History

Sunday, 2 September 2018

වෙල්ලස්සේ වෙඩි හඬ (සුද්දා පළවා හැරීම)


වෙල්ලස්සේ වෙඩි හඬ

(සුද්දා පළවා හැරීම)



ඊයේ අසංග පෙරේරා අධ්‍යක්‍ෂණය කළ වික්ටර් බණ්ඩාර සේනාරත්න රචනය කළ වෙල්ලස්සේ හඬ නරඹන්න ලැබුණා. එය විශිෂ්ට කලා කෘතියක්. තුප්පහි (මේ පෘතුගිසි වචනය අප යොදා ගන්නේ අපට ම ආවේණික අයුරකින්) කලාකරුවන් ඊනියා විදග්ධයන් බවට පත් කර ඇති රටක අසංග වැනි කලාකරුවකු ඉන්න එකත් වාසනාවක්. සංගීතය දේශප්‍රේමි සංගීතඥයකු වූ සමන් ලෙනින්ගේ.  මේ නාට්‍ය නිපදවීමට ආධාර කර ඇත්තේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදයයි. එහි දී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලොක හිමිපාණන්ගේ විශේෂ දායකත්වයක් හිමි වී තිබෙනවා.



ඒ දහඅටේ අවුරුද්දයි. මේත් දහඅටේ අවුරුද්දයි. ඒත් පරතරය අවුරුදු දෙසීයක් එදා අපට අවශ්‍ය වූයේ පහළොවේ කළ වරද නිවැරදි කිරීමටයි. අද ද අවශ්‍ය වන්නේ එයයි. එදා එය කරගන්න බැරි වුණා. අද කෙසේ වේවි ද? එදත් අදත් අවශ්‍ය වූයේ වන්නේ සුද්දා පළවා හැරීමයි. එදා සුද්දා එතරම් බලවත් නැහැ. රට අල්ලා ගත්තා විතරයි. එහෙත් අද සුද්දා අපේ හිත්වල කිමිදිලා.



ටවර් රඟහල අප කුඩා කළ නාට්‍ය නැරඹූ තැනක්. ඒ මවත් පියාත් සමග. නාට්‍ය නරඹා පාණදුරේට දුම්රියෙන් ගිය හැටි මට මතක් වෙනවා. මා වඩාත් ම සිත්ගත් නාට්‍යයක් වූයේ හරිශ්චන්ද්‍ර. අද හරිශ්චන්ද්‍රලා නැහැ. ඉන්නේ බොරු සක්විත්තන්. නූර්ති හා නාඩගම්වලින් පසු දෙබස් නාට්‍ය කියන නාට්‍ය සිංහලයන්ට හඳුන්වා දුන්නා. අවුරුදු එකසිය විසිපහක් පමණ අප කර තිබෙන්නේ විවිධ දේ සිංහලයන්ට හඳුන්වාදීමයි. මට හිතෙන අන්දමට ඊනියා දෙබස් නාට්‍යත් අපට ලැබුණේ සුද්දන්ගෙන්. ජයමාන්නලා මෙන් ම විශ්වවිද්‍යාලයේ ජුබාල්ලා ද මේ නාට්‍ය සමාජයේ විවිධ තලවල ජනප්‍රිය කළා.



අද අසංග කරන්නේ සුද්දන්ගෙන් ලැබුණු නාට්‍ය යොදා ගෙන සුද්දන් පළවා හැරීමේ කතාවක් කියන්න. මෙරට ඊනියා ප්‍රභූන් අතර ෂේක්සිපියරීය නාට්‍ය කිහිපයක් ප්‍රදර්ශනය කළ ද ඒ සාමාන්‍ය ජනතාව අතරට යන්නේ නැහැ. අසංග ඊනියා ෂේක්ස්පියරීය නාට්‍ය කාරයෙක් නො වෙයි. ඔහු දක්‍ෂ නළුවෙක්. වෙල්ලස්සේ වෙඩිහඬ ඔහුගේ පළමු අධ්‍යක්‍ෂණය වෙන්න ඇති. ඔහුත් ඔහු වැනි තවත් අයත් සුද්දාගෙ නාට්‍ය ව්‍යාජ ෂේක්ස්පියරීය තත්වයෙන් මුදා ගෙන අපේ කර ගැනීමට යත්න දරනවා.



එහෙත් අද පරසුද්දා හැම තැන ම. අද ඇතැමුන් බටහිර නාට්‍ය සිංහලට හරවනවා. තවත් සමහරු සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහනවා. ඒ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් හා ජනමාධ්‍යයෙන් සකස් කෙරුණු  හීනමානය නිසා සිදුවන්නක්.  බටහිරයන් මේ එකකුවත් (ඩොලර්) සතපහකට ගණන් ගන්නේ නැහැ. වික්ටර් බණ්ඩාර සේනාරත්න සුද්දන්ගේ නාට්‍යයක් පරිවර්තනය කරලා නැහැ. අසංග අධ්‍යක්‍ෂණය කර ඇත්තේ ඊනියා පඬියන් කියන ආකාරයේ නාට්‍යයක් නො වෙයි. නාට්‍ය ඇත්තේ හීනමානයෙන් පෙළෙන තුප්පහියන් අතර පමණයි. අසංගගේ නාට්‍යය සිංහල නාට්‍යයක්. ඔහු සිංහල නාට්‍ය කාරයෙක්. තුප්පහි කලාකාරයෙක් වෙල්ලස්සේ කතාව සුද්දන්ගෙ පැත්තෙන් කියාවි ද? කලාව එහෙම නම් විද්‍යාව හා ගණිතය ගැන කියනුම කවරේ ද? අද මෙරට ඊනියා විද්‍යාඥයන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන්න පටන් අරන්. ඒක නිව්ටන්ට දැනුනෙත් නැහැ! අයින්ස්ටයින් ඒක ප්‍රතික්‍ෂෙප කළා.



වෙල්ලස්සේ වෙඩිහඬ මුතුකුඩ නාට්‍යය සමග සංසන්දනය නොකර බැහැ. මුතුකුඩ තරමක හොඳ ටෙලිනාට්‍යයක්. අසංග එහි මොල්ලිගොඩ චරිතය ඉතාමත් දක්‍ෂ ලෙස නිරූපණය කළා. එහෙත් එහි බොහෝ චරිත පරඬෑල්. සිංහලයන්ගේ වීර වික්‍රමය ජීවය එහි චරිතවලින් නිරූපණය වුණේ නැහැ. මට හිතෙන විධියට අධ්‍යක්‍ෂ අභිබවා ගොස් අසංගත් මහේන්ද්‍ර වීරරත්නත් ඉමායා ලියනගේත් චරිත නිරුපණය කළා. ඔවුන් එහි කැප්පෙටිපොළ මෙන් පරඬැල් වූයේ නැහැ. ඔවුන් වෙල්ලස්සේ වෙඩිහඬේත් ජවයක් සහිත චරිත නිරුපණයක යෙදෙනවා. අසංගගේ නාට්‍යයේ චරිත සිංහලයන්ට අවමන් කර නැහැ. එකල සිංහලයන්ගේ ජීව ගුණය එඩිතරබව අවංකබව  නාට්‍යයෙන් පිළිබිඹු වෙනවා. සමස්තයක් ලෙස ගත් කල වෙල්ලස්සේ වෙඩිහඬ මුතුකුඩට වඩා හොඳයි.



එහෙත් ප්‍රශ්න නැතිවා නො වෙයි. කැප්පෙටිපොළට වෙඩි තැබීම අසංග කියන විධියට නොකර බැරි දෙයක් වෙන්න ඇති. එහෙත් මට එහි ප්‍රධාන ම අඩුව ලෙස දැනෙන්නේ නාට්‍යයෙන් සිංහලයන් පැරදුණේ පර සුද්දන්ගේ ආයුධ ආපසු යැවීම නිසා කියල හිතෙන්න පුළුවන් වීම. සිංහලයන් පැරදුණෙ අදත් පැරදෙන්නෙ අසමගිය හා ගිවිසුම් නිසා. ඊනියා උඩරට ගිවිසුම හෙවත් සිංහල ඉංගිරිසි ගිවිසුම ශ්‍රී වික්‍රම රාජසිංහ එළවා ගන්න සමගි වීමට නොහැකි වූ උඩරට නායකයන් ඉංගිිසින්ගේ ආධාරය පැතූ නිසා සිදුවූවක්. එහි දී ඇහැලෙපොළ සුද්දන්ට මුලින් ම එකතු වුණා. කැප්පටිපොළ ඔහුගේ මස්සිනා. කැප්පෙටිපොළත්  සිංහල ඉංගිරිසි ගිවිසුමට අත්සන් කළා. එහෙත් පසුව වරද තේරුම් ගත්තා. සිංහලයන් ඔහු ආපසු සුද්දන් ළඟට එලෙව්වේ නැහැ. වාරියපොළ සුමංගල හිමිපාණන් එහි දී සිංහල නායකයන් යම් ප්‍රමාණයකට සමගි කළා.



අදත් ඇත්තේ මෙයට සමාන තත්වයක්. අද සුද්දන් මෙන් ම ඉන්දියානුවන් ද ඉන්නවා. අද බ්‍රවුන්රිග්ගේ භූමිකාව නාට්‍යයේ රඟපාන්නේ රොෂාන් පිලපිටිය වුණත් සැබෑ ජීවිතයේ රඟපාන්නේ රනිල්. රනිල් පත්වාගෙන යෑමට සිරිසේන විරෝධය ආයුධයක් කරගෙන. එහෙත් සිරිසේනට පමණයි රනිල් ඉවත් කරන්න පුළුවන්. එයින් කියැවෙන්නේ අප පැත්තකට වී ඉන්න ඕන කියන එක නොවෙයි. අපට සිරිසේන ලවා රනිල් ඉවත් කරවීමට හැකි විය යුතුයි. එදා කැප්පටිපොළ ආපසු භාර ගැනීමේ දී වාරියපොල සුමංගල හාමුදුරුවන් විශාල කාර්යභාරයක් කළා. අදත් ප්‍රබල භික්‍ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීම අවශ්‍ය වෙනවා. දැන් පඬියන් බොරු තර්ක ගෙනේවි සිරිසේන කැප්පටිපොළත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් ද කියා. ඒ පඬියන් අවසානයේ දී කරන්නේ රනිල් බ්‍රවුන්රිග් පවත්වාගෙන යෑම පමණයි.