සරසවි නැහැදිච්චකම
පේරාදෙණියේ හිල්ඩා ඔබේසේකර ශාලාව ඉදිරිපිට මෝටර් රථයක් නවතා
දුරකතනයෙන් කතා කරමින් සිටි බටහිර වෛද්‍යවරයකුට පේරාදෙණි ශිෂ්‍යයන් පිරිසක් පහර
දීලා. ඒ වෛද්‍යවරයාත් එම විශ්වවිද්‍යාලයෙහි ම ඉගෙන ගත් අයකු බවයි පැවසෙන්නෙ. මේ පහර දුන් ශිෂ්‍යයන් මොන පීඨයේ ද? ඔවුන් විශ්වවිද්‍යාලයේ සිටිය ද එහෙම නැත්නම්
ගලහ පාරේ ගමන් කරමින් හිටිය දී තම අණසකට යටත් නොවී රථයක් නවතා තිබෙනු දැක ඇත් ද?
මා මේ ප්‍රශ්න අසන්නේ මේ දිනවල විශ්වවිද්‍යාලයේ
ඇතැම් පීඨ වසා ඇති බව මගේ දැනුම නිසා. මගේ දැනුම වැරදි වෙන්න පුළුවන්.
මේ විශ්වවිද්‍යාලයීය උප සංස්කෘතිය කියලා කියනවා. මාත් මේ සංස්කෘතිය
කියන වචනය යොදා ගන්නවා. එහෙත් ඇතැමුන් සංස්කෘතිය කියන වචනය පාවිච්චි කරන්න කැමති
නැහැ. ඔවුන් එරික් ෆ්‍රොම් අනුව යමින් සභ්‍යත්වයක් ගැනත් සභ්‍යත්ව විඥානයක් ගැනත්
කතා කරනවා. ඒත් සැමුවෙල් හන්ටින්ග්ටන්ට අනුව ථෙරවාද සභ්‍යත්වයක් නැහැ. දැන් මේ අය
ෆ්‍රොම් මෙන් ම හන්ටින්ග්ටන් ද උපුටා දක්වනවා. ඔවුන්ට එහි පරස්පර පේන්නෙ නැහැ.
සරසවිවල තියෙන්නෙ උපසභ්‍යත්ව විඥාන ද? සභ්‍යත්ව සංකල්පය එහි දී යොදා ගන්නෙ කෙසේ ද? සංකල්ප ගැන අපට එතරම් සැලකිල්ලක් නැහැ.
මා සංකල්පවල එල්ලෙන්න කියනවා නො වෙයි. ඩේවිඩ් කලුපහන සාංකල්පීය අතීසාර ගැන මෙන් ම
සාංකල්පීය මලබද්ධ ගැනත් කතාකරනවා. ඒ කොහොම වුණත් අප කටයුතු කරන්නෙ බටහිර සාංකල්පීය
රාමුවල. ඒ නිසා අප සංකල්ප ගැන මෙයට වඩා සැලකිලිමත් වෙන්න ඕන.
සංස්කෘතිය යන වචනය වෙනුවට අප හැදිච්චකම නැත්නම් හැදියාව කියා යොදා
ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. සංස්කෘතිය යන වචනය මා අසා තිබෙන විධියට කල්චර්
කියන ඉංගිරිසි වචනයට ගුණපාල මලලසේකර මහතා තනා ගත් වචනයක්. සංස්කෘතිය වෙනුවට අප
හැදියාව හැදිච්චකම කියලා කිව්වොත් සරසවි ශිෂ්‍යයන් ගැන අපට කියන්න වෙන්නෙ මේ ඒ
ගොල්ලන්ගෙ නැහැදිච්චකම කියලා.
අවුරුදු හතළිස්හයකට පෙර මා හිල්ඩා ඔබේසේකර ශාලාව ඉදිරිපිට තිබෙන
ජේම්ස් පීරිස් ශාලාවෙ ශාලාධිපති. මටත් ඒ දවස්වල අවුරුදු විසිහතක් විතරයි. මා විවාහ
වෙලා අවුරුද්දයි. ශාලාවෙ ශිෂ්‍යයකු නුවර
ගිහින් එන අතර බසයේ අට පාස් කොන්දොස්තර සමග ආරවුලක් ඇති කර ගෙන. සිසුවාගේ අභිමානය
පළුදු වෙලා. ඔහු ශාලාවට ගොස් අනෙක්
සිසුන්ට තමන්ට වෙච්ච මදිපුංචිකම ගැන කියලා. සිසුන් කෝප වෙලා ගලහ පාරෙ ගමන් කරන බස්
රථවලට පහර දෙන්න පටන් ගෙන. තත්වය දුර දිග ගිහින් ගලහ පාරෙ බස් ගමනාගමනය නැවතිලා.
පොලීසිය ඇවිල්ල ආයුධ සන්නද්ධව. ඔවුන් ගලහ පාරෙ. ශිෂ්‍යයන් කඳු ගැටයෙ. ඔවුන්ට ගල්
පොලු හැරෙන්න ආයුධ නැහැ.
මේ සිද්ධිය වාර්තා වූ සැණින් මා එතැනට ගියා. පොලීසිය හරි ශිෂ්‍යයන්
හරි එක පියවරක් ඉදිරියට ගියොත් මහා භයානක තත්වයක් උද්ගත වෙන්න තිබුණා. පොලිසියේ
රාජකාරිය වුණෙ පාර විවෘත කරන එක. ශිෂ්‍යයන්ට තිබුණෙ නොහැදිච්චකම. මදිපුංචිකමක්
වුණා කියලා හිතන එක. ඒත් ඔවුන්ට අර අට පාස් බස් කොන්දොස්තර දැන් අමතකයි. ඔවුන්ට
දැන් අවශ්‍ය වුණෙ පොලීසිය යවා ගන්න පමණයි. පොලීසියටත් ඕනෙ වුණෙ සිද්ධියක් ඇති නොකර
ආපසු යන්න. මට ඒ බව තේරුණා
මා අද මෙන් ම එදත් තරුණයි. මගේ ආත්ම විශ්වාසය එහෙමමයි. ඒ මගේ නැහැදිච්චකම
වෙන්න පුළුවන්. මා සේවා ඛණ්ඩය භාර පොලිස් නිලධාරියට ගිහින් කිව්ව මා වගකීම
භාරගන්නවා පොලීසිය යන්න කියා. පොලීසිය මගේ කීම අහලා යන්න පිටත් වුණා! ශිෂ්‍යයන් හූ
කිව්වා. ඔවුන්ට ජයග්‍රහණයක් අත් වුණා වගේ. මා ශිෂ්‍යන්ට ගිහින් කිව්වා වහාම ශාලාවට
යන්න කියා. ඔවුන් හූ කියමින් ම ජේම්ස් පීරිස් කඳුගැටය අත්හැරලා කාමරවලට ගියා.
සරසවි ශිෂ්‍යයන් හිතන්නෙ තමන් රටේ උගත් ම බුද්ධිමත් ම තරුණයන් ලෙස.
නවක වධය දෙන්නෙත් මේ ඊනියා වැදගත්කම ලබා දෙන්න. එය ඊනියා කුලවැද්දුමක්. සිසුන්ට
මාන්නයක් මහන්තත්ත කමක් තියෙනවා. ඔවුන්
හිතන්නෙ සරසවි භූමිය ඔවුන්ගෙ පාලනයට යටත්විය යුතුය කියලා. නවක වධය ඔවුන්ගෙ
අයිතියක් කියලා හිතනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙ එක්සත් ශිෂ්‍ය කණ්ඩායමෙත් සමහරු මා
එක්ක වාද කර ගෙන තියෙනවා ඔවුන්ගෙ ඊනියා අයිතිය වෙනුවෙන්. නවක වධය සුන්දර දෙයක් නො
වෙයි. මටත් ඒ ගැන අත්දැකීම් තියෙනවා. අර ශිෂ්‍යාවකට මලක් දීම වගේ කතා බොරු.
සරසවි භූමියෙ නීති පනවන්නෙ තමන් කියලා සිසුන් හිතනවා. ඔවුන් ඒ දවස්වල
හැදුණෙ (නොහැදුණෙ) තමන් අනාගත පාලකයන් (නිලධාරීන්) කියන මනසින්. අපට නවක වධය ලැබුණෙ එංගලන්තෙ ප්‍රභූ
පාසල්වලින් (public schools). ඒ සිසුන්ට නවක වධය දුන්නෙ අනාගත නිලධාරීන්,
විශේෂයෙන් ම යටත්විජිතවල නිලධාරීන්, පුහුණු කරන්න කියලා මතයක් තියෙනවා. මෙරට අනාගත පාලක නිලධාරීන්
සරසවියෙ දි හැසිරෙන්නෙ තමන් දැනටමත් පාලකයන් වගේ. ඔවුන් අට පාස් කතා කිය කිය
සමාජවාදෙ ගැනත් කතා කරනවා.
අර සිසුවා පාරෙදි අට පාස් කොන්දොස්තර සමග ආරවුලක් ඇති කර ගෙන. අනාගත
පාලකයාට රිදිලා ඒත් කොන්දොස්තරට ගහන්න ගියෙ නැහැ. ආපසු ශාලාවට ඇවිත් තමයි බුරන්න
පටන් ගත්තෙ. බල්ලන් වගේ ම තමයි. පිටත දි නගුට අකුළ ගෙන ඇවිල්ල ගෙදර දි බුරන බල්ලො
කොච්චර ඉන්නවා ද? සිසුන් සරසවි භූමියෙ නීතිය අතට අරගෙන නැහැදිච්ච
කම නිසා බුරනවා. ගලහ පාර සිසුන්ගෙ බූදලයක් නො වෙයි. එය සරසවිය මැදින් වැටිල තියෙන
එක වෙන ම දෙයක්. පාර සරසවි සිසුන්ට තබා සරසවියටවත් අයිති නැහැ.
අවුරුදු හතළිස් හයකට ඉහත කොන්දොස්තර කෙනකුට පහර දෙන්න හදපු සිසුන්
(ඔවුන්ගෙ අනුප්‍රාප්තිකයන්) අද දොස්තර කෙනකුට පහර දීලා. ඒ තමන්ගෙ අණට කීකරු නොවීම
නිසා. සරසවි කඩා වැටෙන්න පටන් ගත්තෙ ඒ පිහිටුවාපු දිනයෙ ම. මේ කඩා වැටීම නවත්වන්න
මේ දේශපාලනයෙ අපට බැහැ. අපට තියෙන්නෙ බටහිරින්
පුහුණු කරපු ව්‍යාජ අභිමාන. ඒ තමයි අප බොහෝ දෙනකු හදලා තියෙන හැටි. අප බොහෝ
දෙනකු නැහැදිච්ච අය.