History

Thursday, 9 August 2018

ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව


ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව



ඒකාබද්ධ විපක්‍ෂයට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දීලා. අද ඔවුන් තමන්ට විපක්‍ෂ නායකකම නොලැබීම පිළිබඳ අඳෝනා කියනවා. විපක්‍ෂ නායකකම දෙන්නෙ කාට ද කියන එක තරමක ප්‍රශ්නයක්. මේ පිළිබඳ එක එක අය විවිධ කතා කියනවා. හැත්තෑව දහයට වැඩි ද වගේ කතා එතරම් වැඩක් වෙන්නෙ නැහැ. ඒ කතාව වලංගු වෙන්නෙ විපක්‍ෂ නායකකම දෙන්න ඕන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරනව නම් පමණයි. එහෙම කතාවක් ස්ථාවර නියෝගවල තියෙනවා ද?



පනස් දෙකේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයටත් ඇන් ඇම්ගෙ සමසමාජ පක්‍ෂෙටත් ලැබුණෙ එක ම ආසන සංඛ්‍යාවක්. ඇන් ඇම් කැමති වුණා ශ්‍රී ල නි පක්‍ෂයට විපක්‍ෂ නායකකම දෙන්න. විපක්‍ෂ නායකකම විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරන ක්‍රමයක් සකස් කර ගන්නව නම් මේ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්. එහෙත් එය එක වරම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.




ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය. අද සංධානයේ ලේකම් මහින්ද අමරවීර. ඔහු තමයි 2015 මැතිවරණය දවස්වලත් සංධානයෙ ලේකම්. ඔහු අද ඉන්නෙ ආණ්ඩුවේ. හරියට පැහැදිලි නැති වුවත් ඊනියා ජාතික ආණ්ඩුව එ ජා පක්‍ෂය හා සංධානය එකතු වී නිර්මාණය වූ දෙයක්. බැරිවෙලාවත් එය ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ඇති වූවක් නම් එය නීත්‍යානුකුල නැහැ. ඒ ශ්‍රි ල නි පක්‍ෂයක් අද පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නෙ නැති නිසා. කවුරු හරි ඒ ගැන හොයලා බලනවා නම් හොඳයි.



අනෙක් අතට ඒ ගිවිසුම ඇති වුණෙ සංධානය හා එ ජා ප අතර නම් ඒ ගිවිසුම අදටත් වලංගු ද යන්න ප්‍රශ්නයක්. එය අවුරුදු දෙකකට පමණක් ඇති කර ගත් එකක් ද? එහෙත් මේ ප්‍රශ්නවලින් නිරාකරණය වෙන්නෙ ඊනියා ජාතික රාජ්‍යය වලංගු ද යන්න පමණයි. අද කොහොම නමුත් ආණ්ඩුවක කොටස් කාරයන් ලෙස සංධානය ඉන්නවා. එය තීරණය කරන්නෙ සංධානය මිසක් ඒකාබද්ධ විපක්‍ෂය නො වෙයි.



සංධානය ඒ ගැන තීරණයක් ගන්නෙ කොහොම ද කියන එක ඊළඟ ප්‍රශ්නය. එය තීරණය කරන්න පුළුවන් සංධානයෙ ව්‍යවස්ථාව කියවලා. සංධානය කියන්නෙ පක්‍ෂ කිහිපයක එකතුවක්. එහි ශ්‍රී ල නි පක්‍ෂය මෙන් ම මහජන  එක්සත් පෙරමුණ වැනි පක්‍ෂ ද තියෙනවා. සංධානය ආණ්ඩුවෙ කොටස් කාරයකු වීමට සංධානය ලෙස රැස් වී තීරණයක් ගත්තා ද කියන එක ප්‍රශ්නයක්. මා දන්නේ නැහැ සංධානය එවැනි තීරණයකට එළඹුණා නම් ඒ කෙළේ කෙසේ ද යන්න.



සංධානය එවැනි තීරණයක් ගෙන නැත්නම්, එහි දී සංධානයේ ශ්‍රී ල නි ප හැරෙන්න අනෙක් පක්‍ෂ විමසා නැත්නම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. මා සඳහන් කරන්නේ ඊයේ පෙරේදා විපක්‍ෂ නායකකම ලැබිය යුත්තේ කාට ද කියන එක තීරණය කිරීම පමණක් නො වෙයි. මුලින් ම එ ජා ප සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීරණයත් ගැනයි.



මෙහි යම් වංචාවක් ඇති බව පැහැදිලියි. ඊනියා ජාතික ආණ්ඩුව පිහිටෙව්වෙ සංධානය ද ශී ල නි පක්‍ෂයද? අදාළ ගිවිසුම සොයා ගන්න පුළුවන් ද? ශ්‍රී ල නි පක්‍ෂයට ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. අද පර්ලිමේන්තුවෙ ශ්‍රී ල නි පක්‍ෂය නියෝජනය වන්නෙ නැහැ.



එමෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය වන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය දේශපාලන පක්‍ෂයක් නොවෙයි. එය මැතිවරණ කොමිසමේ ලියා පදිංචි වෙලා නැහැ. ඒ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ එ ජා නිදහස් සංධානයෙ මන්ත්‍රීවරුන් ලෙස. මේ දේශපාලන පක්‍ෂ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළත් පක්‍ෂවල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පක්‍ෂවල නායකයන් හා ලේකම්වරු ක්‍රියා කරන්නෙ ව්‍යවස්ථානුකූල ඒකාධිපතියන් ලෙස.



ඒකාබද්ධ විපක්‍ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා ද? ඒක මන්ත්‍රීවරුන්ගෙ එකතුවක්. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ ඊනියා නායක රැස්වීම්වලට ජී එල් පීරිස්, බැසිල් රාජපක්‍ෂ, තිස්ස විතාරණ වැනි අයත් සහභාගි වෙනවා. එහෙම කරන්නෙ මොන  ව්‍යවස්ථාවක් යටතේ ද? ඒ මදිවට ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක කෙනකුත් ඉන්නවා. මන්ත්‍රීවරුන්ගෙ සංසදයකට ජාතික සංවිධායකයකු අහවල් දේකට ද? ඔහු පත් කරලා තියෙන්නෙ ව්‍යවස්ථාවකට එකඟව ද?



ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්නෙ අවුලක. මෙයට මූලික හේතුව 2015 අගෝස්තු මැතිවරණයට ඔවුන් සංධානයෙන් ඉදිරිපත් වීම. එදා අප වෙන ම පක්‍ෂයකින් තරග කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවෙ ජී එල් පීරිස්, ඩලස්, බන්දූල විමල් වැනි අය අප කී දෙය දේශපාලනය නොදන්න අයගෙ ඉල්ලීමක් හැටියට සලකලා අලුයම ලූ කෙළ පිඬක් සේ සලකා ඉවත දැම්ම. ඒ විද්වත් තීරණය සමග බැසිලුත් හිටියා.



එදා වෙන ම පක්‍ෂයක් ලෙස තරග කළා නම් සමහරවිට මහින්ද අගමැති වෙන්නත් ඉඩ තිබුණා. එහෙම නැතත් විපක්‍ෂ නායක වෙන්න තිබුණා. අද ඒ එකක්වත් නැතිව අමරවීර හා කරු ජයසූරිය පස්සෙ මැසිවිලි කියමින් යනවා.