා ලබා දෙන්නක් බවට පත් කෙරුණු අතර පන්සල ක්‍රමයෙන් අධ්‍යාපනයෙන් ඈත් කෙරුණා. මෙරට තිබී ඇති බෞද්ධ අධ්‍යාපනය වෛදික අධ්‍යාපනයෙනුත් වෙනස්. අපේ අධ්‍යාපනය නිවන, එනම් නිවන් මග මත පදනම් වූවක්. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ සිංහල බෞද්ධ අධ්‍යාපනය වැට්ටවීමට.



ඒ සඳහා ඔවුන් මෙරට ඔවුන්ගේ ක්‍රමයේ  නිදහස් අධ්‍යාපනයක් ඇති කළා.නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ සුද්දන් යැයි කී විට සුපුරුදු පරිදි  මට බණීවි. එහෙත් කන්නන්ගර මහතා කෙළේ ඉංගිරිසි මාධ්‍යයෙන් දෙනු ලැබූ අධ්‍යාපනයට ද මුදල් අය නොකිරීමයි. මෙය කන්නන්ගර මහතා අවතක්සේරු කිරීමක් නො වෙයි. සිංහල මාධ්‍යයෙන් දෙනු ලැබූ අධ්‍යාපනය නොමිළේ දුන් එකක්. එපමණක් නොව පහළ පංතිවල එය අනිවාර්ය අධ්‍යාපනයක් වූවා. පාසල් නොපැමිණෙන ළමුන් ගැන සෙවීමට නඩුදාන මහත්තුරු පාසලට පැමිණියා.



සුද්දන් එතරම් උත්සාහයකින් අපට අධ්‍යාපනයක් ලබා දුන්නේ ප්‍රධාන වශයෙන් භික්‍ෂූන් වහන්සේගෙන් ලැබුණු අධ්‍යාපනයෙන් සිසුන් ඉවත් කිරීමට. ඔවුන් එය ඉතා සාර්ථක ව කළා. එය තවත් සාර්ථක වූයේ මෙරට ඊනියා වෘත්තීය අධ්‍යාපනය ඇරඹීමෙන් පසුව. අද වන විට එට සියයට සියයක් ම සාර්ථක වෙලා. ඉන්දියාව හා තවත් යටත් විජිතවල ඉංගිරිසින් විශ්වවිද්‍යාල ඇති කළ නමුත් ලංකාවේ ඇති කෙළේ බොහෝ පසුව. කොල්කතා, මුම්බායි හා වෙන්නායහි 1857 දී බටහිර විශ්වවිද්‍යාල ඇති කළ නමුත් ලංකාවේ මුලින් ම ඇති කෙළේ වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලයයි. ඒ 1880 දී පමණ.



මෙරට විශ්වවිද්‍යාල ආයතනයක් (යුනිවර්සිටි කොලේජ්) ඇති කෙළෙත් බොහෝ උද්ඝෝෂණවලින් පසුව1921 දී. තව අවුරුදු තුනකින් එහි සියවස් සැමරුම උත්සවශ්‍රීයෙන් පැවැත්වේවි. ඒ ආයතනය ආරම්භ කෙරුණේ අද කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පරිශ්‍රයේ හා කොලේජි හවුස් නමින් හැඳින්වෙන රෙජිනා වලව්වේ.  එවකට එහි තිබූ රාජකීය විදුහල අල්ලපු වත්තට ගෙන ගියා. අදත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයට ඇතුළුවන තැන ඵලකයක කොටා තිබෙනවා ඒ රාජකීය විදුහලේ ගොඩනැගිලි බවට.



පසු කලෙක 1942 දී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබූ අවස්ථාවේ වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් කෙරුණා. ඉංගිරිසින් ඩැකා විශ්වවිද්‍යාලයත් පිහිටෙව්වේ දහනවවැනි සියවසේ. ලංකාවේ ශාස්ත්‍රිය අධ්‍යාපනයක් දෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට මෙතරම් කල් ගියේ ඇයි? මෙය අප රටේ සාකච්ඡා නොවුණු ප්‍රශ්නයක්. එක් පැත්තකින් නඩුදාන මහත්තුරුන් පාසල් නොඑන සිසුන් ගැන සොයා බැලීමට පාසලින් පාසලට යද්දී එමගින් ඔවුන් කියන අන්දමට මෙරට ඊනියා සාක්‍ෂරතාව ඉහළ දමද්දී විශ්වවිද්‍යාලයක් ඇති කිරීම පමා කළේ ඇයි?



සුද්දන්ට අනුව මෙරට ශාස්ත්‍රීය අධ්‍යාපනයකට සුදුසු පිරිසක් නො වී ද? අපට ඊනියා වෘත්තීය පුහුණුවක් පමණක් ප්‍රමාණවත් වී ද? වෘත්තීය අධ්‍යාපනයට මෙරට ශාස්ත්‍රීය (විද්‍යාත් එයට ඇතුළත්) අධ්‍යාපනයට වඩා ඉහළ තත්වයක් දීමට ඉංගිරිසින් කටයුතු කෙළේ ඇයි. අදත් මෙරට උසස් පෙළ සිසුන් වඩාත් උත්සාහ කරන්නේ වෛද්‍ය ඉංජිනේරු කළමනාකාර තොරතුරු තාක්‍ෂණ නීති වෘත්තීන් සඳහා ඉගෙනීමට නො වේ ද? 1921 සිට අද දක්වා ඉංජිනේරු වෛද්‍ය පාඨමාලා අත්හැර විද්‍යා පාඨමාලාවලට බැඳුණු සිසුන් සංඛ්‍යාව කොපමණ වේ ද? මා හිතන්නේ එය දෙසියයක් පමණ බවයි.



එහෙත් එයින් කියන්නේ ඒ සිසුන් දෙසිය විද්‍යාඥයන් වූ බව නොවෙයි. මේ අධ්‍යාපනයෙන් චින්තකයන් බිහි නොකෙරෙන්නේ ඇයි? අද චින්තකයන් ලෙස ඊනියා දාර්ශනිකයන් ගණන් ගත යුතු යැයි මා කියන්නේ නැහැ. පිටරට විශ්වවිද්‍යාලවල දර්ශනය ඉගෙන ලංකාවට පැමිණි අය කාන්ට්ලා වන්න හැදුවත් බැහැ. සිංහල බෞද්ධ කිසිවකුටවත් අඩු තරමේ ඔවුන් ඉහළින් සලකන ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු (Fellow of the Royal Society, London)  වීමට හැකි වී නැහැ. අයින්ස්ටයින්ලා වීම පැත්තකින් තියන්න. අද විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්‍ෂණය උගන්වන ගුරුවරු විද්‍යා පීඨවලින් කැඩී වෙන ම පීඨ හදාගන්නවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පසුගිය දා එසේ සිදුවුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ සඳහා ස්වාධීන ආයතනයක් (පීඨයකට වඩා බලතල ඇති ස්කූල් නමින් හැඳින්වෙන්නක්) තියෙනවා. මා කොළඹින් අස්කිරීමට මේ ආයතනයේ වැඩ කටයුතු සෙවීමත් බලපෑවා.



අප අකර්මණ්‍ය ව පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැන් තිබෙන (FUTA) නමින් අසූවේ දශකයේ පිහිටුවද්දී වෛද්‍ය පීඨවල ආචාර්යවරුන්ට විශේෂ දීමනාවක් ලැබුණා. මා ආචාර්ය සමිති සමමේලනයේ සභාපති වී වැටුප් ව්‍යුහ සකස් කිරීමේ දී ඒ දීමනාව සියළු දෙනාට ම ලැබෙන අයුරින් කටයුතු කළා. එවකට රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනයේ ගුරුවරුන්ගේ සංගමයට හා සෞන්දර්ය විද්‍යාලයේ ගුරුවරුන්ගේ සංගමයට ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය දීමේ දී ඇතැමුන් විරුද්ධ වුණා. අපට ඒ විරුද්ධතාව පරාජය කිරීමට හැකි වුණා. මා මේ කරුණු සඳහන් කරන්නේ බටහිර වෘත්තීන්ට හා වෘත්තීය අධ්‍යාපනයට බටහිර ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා මෙරට ඇති වැදගත්කම ද මෙරට බෞද්ධ අධ්‍යාපනයට හා දේශීය වෘත්තීය අධ්‍යාපනයට ඇති අඩු සැලකිල්ල ද දැක්වීමටත්. පසුව මේ ගැන තවදුරටත් කතා කරමු.