History

Tuesday, 16 October 2018

දමිත් අසංකගේ මම


දමිත් අසංකගේ මම



මේ දමිත් අසංක හා කැළුම් ශ්‍රීමාල් ගැන ලියැවෙන ලිපියක්. එය ඉතා කෙටි කාරණයක්. ඒත් එයට කලින් මට තරමක දිග පෙරවදනක් ලියන්න ඕන. මා දමිත් දන්නේ නැහැ. ඔහු සමග කළ මා නොවන මම වැඩ සටහනක් නැවත විකාශය වුණා. මා එය නැරඹුවා. පසුව කසුන් කල්හාර සහභාගි වූ වැඩ සටහන ද නැරඹුවා. මේ ඒ වැඩ සටහන් ඇසුරෙන් ලියැවෙන්නක්.




සිංහලයන් යනු ශිල්පීන්. අපට ශාස්ත්‍ර හුරු නැහැ. මෙරට ශාස්ත්‍රීය සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කළ අයකු නැහැ. අප ශිල්ප නම් රාශියක් නිර්මාණය කර තියෙනවා. එදත් අදත් මෙරට උගතුන් විද්වතුන් අදීන් වෙනත් අයගේ ශාස්ත්‍ර අනුකරණය කළා, කරනවා. එහෙත් ඔවුන්ට ශාස්ත්‍ර නිර්මාණය බැහැ. මා හිතන්නේ පැරණි සමාජයේ ශිල්පීන්ට වැදගත් තැනක් තිබුණා කියන එකයි. ඒත් අද මෙන් ම ශාස්ත්‍රඥයන් සමාජයේ බැබළෙන්න ඇති. එදා සහ අද අතර වෙනස අද ඊනියා ශාස්ත්‍රඥයන් බැබළෙද්දී ශිල්පීන්ට තැනක් නො දීමයි.



මෙරට ශාස්ත්‍රඥයන් යැයි කියන්නන් එක්කෝ භාරතීය ආධිපත්‍යයට යටවෙලා. නැත්නම් බටහිර ආධිපත්‍යයට යටවෙලා. සමහරු අවස්ථාව අනුව දෙකෙන් එක ආධිපත්‍යයකට යටවෙනවා. ඒ සම්ප්‍රදාය දෙකේම ශාස්ත්‍ර පක්‍ෂය බලවත්. බටහිර රටවල ශිල්පීන්ට තැනක් දෙනවා. තාක්‍ෂණය එහි දී ප්‍රධානයි. එහෙත් නොබෙල් තෑගි දෙන්නේ ශාස්ත්‍රීය පක්‍ෂයටයි. බටහිර ප්‍රායෝගික විද්‍යාත් යම් ප්‍රමාණයකටවත් ශාස්ත්‍රීයයි. ටෙස්ලාට නොබෙල් තෑග්ගක් නැහැ. එඩිසන් හිටියා නම් ඔහුටත් නොබෙල් තෑග්ගක් ලැබෙන එකක් නැහැ. එහෙත් බටහිරයන් එඩිසන්ටත් ටෙස්ලාටත් දැන් මස්ක්ටත් වැදගත් කමක් දෙනවා. වත්මන් ලංකාවේ එහෙම නැහැ.



භාරතීය ආධිපත්‍යයට හරි බටහිර ආධිපත්‍යයට හරි යට වුණු අය තම ආධිපත්‍ය ප්‍රධානීන්ගේ ශාස්ත්‍රිය පඬි වදන් කියමින් අනෙක් අයට පඬිබව පෙන්වනවා. මේ දෙකට ම නැතිව ඊනියා විදග්ධ සමාජයේ ජීවත්වන එක අමාරු වැඩක්. අපේ දැනුම ශාස්ත්‍රීය නැහැ. එහෙත් අර ආධිපත්‍යවලට යට නොවී ඉන්න නම් මෙරට දැනුම ගැනත් යම් ශාස්ත්‍රීය කතාවක් කරන්න ඕන. නැත්නම් ඒ දැනුම මිථ්‍යා බවට පත් කරනවා විතරක් නොවෙයි ඒ දැනුම වෙනුවෙන් පෙනී සිටින අය ඒ මත පදනම් වී යමක් කරන්න හදන අය නිකමුන් මිථ්‍යා මතධාරීන් මානසික රෝගීන් බවට පත්කරන්න උත්සාහ ගන්නවා. මුහුණු පොත බලන්න. එයට ඔරොත්තු දෙන එක ලෙහෙසි පහසු දෙයක් නො වෙයි.



මිහිඳු හිමියන් වැඩම කිරීමට පෙරත් මෙරට බෞද්ධයන් සිටියා. මිහිඳු හිමියන් ඔවුන්ටත් හෙළටුවා දැනුමක් දුන්නා. උන්වහන්සේට පෙර හෙළයන් ශාස්ත්‍රීය වූ බවට සාක්‍ෂි නැහැ. මිහිඳු හිමියන්ගේ සිට බුද්ධඝෝෂ හිමියන් දක්වාත් අප එතරම් ශාස්ත්‍රීය වූ බවක් පෙනෙන්නට නැහැ. අශෝක බුද්ධාගම ශාස්ත්‍රීය නොවූ බවක් නොවෙයි මා කියන්නේ. අප වඩාත් ශාස්ත්‍රීය වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගෙන් පසු. බුද්ධඝෝෂ හිමියන් ඇතුළු ආන්ද්‍ර ප්‍රදේශ භික්‍ෂූන් වහන්සේ අපට අටුවා ලියා දීම නිසා මෙරට ථෙරවාදය ශාස්ත්‍රීය වුණා. ඒ ශාස්ත්‍රීය බව ථෙරවාදය රැකෙන්න හේතුවක් වුණා. එය වැදගත්. එහෙත් මතක තබා ගත යුතු කරුණ අපට ශාස්ත්‍රීය සම්ප්‍රදායක් ලබා දුන්නේ ප්‍රධාන වශයෙන් ම බ්‍රාහ්මණ වංශයෙන් පැවිදි වූ ආන්ද්‍ර (ආඬි) භික්‍ෂූන් වහන්සේ බව. ඔවුන්ගේ අටුවාත් අපට යම් ශාස්ත්‍රිය බලපෑමක් කළා. පසු කලෙක ආඬි අරිට්ටකි වෙන්ඩු  යම් බලපෑමක් කළා. ආන්ද්‍රයන් හා අප අතර ඇති සම්බන්ධය කුමක් ද?



අද පඬියන් බටහිර පොතපත පරිවර්තනය කර හරි ඒ අදහස් ප්‍රකාශ කර හරි ශාස්ත්‍රීය වන්න හදනවා. ඒ මත ප්‍රකාශ කරනවා. එපමණයි. අපට ශාස්ත්‍රීය දැනුමක් නිර්මාණය කරන්න බැහැ. අපේ අය බටහිර සම්ප්‍රදායේ වාටියේ (පරිධියේ) බඩපිනුම් ගසන්න්නන් පමණයි. ඔවුන්ට අයින්ස්ටයින්ලා ඩිරැක්ලා බීත්හෝවන්ලා මොසාට්ලා වෙන්න බැහැ. මේ පිනුම්කරුවන්ට ලැබෙන ඊනියා ජාත්‍යන්තර සම්මාන ගැන කතාකරන්න ඕන නැහැ.



අපේ වෙදකමත් ආයුර්වේදය වැනි ශාස්ත්‍රීය දැනුමක් නො වෙයි. එය අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි. අප කරලා ඉගෙන ගන්න පිරිසක්. එහෙත් අප එහි  දක්‍ෂයන්. මා හිතන්නේ සංගීතයේත් එසේමයි. අද විද්වතුන් කියන අය එක්කෝ භාරතීය සංගීත හදාරා ඇති අය. නැත්නම් බටහිර සංගීිත හදාරා ඇති අය. එහෙත් මෙරට වැඩි ප්‍රමාණයක් ඉන්නෙ වෙනම ම සංගීතයක් රස විඳින අය. ඔවුන්ට ඊනියා ශාස්ත්‍රීය බවක් නැහැ.



බහුතර ජනයාට ශාස්ත්‍රීය දැනුමක් නැතිව පවතින්න හැකි වුණත්, ඔවුන් ඊනියා නූගතුන් වුණත්, නූගතුන් අතර නුගතකු වීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙත් උගතුන් අතර නූගතකු ලෙස ජීවත්වන්න බැහැ. ඒ නුගතාටත් අර ආධිපත්‍යයෙන් මිදෙන්න යම් ශාස්ත්‍රීය බවක් ආරෝපණය කර ගන්න වෙනවා. අද මෙරට දේශීය සංගීත සම්ප්‍රදායක් ගැන කතා කරන අයටත් උත්තර භාරතීය තරමට නැති වුවත් යම් ශාස්ත්‍රයක් ගැන කියන්න වෙනවා. මා කියන්නේ එය අවශ්‍ය ම යන්න නො වේ. එහෙත් අර ආධිපත්‍යයෙන් මිදෙන්න පළමු අවස්ථාවල එවැන්නක් අවශ්‍ය වෙනවා. මා පොදුවේ අපේ ප්‍රවාද නිර්මාණය කරන්නේ ඒ අවශ්‍යතාව සපුරාලන්නයි. බෞද්ධයන්ගේ වෑයම දැනුම නොදැනුම බවට පත් කරන්න. නිවන් සම්මාබෝධය (අවබෝධය නොවෙයි) ලැබෙන්නේ එවිට. එහෙත් අපට ඒ නොදැනුම් කිරීම ගැනත් ඊනියා ශාස්ත්‍රීය දැනුමක් ගෙඩ නගන්න වෙනවා. 



මා මේ කාරණය හොඳින්ම දන්නවා. මා බටහිර හා භාරතීය ආධිපත්‍යයෙන් මිදී ජීවත් වන්නේ. ඊනියා විද්වත් සමාජය මා සමාජයෙන් පිටමං කරලා. මට දෙරණේවත් අරුණෙවත් චතුර අල්විස්ගේ දෙරණ අරුණෙවත් තැනක් නැහැ. ඇතැමුන්ගේ ට්විටර් පණිවුඩවලටත් තැනක් දෙන දෙරණ අරුණ මගේ කිසිම අදහසක් ප්‍රචාරය කරන්නේ නැහැ. එහෙත් පඬියන්ට මා එක්ක ජීවත් වෙන්න වෙලා. සමහරුන්ට ජීවත් වීමට  මා කියන දේ අකුරක් නෑර හදාරන්න වෙලා.



මට තේරෙන විධියට දමිත් අසංක මෙරට මිනිහෙක්, ගායකයෙක්. ඔහු බටහිර හරි භාරතීය හරි ආධිපත්‍යයට යට වෙලා නැහැ. එවැන්නන්ට නුගතුන් ලෙස නුගතුන් අතර ජීවත් වන්න පුළුවන් වුණත් උගතුන් අතර ජීවත් වීම ප්‍රශ්නයක්. දමිත් හා කසුන් කල්හාර සංසන්දනය කරන්න. කසුන් උත්තර භාරතීය සංගිතය හැදෑරුවන්ගේ දරුවෙක්. ඒත් ඔහු බටහිර සංගීතය හදාරන්නෙක්. ඔහු ඒ අනුව කටහඬ හසුරුවනවා. ඔහුගේ පංතිවලට සිසුන් යනවා. ඔහුට විද්වත් සමාජයේ පිළිගැනීමක් තියෙනවා. දමිත් ට සංගීත ප්‍රසංගවල සංයුක්ත තැටිවල පිළිගැනීමක් ඇති. එහෙත් ඊනියා විද්වත් සමාජය ඔහු පිළිගන්නේ නැහැ.



මටත් යම් ප්‍රමාණයකට ඒ ප්‍රශ්නය තියෙනවා. ඒත් මා බොරු ශාස්ත්‍රීය කතා දන්නවා. මා පඬියන්ට ඊනියා ශාස්ත්‍රීය ආකාරයකට පහර දෙනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියා කියනවා. මට ඒ ශක්තිය නොතිබුණා නම්, මා රැකියාවෙන් නිදහස් කර සිටි අවස්ථාවල මට මගේ බිරියගේ හා දරුවන්ගේ ශක්තිය නොතිබුණා නම් මට කුමක් සිදු වීමට තිබුණි ද? මා බුදුදහම දැනගන්නේ භාවනාවෙන් නොවෙයි. තර්කයෙන් හා මා හිතන විධියට පෙර භවවල අත්දැකීම්වලින්. මා තර්කයෙන් ම දැනගන්නවා තර්කය අපේ ම නිර්මාණයක් බවත් එයත් තවත් බොරුවක් බවත්. මා යන සංකල්පය ද බොරුවක් බව මට වැටහෙන්නේ ඒ අනුවයි.



දමිත් එහෙම නොවෙයි. ඔහු අර මා නොවන මම වැඩ සටහනේ  කියා සිටියා මා යනුවෙන් කෙනකු නැති බව. ඔහු එය දැනගත්තේ භාවනාවෙන් බවත්  කිවුවා. ඔහු යම් අයකු විසින් නොමග යවනු ලැබ ඇති බවක් පෙනෙන නමුත්  මා නැති බව හොඳ කතාවක්. එහෙත් උගතුන් අතර වැජඹෙන උගතකු වු කැළුම් ශ්‍රිමාල් එය වැරදියට තේරුම් ගත්තා. කැළුම් මා යන්න භායානක සංකල්පයක් බව පවසා මම ලෙස නොව අපි යනුවෙන් සිතිය යුතු බව කීවා. දමිත් එතැනින් එහාට කතා කරන්න ගියේ නැහැ. මා ඒ වැඩ සටහනට සහභාගි වුණා නම් වැඩ සටහන එතැනින් එහාට යන්නේ නැහැ. කැළුම් කියන්නේ එකක්. එය ඔය හමෝම කියන බොරුවක්. අප ගැන කතා කරමින් තමා ඔසවන්නන්ගේ කතාවක්. ව්‍යාජ කණ්ඩායම් වැඩ (ටීම් වර්ක්) ගැන කියන කතාවක්. එහෙත් දමිත් කිව්වේ වෙනත් ම දෙයක්. මා නැතැයි කියන්නේ අප ඉන්නවාට නො වෙයි. ඒත් කැළුම් දමිත්ට වැඩසටහනක් ලබා දීම අගය කරන්න ඕන. එ එක්ක ම කියන්න ඕන මේකත් ඊනියා ශාස්ත්‍රිය කතාවක් බව.