History

Saturday, 21 July 2018

මෙය අතීත ආවර්ජනයක් ම නොවෙයි


මෙය අතීත ආවර්ජනයක් ම නොවෙයි



ටික කලකට පෙර සුමේධ වීරවර්ධන, චන්න ජයසුමන, චන්දිම අඹන්වෙල තමන්ගේ ජාතික ව්‍යාපාර අතීතය ගැන මෙනෙහි කරල තිබුණ. මට එලෙස මෙනෙහි කරන්න තරම් සොඳුරු අතීතයක් නැහැ. ඒත් මට ඇමරිකා එක්සත් රාජ්‍යයන්හි වෙසෙන අජිත් හේරත් කාලෙකට පස්සෙ මුණ ගැසුණා. ඒ වගේ ම නන්දන පෙරේරා සමග බොහෝ වෙලාවක් දුරකතනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉන් පස්සෙ මේ ටික ලියන්න හිතුණා. ඔවුන් දෙදෙනා සුමේධලා කතා කරන යුගයට වඩා අතීතයකට යනවා. මේ දෙදෙනා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ. අජිත් හේරත් මා අස්කරන විට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සංගමයේ සභාපති. එකල එහි ලේකම් වුණේ අද දෙරණ ප්‍රධාන විධායක නිලධාරි මාධව මඩවල. මා කොළඹ හිටියේ 1979 සිට 1992 දක්වා. 1983 සිට 1992 දක්වා තමයි මට මතක හැටියට ගවේෂකයො සංවිධානය ක්‍රියාත්මක වුණේ. ඒ අවුරුදු දහය කාලයෙහි කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටි අය තමයි නන්දනගෙ වචනවලින් නම් අද ලංකාව රන් කරන්නෙ. නැහැ ඔවුන් ලංකාව රත්තරන් කරනවා නොවෙයි. රට කරවනවා.


 

ඔවුන් දේශපාලන බලයක් අරගෙන නැහැ. එහෙත් රනිල් මහින්ද කියන දේශපාලන චරිත හැරුණු කොට එ අයට රටේ යම් තැනක් තියෙනවා. චම්පක හා රතන හිමි මොරටුවේ සහ පේරාදෙණියේ ඉගෙනුම ලැබුවත් කොළඹත් සමග කිට්ටුවෙන් වැඩ කළා. එකල විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය දේශපාලනයේ ක්‍රියාත්මක වුණෙ කණ්ඩායම් තුනක්. එකක් ජ වි පෙ අනෙක ජ වි පෙට විරුද්ධ ඊනියා වාමාංශික මත දැරූ ස්වාධීන ශිෂ්‍ය සංගම්. තුන්වැන්න ජාතිකවාදී කණ්ඩායම. කොළඹ ජාතිකවාදී කණාඩායම ඉතා බලවත් වුණා. පීඨ ශිෂ්‍ය සංගම්වල පමණක් නොව මහා ශිෂ්‍ය සංගමය ලෙස හැඳින්වුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේත් බලය ඔවුන්ට තිබුණා. අද නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණාරත්න පරණවිතාන එක් වසරක මහා ශිෂ්‍ය සංගමයේ සභාපති. මන්ත්‍රීවරයකු ව ආණ්ඩුකාරවරයකු තානාපතිවරයකු මහාභාරකාරයකු වූ ජානක බණ්ඩාරත් එකල කොළඹ ශිෂ්‍යයෙක්. ඔහු ජාතික ඇඳුමෙන් විශ්වවිද්‍යාලයට පැමිණි අතර පාවහන් පැළඳ සිටියේ නැහැ.



ගවේෂකයො පළමු සභාපති වුණෙ මගේ මතකය අනුව සුසිත් කියලා සිසුවෙක්. ඔහු අද කොහේ ඉන්නව ද කියා මා දන්නේ නැහැ. ගවේෂකයො සංවිධානයෙ වැඩට බොහොම කැප වීමෙන් වැඩ කළ අයකු වූයේ ගෙවිඳු කුමාරතුංග. ඔහු පසුව චින්තන පර්ෂදයේ ද ඉතා විශාල වැඩ කොටසක් කළා. අද එක්සත් රාජ්‍යවල ඉන්න නන්දන පෙරේරා, අජිත්ලා හා මාධවලාට පස්සෙ විද්‍යා ශිෂ්‍ය සංගමයෙ කටයුතු කළා. එකල නීති පීඨ ශිෂ්‍ය සංගමයෙ ප්‍රධාන චරිතයක් වුණෙ අද දෙරණ සභාපති දිලිත් ජයවීර. ඔහුට ජ වි පෙරමුණෙන් ජීවිත තර්ජන තිබුණා. අද චම්පක සමග ඉන්න රොෂාන් මාලක ආදීන් විද්‍යා ශිෂ්‍ය සංගමයෙ මහා ශිෂ්‍ය සංගමයෙ සභාපතිල වුණා.



අද ජාතිකවාදීන් නොවුණත් බැසිල් සමග සිටින ජගත් වැල්ලවත්ත ධම්ම දිසානායක එදා සිටියෙත් ජාතිකවාදීන් සමග නොවෙයි. ඔවුන් ගණු දෙනු කෙළේ වමා ලෙස හැඳින්වුණු නිර්මාල් දේවසිරි සහ වෙනත් අය සමග. ගෝඨාභය සමග දිලිත් ඉන්න බව කවුරුත් දන්නවා. මහින්ද හැර මොන රාජපක්‍ෂ බලයට ආවත් කොළඹ අය තමයි බලයෙ ඉන්නෙ. මේ කිසිවකුටවත් මහින්දට කිට්ටු වෙන්න බැරි වුණු එකෙන් පේන්නෙ මහින්දගෙ ශූරකම. විස්ස සම්මත වුණොත් ජනාධිපතිකම ගැන කතා කරලා ඉවරයි. මහින්ද දහනවේටත් ඡන්දෙ දුන්නා. ජානක බණ්ඩාර දහනවේට ඡන්දය දෙන්නෙ නැතිව ගෙදර ගියා. ඔහු තමයි තරමක් හරි මහින්දට කිට්ටුවෙන් හිටියෙ.



දයාසිරි ජයසේකරත් එකල නීති පීඨයෙ සිසුවෙක්. ඔහුට එකල ද ගායන හැකියාවක් තිබුණා. ඔහු දිලිත් හා මාධවගෙ දෙරණේ මා නොවන මම වැඩ සටහනකට සහභාගි වුණා ද කියා මා දන්නේ නැහැ. එකල විද්‍යා පීඨයේ කැපී පෙනෙන චරිතයක් වුණෙ අනුප පැස්කුවල්. ඔහු දේශපාලනයට ආවෙ නැත්තෙ මොකද කියන එක මට ප්‍රශ්නයක්. ඔහුට මතුගම හොඳ පදනමක් ද තිබුණා. මොරටුවෙ හිටපු දෙදෙනෙකු තමයි සංජීව විජේසිංහ හා කපිල පීරිස්. ගවේෂකයො සිසුන් වරක් අනුරාධපුරේ චාරිකාවක යෙදුණ විට ඔවුන්  ද එයට එක්වුණා. 



කොළඹ විශ්වවිද්‍යාලයෙ බොහෝ ගුරුවරු හිතන් හිටියෙ ජාතිකවාදී ශිෂ්‍ය කණ්ඩායම මෙහෙයවුවේ මා කියලා. ඒ කණ්ඩායම හැඳින්වුණෙත් ජාතික චින්තන කණ්ඩායම කියලා. ජාතික චින්තනය මගේ අදහසක් නොවෙයි. එය ගුණදාස අමරසේකර බටහිර ලේඛකයකුගෙන් ගත් අදහසක්. ඒත් මාවත් ඒ ගොඩට දාල තිබුණා. ඒ වුණත් මා අස්කරපු වෙලාවෙ මහා ශිෂ්‍ය සංගමයේත් විද්‍යා ශිෂ්‍ය සංගමයේත් බලයේ හිටියෙ ජාතික චින්තන කණ්ඩායම වුණත් ඔවුන් ක්‍රියාකාරීව හිටියෙ එවකට උපකුලපති ජී එල් පීරිස් සමග. ඔවුන් මා අස් කිරීමට විරුද්ධව පෝස්ටර අලවන්න ඇති. ඒත් එහි තවත් දේ වුණු බව මා දැන් දන්නවා. දහඅවුරුද්දක් ගවේෂකයො සාකච්ඡා සෑම සතියක ම බදාදා දිනවල මෙහෙය වූ මට දහඅවුරුද්දක් රැකියාවක් නැතිව ගෙදර ඉන්න සිද්ධ වුණා.



මා අස්කිරීමට ක්‍ෂණික හේතුව වූයේ විද්‍යා පීඨ ශිෂ්‍යයන්ගේ විභාග ප්‍රශ්නයක්. භීෂණයෙන් පසුව විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමේදී ඔවුන්ට කඩිනම් පාඨමාලාවක් අනුගමනය කරන්නත් නව නිර්ණායක අනුව විභාගවලටත් පෙනී හිටීමට නියම වුණා. එයට ශිෂ්‍යයන් විරුද්ධ වුණා. ඔවුන් පැරණි නිර්ණායකවලට යන ලෙස ඉල්ලුවා. මා ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වෙනුවෙන් කටයුතු කළා. ශිෂ්‍යයන් බැරිම තැන උපවාසයක් කළා. ඇතැම් මහාචාර්යවරු ඒ අයගෙන් පසුව පළිගත්තා. ඒත් ඒ බාධක මැදත් ඔවුන්ගෙන් දෙදෙනකු කෙසේ නමුත් අද විශ්වවිද්‍යාල දෙකක ආචාර්යවරුන් ලෙස කටයුතු කරනවා. මේ උපවාසය බලන්න එස් බී දිසානායක, මංගල සමරවීර හා බර්ටි ප්‍රේමලාල් දිසානායක විශ්වවි්‍යාලයට පැමිණියා මට මතකයි. එකල ශ්‍රී ල නි ප නන්නත්තාරවෙලා හිටියෙ.



ඊට ටිකකට කලින් ප්‍රේමදාසගෙ ගමින් ගමට විශ්වවිද්‍යාල පිහිටුවීම තිබුණා. ඒවා ප්‍රා විශ්වවිද්‍යාල නමින් හැඳින්වුණෙ. ඒ සම්බන්ධ විවාදයක් කොළඹ පැවැත්වුණා. එයට මා සමග විවාදයට පැමිණියෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති චූ අර්ජුන අළුවිහාරෙ. කොහොම හරි ඒ භීෂණ දිනවල දවසක් මහා රෑ කුරුඳුවත්ත පොලිසියෙ ස්ථානාධිපති අප නිවසට පැමිණ ප්‍රා විශ්වවිද්‍යාල උද්ඝෝෂණ ගැන  කට උත්තරයක් ලබා ගත්ත. පසුදා ඔහු විසිපහක පමණ පොලිස් හමුදාවක් සමග ඒත් මධ්‍යම රාත්‍රියෙ අප නිවසට පැමිණ කට උත්තරයක් ගන්න කුරුඳුවත්ත පොලිසියට ගෙනි යන්න ඕන කිව්ව. මා කිව්ව ඊයෙ වගේ ගෙදර ඉඳන් කටඋත්තරය දෙන්නම් කියා. ඔවුන් ඊට කැමති වුණෙ නැහැ. සමහරවිට කටඋත්තරය හොඳට ගන්න වෙන්න ඇති. ඒත් ඔවුන් මා ගෙන ගියේ ඩී එස් සේනානායක විදුහල අසල එකල තිබුණු විමර්ශන අංශයකට. මගේ භාර්යාවත් එකල අවුරුදු දහහතක් පමණ වූ ලොකු පුතාත් කුරුඳුවත්ත පොලිසියට ගිහින් මා ඉන්නවාද කියා ඇසු විට නැහැ කියලා! වාසනාවකට මා ගෙනි යන්න කලින් දිනේෂ් ගුණවර්ධනට කතා කරලා කිව්ව මෙහෙම පොලීසියෙන් ගෙන යනව කියලා. ඔහු එකල උසස් අධ්‍යාපන ඇමති හමීඩ්ට කතා කරලා තිබුණා.



ඒ අතීතය එතරම් සොඳුරු නැහැ කියල මා කිව්වෙ මේ සිද්ධි නිසාවත් මා රැකියාවෙන් නෙරපූ නිසාවත් නොවෙයි. එදා ශිෂ්‍ය දේශපාලනයෙ හිටියෙ එක්කො මට පක්‍ෂ අය නැත්නම් විරුද්ධ අය. එදා පක්‍ෂ වූ අයගෙනුත් බොහොමයක් අද මට විරුද්ධයි. ජාතික ව්‍යාපාරයෙ තවමත් ඉන්න අයත් විරුද්ධයි. ඒ අතීතය සොඳුරු නැත්තෙ ඒකයි. අජිත් හේරත් හා නන්දන පෙරේරා නම් විරුද්ධ බවක් පෙනුනෙ නැහැ, එහෙත් නන්දන පෙරේරා තරමක් වල්මත් වී ඇති බවක් පෙනුනා. ඔහු ඩෙරීඩා කියවන්න හදල. කාන්ට් කියෙව්වද කියලා අහන්න බැරි වුණා. මා ඔහුට කිව්වා ඩෙරීඩාගෙ විසංයෝජනයත් (ඩිකන්ස්ට්‍රක්ෂන්) තවත් සංයෝජනයක් (කන්ස්ට්‍රකෂන්) පමණක් බව. ඒ කාලෙ හිටපු නලින් ස්වාරිස් කියල කතෝලික පූජකයකු වෙන්න ගිය කෙනකු ඩෙරීඩාගෙ විසංයෝජනය බුදුහාමුදුරුවන්ගෙ දහමත් එක්ක සංසන්දනය කරලා තිබුණා. ඒකෙන් ස්වාරිස් ඩෙරීඩාවත් බුදුහාමුදුරුවන්වවත් දන්නෙ නැති බව තේරුණා. අද බුදුදහම ගැන වැඩියෙන් ම කියවන්නෙ අබෞද්ධයන්. පඬියන් ඊනියා කියවීමක් කියලා කියන්නෙ කියවන එකට තමයි.