History

Thursday, 5 July 2018

ඉන්දියානුවන් හා ආසියාතිකයන්






ඉන්දියානුවන් හා ආසියාතිකයන්



මුළු ලෝකයේ ම දුඹුරු වර්ණ මිනිසුන් කී දෙනකු ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. එවැනි මිනිසුන් ඉන්නේ දකුණු ආසියාව ලෙස හැඳින්වෙන ඉන්දියාවේ හා අවට රටවල් කිහිපයක පමණයි. ඔවුන් කිහිප දෙනකු බටහිර රටවල ජීවත් වෙනවා. ඒත් බටහිර රටවල වෙනත් වර්ණවල මිනිසුන් ද ජීවත් වෙනවා. ඒ බටහිර රටවල් මුළු ලෝකය ම යටත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. ඔවුන්ගේ ආර්ථික යටත්විජිතවාදයට හා සංස්කෘතික යටත්විජිතවාදයට අනෙක් රටවල් සියල්ල යම් ප්‍රමාණයකට හරි ගොදුරු වෙලා. ඒ නිසා ම අද බටහිර නොවන රටවල ඇතැමුන් බටහිර රටවල පදිංචි වෙනවා.




ඒ අතර අර කැනේඩියානු උදාන කාව්‍යය ලියූ මනෝ වෛද්‍යවරයා ද ඉන්නවා. ඔහු බටහිරට දණ්ඩ නමස්කාර කරනවා. කැනඩාවේ වර්ණ භේදයක් නැතැයි ඔහු ඉංගිරිසියෙන් ම කියන්නේ ඉංගිරිසි කතාකරන ඇංග්ලො සැක්සන් ස්වාමිවරුන්ටත් දැන ගන්න වෙන්න පුළුවන්. ඒ උදාන කාව්‍යය ප්‍රංස බසිනුත් කිව්ව නම් අගෙයි. එවිට ඇත්ත බෝධිට ප්‍රංසෙනුත් අගය කරන්න තිබුණා. මට ඕන මේ මනෝ ව්‍යාධිකාරයන් ගැන ලියන්න නොවෙයි. ඒත් මා ඒ උදාන කාව්‍යය මෙය කියවන්නන්ගේ දැන ගැනීම පිණිස පළ කරනවා.



O Canada

My heart beats for thee

The land of beauty and tolerance

The nature’s elegant creation

Canada is White

Canada is Black

Canada is Yellow

Canada is Brown

Canada has the colors of the rainbow



කැනඩාවේ පමණක් නොව මුළු මහත් ඇමරිකා මහාද්වීප දෙකෙහි ම (උතුරු හා දකුණු) වර්ණ භේදයක් තියෙනවා. වර්ණ භේදය සංස්කෘතික භේදයක් ද වෙනවා. ඇමරිකා මහාද්වීපවල මුල් පදිංචි කරුවන් කවුද කියලා හරියට දන්නෙ නැහැ. එහෙත් අවුරුදු පන්සියකට පමණ පෙර යුරෝපීයයන් ඒ ප්‍රදේශයට පැමිණෙන කාලයෙහි එහි මිනිසුන් වාසය කළා. ඔවුන් අද ඇතැම් විට මුල් පදිංචිකරුවන් ලෙස හැඳින්වෙනවා. එහෙත් ඔවුන්ගේ මුල් උගුල්ලලා තියෙන්නෙ. කැනඩාව කොහොමද ඒ මුල් පදිංචිකරුවන්ගෙන් දරුවන් වෙන් කරලා තමන්ගෙ පාසල්වල හිරකරලා තිබ්බෙ කියන එක දැන් ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවෙත් පාසල් නේවාසිකාගාර කියන්නෙ එක් අතකින් හිරගෙවල්. ඒ හිරගෙවල්වල දෙමව්පියන්ගෙන් වෙන් කෙරුණු දරුවන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හුරු කරනවා. 



යුරෝපියයන් ඇමරිකා මහාද්වීපයට යන විට එහි පදිංචි වී සිටියෙ ආසියාවෙන් ගිය මිනිසුන්. එය කවදා වුණු දෙයක් ද ආසියාතිකයන් එහි යන විට වෙනත් මිනිසුන් එහි සිටියේ ද යන්න ආදිය ගැන නිශ්චිත අදහසක් නැහැ. ඒත් ඇමරිකා මහාද්වීප යුරෝපාකරණයට ලක් වීමට පෙර ආසියාතික මහාද්වීප. කොලම්බස් ඉන්දියාව හොයා ගන්න බටහිරට ගිය ගමනෙදි හම්බවෙලා තියෙන්න ආසියාතිකයන්. ඒ ආසියාතිකයන් රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වීම නම්  තරමක ප්‍රශ්නයක්.



මැගලන් ලෝ වටා යෑමට පෙර චීන ජාතිකයන් ලොව වටා ගොස් තිබෙනවා. කොහොමටත් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි නිදහස් දිනය වන ජූලි හතරවැනි දා පැවැත්වෙන මල් වෙඩි දර්ශනවල පත්තු වෙන්නෙ චීන වෙඩි. චීනුන් තමයි වෙඩි බෙහෙත් මෙන් ම මාලිමා යන්ත්‍රයත් මුද්‍රණ යන්ත්‍රත් ලොවට හඳුන්වා දුන්නෙ. එහෙත් ඔවුන් යටත්විජිත ගොඩනගා ගත්තෙ යුරෝපීයයන් වගේ නො වෙයි.



මා ප්‍රශ්න කරන්නෙ ආසියාතිකයන් යනු කවුද යන්නයි. ඇමරිකා මහාද්වීපවල ඉන්න මුල් පදිංචිකාරයන් ඉන්දිය නොවන ආසියාතික ලක්‍ෂණ පෙන්නුම් කරන්නෙ. ඔවුන් රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වීම ඒ නිසාත් වැරදියි. අද ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයත් ලංකාවත් බංග්ලාදේශයත් එක් කලෙක එක ම බිම් කඩක් විතරක් නො වෙයි, දුඹුරු වර්ණ සහිත ජනයාගේ භූමිය.  කලකට ඉහත ඒ ප්‍රදේශයට පර්සියාව පැත්තෙන වඩා සුදු හමක් ඇති මිනිසුන් පැමිණියා. ඔවුන් තම සංස්කෘතිය ඒ ප්‍රදේශය පුරා ප්‍රචලිත කළා. එය පූර්ණ සංස්කෘතික යටත්විජිතවාදයක් නොවුණත් ඒ යටත්විජිතවාදයෙහි ඇතැම් ලක්‍ෂණ තිබුණා. වර්ණ භේදය එසේ පර්සියාව පැත්තෙන් පැමිණි මිනිසුන් ඇති කළ දෙයක්.



මේ වර්ණභේදය හුදු වර්ණ භේදයක් ම වුණෙ නැහැ. ආර්යයන් යනු පර්සියාව පැත්තෙන් පැමිණි අයගෙන් ම පැවත එන්නන් නොවෙයි. වංග අංග ජනයා ද ආර්ය ගණයට අයත් කරගෙන තිබෙනවා. ආර්ය යන්න ඊනියා ජනවාර්ගික පදනමක් නැති එකක් බව පඬියන් කියන්නේ එබැවිනුයි. මේ දුඹුරු වර්ණ හමක් තියෙන ජනයා ගැන එතරම් අධ්‍යයනයක් කෙරිලා නැහැ. එක්කේ ඔවුන් ආර්යයන් ලෙස එහෙම නැතිනම් ද්‍රවිඩයන් ලෙස සැලකෙනවා. පර්සියාව පැත්තෙන් මිනිසුන් ඉන්දීය උපමහාද්වීපය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයට පැමිණීමට පෙර එහි මිනිසුන්ගේ සංස්කෘතිය කුමක් ද? ඔවුන්ගේ විශ්වාස කවරේ ද? ඊනියා ආර්ය ද්‍රවිඩ සංකල්පවලින් තොරව මේ ප්‍රශ්න සලකා බැලිය යුතුයි.



අද ඇමරිකා එක්සත් රාජ්‍යවල ආසියාතික ලෙස හැඳින්වෙන්නේ කහ හමක් ඇති අය. ඔවුන් ඉවෙන් මෙන් ආසියාතිකයන් හා ඉන්දියානුවන් වෙන් කරනවා. ආසියාවේත් ඉන්දියාවෙත් බුදුදහම තියෙනවා. ඒ සංස්කෘතීන්වල බුදු දහම මුසු වී ඇත්තේ දෙවිධියකට. හින්දු ආගමේ බුදුදහම මුසු වී තිබෙන ආකාරය චීන සංස්කෘතියට බුදු දහම මුසු වී ඇති ආකාරයට වෙනස්. සිංහල බුද්ධාගම ඉන්දීය හා ආසියාතික සංස්කෘතීන් දෙකෙන් ම වෙනස්.