History

Tuesday, 11 September 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 18 (ජෙනීවා වාරය)




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 18

(ජෙනීවා වාරය) 



දැන් ජෙනීවා වාරෙ. අඹ වාරෙ, කජු වාරෙ වගේ ජෙනීවා වාරත් තියෙනවා. මේ කාලෙට අපේ සමහරු ජෙනීවා යනවා. ඒක හොඳයි. නැත්නම් දෙමළ ජාතිවාදීන් පාළු ගෙයි වළං බිඳිනවා. අප වෙනුවෙන් ජෙනීවා යන අය අපේ වීරයන් වෙනවා. ඒත් ඒ අයට තමනුත් ගිහින් වළං බිඳිනවා හැරෙන්න කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් මෙහෙම කිව්ව ම ජාතිකවාදීන් බොහෝ දෙනකු මට විරුද්ධ වෙනවා. මා ජෙනීවා යන්නෙ නැතිව එහෙම නැත්නම් යන්න අවස්ථාවක් නොලැබිලා යන අයට ඊර්ෂ්‍යා කරනවා කියන්න පුළුවන්. කොහොමටත් මා සිරිජාතිකවාදියකු නොවැ.




ජෙනීවා චෝදනා පට්ටපල් බොරු බව අප කිහිපවතාවක් ම කියා තියෙනවා. සරත් ෆොන්සේකා සුුදු කොඩි කතාවෙන් විශාල හානියක් කළත් අද ඔහු ප්‍රසිද්ධියේ යුද්ධාපරාධ නොවූ බව කියනවා. රනිල්ගෙ ආණ්ඩුව  ඔහු ගණන් නොගන්නා බව පැහැදිලියි. අවශ්‍ය නම් ඔහු ජෙනීවා යවන්න තිබුණා. ඒත් මංගලයි ගියේ. ඔහු එකල විදේශ ඇමති. ඔහු විදේශ ඇමති ලෙස රටට විරුද්ධව ගෙනා යෝජනාවක හවුල් කරුවකු වුණා. ඔහු හා මුස්තෆා එකිනෙකාට විරුද්ධ ක්‍රියාදාමවල හිටියා. මංගල තමන්ට (තම රටට) විරුද්ධ යෝජනාවකට ඡන්දය දුන්නා. මුස්තෆා තමා ගෙනා යෝජනාවකට විරුද්ධ ව ඡන්දය දුන්නා.  ඒකත් ඊනියා ජාතික ආණ්ඩුවේ ආණ්ඩු දෙකක වෙනස.



දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව ලිපි පෙළ මෙයින් අවසන් වෙනවා. අපට විරුද්ධ අය මෙන් ම ජාතිකවාදීන් ද ලිපිවල කිසිවක් නොතිබූ බව, පඬි බවක් ආරෝපණය කර ගනිමින් ලිපි ශුන්‍ය බව කියාවි. අප හැමදාමත් කියන්නේ මෙරට දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණයක් නොමැති බව. ඒ අසාධාරණය කුමක් දැයි ඇසූ විට දශක ගණනාවක් තිස්සේ පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ අයගේ ඊනියා පිළිතුරුවලට අප ප්‍රතිපිළිතුරු දී තිබෙනවා. අලුත් අදහසක් ඉදිරිපත් වුණොත් පමණක් එයට පිළිතුරු දෙන්නම්.



අද මා දැක්කා ඇඩිලේඩ් නුවර ජීවත්වන මයිකල් රොබට්ස් අනගාරික ධර්මපාලතුමා සිංහලයන් පමණක් ඊනියා ලාංකිකයන් ලෙස සැලකීම ප්‍රශ්නයක් වූ බව. ඔහුත් අර ජී සී මැන්දිස් ගෝල පරපුරේ. ඔහු දන්නේ බටහිරයන්ට අවශ්‍ය විධියට හිතන්න පමණයි. එය විශිෂ්ට ආකාරයකින් කරනවා කියා මා කියන්නේ නැහැ. මෙරට කිසිම අයකුට බටහිරයන් ලෙස විශිෂ්ට ආකාරයෙන් හිතන්න බැහැ. ඔවුන් ඒ ඒ ප්‍රමාණයට අනුකරණය කරනවා පමණයි. ගාල්ලේ උපන් බර්ගර් ජනවර්ගයට අයත් යැයි කිව හැකි මයිකල් රොබට්ස්ගේ හා පවුලේ මෙරට ඉතිහාසය වැඩි කලක් ඈතට යන්නේ නැහැ. ඔවුන්ට සිංහල ජාතිය ගැන හැඟීමක් නැහැ. මෙරට අවුරුදු දහස් ගණනක් තිස්සේ සිංහල ජාතියක් තිබූ බව හිතන්න මයිකල් රොබට්ස්ට බටහිර මතවාදවලින් ඉඩක් ලැබෙන්නේ නැහැ. අනගාරික ධර්මපාලතුමාට ඇතැම් බටහිර මතවාද බලපෑවත්, සිංහල ජාතිය සම්බන්ධ සංකල්පයේ දී ඒ බලපෑවේ නැහැ. මෙරට දෙමළ ජනවර්ගයක්වත් නැහැ. අද තිබෙන්නේ බටහිර මතවාද අනුව යමින් ඊනියා ලාංකික ජාතියක් ගොඩ නැගීම නොව සිංහල ජාතියට (අවශ්‍ය නම් ලාංකික නම යටතේ - යක්‍ෂ නාග අපට සිංහල වීමට හැකි වූවා නම් ලාංකික වීම ප්‍රශ්නයක් වන්නේ නැහැ) සිංහල නොවන්නන් ඔවුන්ගේ අනන්‍යතා රැකෙන අයුරින් අවශෝෂණය කර ගැනීමයි. මයිකල් රොබට්ස්ට එය වටහා ගැනීමට බැහැ. ඔහු ඊනියා ලාංකික ජාතියක් නිර්මාණය කරන්න හදනවා.



දෙමළ ජාතිවාදය (දෙමළ කියා ජනවර්ගයක් නැති වුවත් සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ජාතිවාදයක් තියෙන්න පුළුවන්) මෙරට ඇති වුණේ ලන්දේසීන් වෙල්ලාලයන් තම වගාවන්ට ගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස. එය අවුරුදු තුන්සිය පනහකට පමණ පෙර සිදු වූවක්. එක් වාග්විද්‍යා මහාචාර්යවරයකු මට කියා සිටියේ මෙරට කතා කරන දෙමළ හා තමිල්නාඩුවේ කතා කරන දෙමළ අතර වයස් පරතරය අවුරුදු තුන්සිය පනහක් පමණ වන බවයි. එහෙත් පඬියන්ට බයේ ඔහු එය ප්‍රසිද්ධියේ කිව්වේ නැහැ. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් ඔවුන්ගේ ම වාර්තා අනුව යාපනයේ බහුතර ජනගහනය සිංහල. වෙල්ලාලයන් ලන්දේසීන්ගේ ආධාරයෙන් ඒ සිංහලයන් ඊනියා අඩුු කුල ලෙස දෙමළ කතාකරන සංස්කෘතියකට අවශෝෂණය කළා. ලන්දේසීන් වෙල්ලාලයන් යොදා ගනිමින් යාල්පානම් වෛපව මාලෙයි වැනි කෘති පළ කරවමින් සිංහලයන්ට මේ රට, අඩුම තරමින් යම් ප්‍රදේශ, අහිමි කිරීමට කටයුතු කළා.  ඉන් පසු බටහිරයන් මිෂනාරි අධ්‍යාපනයක් යටතේ වෙල්ලාලයන් රටේ නායකත්වයට පුහුණු කළා. 1833 මෙරට දෙමළ ජාතිවාදය දේශපාලනික ව බෞතීස්ම කෙරුණා. පොන්නම්බලම් කුමාරස්වාමි පවුල රටේ ප්‍රධානත්වයට ගෙන ඒමට ඉංගිරිසින් කටයුතු කළා.



1931 සර්වජන ඡන්දයෙන් පසු වෙල්ලාල නායකයන් සමහර දෙනකු හීලෑ වුණා. ජී ජී පොන්නම්බලම් සුන්දරලිංගම් එවැන්නන්. එහෙත් චෙල්වනායගම් නාගනාදන් වැන්නන් තමන්ට රටේ නායකත්වයට පත්විය නොහැකි නම් අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල නායකත්වයට පැමිණීමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය හෙවත් ඊනියා ෆෙඩරල් පක්‍ෂය 1949 දී බිහිවුණා. ඔවුන් වෙන ම රාජ්‍යයක් ලබා ගැනීමට උත්සාහ කළා. ප්‍රභාකරන් එහි ප්‍රතිඵලයක්. 1948න් පමණ පසු ඉන්දියාවේ සහාය දෙමළ ජතිවාදීන්ට ලැබුණා. ඉන්දියාවට අවශ්‍ය ලංකාව ඔවුන්ගේ ප්‍රාන්තයක් හෝ ප්‍රාන්ත  දෙකක් බවට පත්කර ගැනීම. ඉන්දියාව දෙමළ ජාතිවාදීන්ට අවි පුහුණුව ලබා දුන්නා. දෙමළ ජාතිවාදීන් වෙන ම රාජ්‍යයක් ඉල්ලන්නේ ඒ ඔවුන්ගේ ඊනියා ප්‍රශ්නය නිසා නොව වෙල්ලාලයන්ට මුළු රටේ ම නායකත්වයට පත්වීමට නොහැකි වූ බැවින්. එහෙත් වෙල්ලාලයන්ට උතුරු හා නැගෙනහිර පළාත්වලවත් නායකත්වයට පත්වෙන්න බැහැ. තරමක් වුවත් උතුර හා නැගෙනහිර එක් කෙළේ ප්‍රභාකරන්. එහෙත් ඔහුගේ පරාජයෙන් පසු උතුර හා නැගෙනහිර නැවතත් වෙන් වෙලා. අද නැගෙනහිර පළාතේ නායකත්වය දරන්නේ මුස්ලිමුන්.



දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඊනියා ප්‍රශ්නයක් අසාධාරණයක් සිදු වී  ඇත්නම් එයට ඊනියා විසඳුම විය යුත්තේ සියළු දෙමළ කතාකරන ජනයාට විසඳුමක් මිස උතුරට හා නැගෙනහිරට ඊනියා බලය බෙදීමක් වෙන ම රාජ්‍යයක් නොවෙයි. එසේ ඊනියා බලය බෙදීමකින් උඩරට දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නය විසඳෙනවා ද? වැල්ලවත්තේ කිරිල්ලපොන පමණක් නොව මහරගම ද පදිංචි දෙමළ කතාකරන ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳෙනවා ද? ඉතා පැහැදිලි ව ම  වෙල්ලාලයන්ට අවශ්‍ය වූයේ තමන්ට රටේ ම නායකත්වයට පැමිණීමට නොහැකි බැවින් උතුර හා නැගෙනහිර වෙන ම රාජ්‍යයක් පිහිටුවා එහි පාලකයන් වීමටයි. එහෙත් ප්‍රභාකරන් එය තරමක අවුල් කළා.



ඉන්දියාව දෙමළ ජාතිවාදය නොයෙකුත් ආකාරයෙන් පෝෂණය කළත් ප්‍රභාකරන් තමන්ට නතු කර ගැනීමට අසමත් වුණා. ඉන්දියාව ගාමිණී දිසානායකගේ මාර්ගයෙන් ලංකාව නතු කර ගැනීමට දෙමළ ත්‍රස්තවාදය යොදා ගත්තා. ඒ සඳහා පරිප්පු දේශපාලනයත් ඉන්දු ලංකා ගිවිසුමත් යොදා ගත්තා. පසුව පළාත් සභා ඇති කළා. ඉන්දියාවට හිස නොනැමූ ප්‍රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට ප්‍රභාකරන් පරාජය කිරීමේ අවශ්‍යතාව ඇති වුණා.



ඉන්දියාව ඉන්පසු ප්‍රභාකරන්ට හා කොටින්ට විරුද්ධව කළ හමුදා මෙහෙයුම්වලට විරුද්ධ වුණේ නැහැ. ඒ බටහිරයන්ට විරුද්ධව ගිහින්. හමුදා මෙහෙයුම් අතර බැසිල් ඉන්දියාවට ගොස් ඊනියා එකඟතාවකට ආවා. ඒ අනුව ඉන්දියාව වඩමාරච්චියේ දී මෙන් මැදිහත් වුණේ නැහැ. එහෙත් ප්‍රංශය හා එංගලන්තය තම විදේශ ඇමතිවරුන් එවා හමුදා මෙහෙයුම් නතර කිරීමට උත්සාහ කළා. මහින්ද එයට යටවුණේ නැහැ. ඉන්දියාවේ ශක්තිය උඩ ද දන්නේ නැහැ. කොහොමටත් අපට 13+ දීමට ඉන්දියාවට පොරොන්දු වන්න සිදු වුණා. මහින්ද ඒ බව එකල කිව්වා. ඊනියා උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක් (LLRC) ද පත් කළා.



ඉන්දියාව අපට තාවකාලික ව පක්‍ෂ වුව ද බටහිරයන් තම විරුද්ධතා අත් හැරියේ නැහැ. දරුස්මාන් වාර්තාව අදී පට්ටපල් බොරු රාශියක් නිර්මාණය කළා. අද සරත් ෆොන්සේකා මේ සියල්ල අභියෝගයට ලක් කරනවා. බටහිරයන්ට අවශ්‍ය වුණේ මහින්දට ගෝඨාභයට හා රණවිරුවන්ට දඬුවම් කරන්න. විදුලි පුටු කතා අරාබි වසන්ත අදහස් තිබුණා. ඔවුන් ජෙනීවාහි අපට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කළා. එහෙත් ඉන්දියාව 13+ පොරොන්දුව අනුව අපට පක්‍ෂපාති වුණා. එසේ නමුත් මහින්ද ජාතික ව්‍යාපාරයට කන් දී දයාන්ලා වැන්නන්ට එතරම් ඇහුම්කන් නොදී 13+ කතාව උගත් පාඩම් නිර්දේශ අමතක කළා. ඉන්දියාව එතැන් සිට අපට ජෙනීවාහි ද වෙනත් තැන්වල ද විරුද්ධ වුණා. ඉන්දියාව ද බටහිරයන් සමග එකතු වී මහින්ද පරාජය කළා. ඊනියා ජාතික ආණ්ඩුව ඇති කෙළේ සෝභිත හාමුදුරුවන්වත් සරත් විජේසූරියවත් පඬියන්වත් යුග පෙරළිකාරයන්වත් නො වෙයි. ඔවුන් ඒ සඳහා ඉන්දියාව විසින් යෙදා ගනු ලැබුවා. ඉන්දියාවට පොරොන්දු නො දී අපට ප්‍රභාකරන් පරාජය කරන්න තිබුණා. මහින්දගේ දේශපාලන නායකත්වයෙන් ගෝඨාභයටත් සරත් ෆොන්සේකාටත් රණ විරුවන්ටත් එය කළ හැකි ව තිබුණා.



අද විදුලි පුටු කතා නැති වී තිබෙන්නේ මෛත්‍රිපාලගේ දක්‍ෂතාවකට නො වෙයි. එහෙම පුටුවට යවන්න කිිසිම  සාක්‍ෂියක් නැහැ. එහෙත් එංගලන්තය ඉන්දියාව සමග එකතු වී ජෙනීවා වාරයට මොකක් හරි අලුත් දෙයක් අඩුම තරමෙන් බොරු සාක්‍ෂීයක්වත් නැතිව ගේනවා. මෙය පරාජය කළ හැක්කේ සිිංහල ජනතාව එකතු වී රනිල්ගේ ආණ්ඩුව පරාජය කිරීමෙන් පමණයි. අපට යුරෝපයට මාළු යැවීමට අවසර ලැබීමෙන් කොපමණ විදේශ මුදලක් එකතු කරගෙන තියෙනවා ද? මේවා ඇස් බැන්දුම් පමණයි.



අද ඉන්දියාව අමුතු පොටකට එන්න හදනවා. මහින්දට ඊනියා භාරත රත්නයක් දෙන්නේ මොනවා ට ද? මහින්ද එය ඉන්දියන් සාගරයේ ම දමා ආපසු එනවා නම් හොඳයි. අප කළ යුත්තේ නනදිකඩාල් හි පරාජය වුණේ ප්‍රභාකරන් හා කොටි පමණක් නොව මුළු  දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය ම බව පෙන්වා දීමයි. නන්දිකඩල් ජයග්‍රහණයෙන් පසු තවත් සාකච්ඡා ඊනියා සංහිඳියා කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් හි අප දුන්නේ දේශපාලන විසඳූමක් එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මිස ඊනියා ජාත්‍යන්තරයක ප්‍රශ්නයක් නො වෙයි. මා ඒ බව සරත් වීරසේකරට මෙන් ම චන්න ජයසුමනටත් කියා තියෙනවා.