History

Saturday, 20 October 2018

කාන්ට්ගේ පශ්චාත්තාපය


කාන්ට්ගේ පශ්චාත්තාපය



මා ඊයේ මංගලගේ රෙද්ද පල්ලෙන් (MRP) වැටුණු මිල සූත්‍රය ගැන කී දේ බොහෝ දෙනකුට තේරිලා නැහැ. මා ඇහුවෙ ඇතැම් තෙල් වර්ගයක මිල වෙනස් නොවන්න නම් බොර තෙල් මිල වැඩි වෙන විට අනෙක් විචල්‍ය තුනෙන් එකක්වත් අඩුවෙන්න ඕන කියලා. ඒ අඩු වුණෙ පිරිවැය ද බදු ද නැත්නම් වෙන මොකක්වත් ද? ඒකට උත්තරයක් නැහැ. පෙට්‍රල්වලට හැම විචල්‍යයක් ම වැඩි වෙලා මිලත් වැඩි වෙලා. ඒක හරි. මගේ ප්‍රශ්නය මිල වැඩි නොවූ තෙල් වර්ගවලට මිල සූත්‍රය යොදන්නෙ කොහොම ද කියන එකයි. තෙල් සූත්‍රය ගැන කී දේ තේරුණෙ නැති විට ඉලෙක්ට්‍රෝන රවුන් ගහන එක තේරෙයි ද මන්ද. අපි කෝකටත් ඒකත් කියමු. 
  



මා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයේ දි රසායන විද්‍යාව අසමත්. රසායන විද්‍යාවෙ තමයි මුල් වරට පරමාණුවක න්‍යෂ්ටිය වටේ රවුන් ගහන ඉලෙක්ට්‍රොන හමුවෙන්නෙ. මේ ඉලෙක්ට්‍රොන චලනය වෙනවා ද? ඒව එක තැනක නැති බව පැහැදිලියි. ඒත් චලනය වෙනවා ද? චලනය වෙන්නෙ අවකාශයෙ ද? යම්කිසි කාලයක ද? උසස් පෙළ සිසුන් උත්තර දෙන්න අත් උස්සන්නෙ නැතිව ඉන්නවා නම් හොඳයි. ඔය ඉලෙක්ට්‍රොන එක් කක්‍ෂයක (කක්‍ෂිකාවක) සිට තවත් කක්‍ෂයකට පනිනවා කියලා කියනවා. එසේ කිරීමේ දී ෆෝටෝනයක් එක්කෝ පිට කරනවා නැත්නම් අවශෝෂණය කරනවා. මේ ෆෝටෝනයට යම් ශක්තියක් තියෙනවා කියනවා. ඒ වගේ ම අර න්‍යෂ්ටිය වටේ රවුන් ගහන ඉලෙක්ට්‍රොනවලටත් ශක්තියක් තියෙනවා කියනවා. සමහරු මේ ශක්තිය අර මහින්ද මෛත්‍රිපාලට දිය යුතු ය කී ශක්තිය සමග පටලවා ගන්නවා. එහෙමත් නැත්නම් අනාගන්නවා.



ඉලෙක්ට්‍රොන රවුන් ගහන්නෙ හරි එක කක්‍ෂිකාවක සිට තවත් කක්‍ෂිකාවකට පනින්නෙ හරි අවකාශයෙ ද? කාලයෙ ද? අවකාශ - කාලයේ ද? ක්‍රීඩකයෙක් පිට්ටනියක් වටේ දුවනකොට අපට පෙනෙනවා. ඔහුට පථයක්, ගමන් මාර්ගයක් තියෙනවා. ඕනෑම අවස්ථාවක ඔහුට වේගයක් ද තියෙනවා. වේගයයි (ගම්‍යතාව තමයි නියම වචනෙ, අපි ප්‍රවේගයත් නැතිව වේගය කියලා කියමු) ක්‍රීඩකයා ඉන්න තැනයි (පිහිටීම) අප එක්වර මැන ගන්න පුළුවන්. එහෙත් අර න්‍යෂ්ටිය වටේ රවුන් ගහන ඉලෙක්ට්‍රොනයට එහෙම බැහැ කියලා ක්වොන්ටම් භෞතිකයෙ කියනවා. පුබුදු ජාගොඩ නම් එහෙම හිතන්නෙ නැහැ. ඔහු ද්‍රව්‍යවාදියෙක්. ඔහු ක්වොන්ටම් නොවන නිවුටන්ගෙ මතයක් කිවුව. පොතක් ලිවුව. කාලෝත් ගියා ඒ පොත පිළිබඳ කරපු කතා අහන්න. කාලෝත් ද්‍රව්‍යවාදියෙක්.



ඉලෙක්ට්‍රෝනයකට යම් මොහෙතක පිහිටීමක් හා වේගයක් තියෙනවා නම් එයට පථයක්, ගමන් මාර්ගයක් තියෙන්න ඕන. ඒත් ඉලෙක්ට්‍රෝනයකට ගමන් මාර්ගයක් නැහැ. කක්‍ෂයක් නැහැ. ඒ නිසා තමයි කක්‍ෂිකාවක් ගැන කියන්නෙ. දැන් ඉලෙක්ට්‍රෝනය එකා කක්‍ෂිකාවට සිට අනෙක් කක්‍ෂිකාවකට පනින්නෙ ගමන් මාර්ගයක ද? පථයක ද? එහෙම පථයක යනවා නම් එයට ඕනෑම මොහොතක එකවිට පිහිටීමක් හා වේගයක් තියෙන්න ඕන. එහෙත් පූබුදු ජගොඩ ආදී ක්වොන්ටම් ප්‍රාමාණිකයන්  හැරෙන්න අනෙක් අය කියන්නෙ ඉලෙක්ට්‍රෝනයකට පිහිටීමක් හා වේගයක් එකවිට නැහැ කියලා.



ඒ කියන්නෙ රවුන් ගහන විට දි හරි එක් කක්‍ෂයකින් තවත් කක්‍ෂයට පනින විට දි හරි ඉලෙක්ට්‍රෝනය පථයක නැහැ කියන එක. එහෙමත් නැත්නම් අප සාමාන්‍යයෙන් දන්නවා කියන අවකාශයට හා කාලයට ක්වොන්ටම් ලෝකයෙ මොකක් ද වෙනත් දෙයක් වෙනවා කියන එක. කොටින් ම අප දන්නවා කියන අවකාශය හා කාලය ඉලෙක්ට්‍රෝන ඇතුළු ක්වොන්ටම් අංශුවලට වලංගු වෙනව ද කියන ප්‍රශ්නය එනවා. ඒ කියන්නෙ අප දන්නවා කියන අවකාශය හා කාලය හරි අවකාශ – කාලය හරි ක්වොන්ටම් අංශුවලට තියෙනවා ද? එය වෙනත් අවකාශයක් හා කාලයක් ද? එහෙමත් නැත්නම් අවකාශයක් හා කාලයක් ඒ අංශුවලට නැත් ද? ඉලෙක්ට්‍රොන එක් කක්‍ෂයකින් වෙනත් කක්‍ෂයකට චුත වෙනවා ද? චුත වෙන ඉලෙක්ට්‍රෝනය ම ද අනෙක් කක්‍ෂයේ ප්‍රතිසන්ධිය (අපි එහෙම කියමු) ලබන්නෙ. ඉලෙක්ට්‍රෝන පැනිල්ල දුර පැනිල්ල හරි උස පැනිල්ලන හරි වගේ දෙයක් නො වෙයි. පන්දු යවන්නාගේ අතින් ගිලිහෙන පන්දුව පථයක පිතිකරුවා දෙසට යනවා. ඒ අවකාශයේ හා කාලයෙ හරි අවකාශ -කාලයෙ හරි. ඉලෙක්ට්‍රෝන එහෙම නො වෙයි. දැන් කවුරු හරි කියන්න බැරි නැහැ රසායන විද්‍යාව අසමත් අයකුට ඕව තේරෙන්නෙ නැහැ කියා. එහෙම වෙන්නත් පුළුවන්. අර කවුද මුහුණු පොතේ කියලා තිබුණ විද්‍යාඥයකු වීමට නොහැකි වූ මා විද්‍යාව දන්නේ කොහොමද කියලා.    



කාන්ට් තම කාලය හා අවකාශය පිළිබඳ කතාවෙන් කෙළෙ නිවුටන්ගෙ කාලය හා අවකාශය පිළිබඳ කතාවට බොරු දාර්ශනික බවක් ආරෝපණය කිරීම පමණයි. අප බොහෝ දෙනකු හිතනවා කාලය හා අවකාශය ගැන අප දන්නවා කියා. කාලය හා අවකාශය ගැන එක් එක් දාර්ශනිකයා විද්‍යාඥයා කියන කතා රාශියක් තියෙනවා. සිංහල බෞද්ධයනට නම් මෙහි කිසිම ප්‍රශ්නයක් නැහැ. කාලයත් අවකාශයත් අවකාශ-කාලයත් නීල්ස් බෝර්ගේ කතාත් නැති මනස් විසින් ගොතන ලැබූ කතන්දර පමණයි. මනස් විසින් ගොතනු ලැබූ කිවුවොත් තමයි විඥානවාදී වන්නේ. වෙනත් බෞද්ධයන් කෙසේ වෙතත් සිංහල බෞද්ධයන් විඥානවාදීවත් ද්‍රව්‍යවාදීවත් වන්නේ නැහැ.



නිවුටන් මහා යාන්ත්‍රිකයක් ගොඩ නැගුවත් ඔහුගේ අත්තිවාරම බොල්. ඔහු අවකාශය හා කාලය ගැන හිතුවෙ ඒවා කොහොමටත් තියෙන දේ කියා. ඒ මදිවාට ඔහුගෙ ගෝලයො ඒ මත පදනම් වෙලා ඊනියා නිරපේක්‍ෂ කාලයක් හා නිරපේක්‍ෂ අවකාශයක් ගැන කතා කළා. නිවුටන් අවස්ථිති සමුද්දේශ රාමු ගැන කිවුවා. මේ රාමු හරියට අර්ථදක්වන්න බැහැ. ඒත් නිවුටන්ගෙ චලිත නියම වලංගු වන්නේ ඒ රාමුවල පමණයි. අනෙක් පැත්තට කියන්න පුළුවන් අවස්ථිති සමුද්දේශ රාමු කියන්නෙ නිවුටන්ගෙ චලිත නියම වලංගු වන රාමු කියලා. මේ රාමු කාටවත් නිරීක්‍ෂණය කරන්න (දකින්න සූවඳ බලන්න, අතගාන්න ආදි වශයෙන්) බැහැ. අර්නස්ට් මාක් මේ රාමු භෞතික විද්‍යාවෙ යෙදා ගැනීමට විරුද්ධ වුණා. ඔහු ඉන්ද්‍රිය ගෝචර දේ පමණක් භෞතික විද්‍යාවෙ යොදාගත යුතු බව කී ඉන්ද්‍රියානුභූතවාදියෙක් (positivist).



ඉලෙක්ට්‍රෝන ඉන්ද්‍රියානුභූත නැහැ. අප ඉලෙක්ට්‍රෝන  ඉතා කුඩා මදටිය ඇට වගේ කියා හිතෙන් මවා ගන්නවා. ඒක වැරදියි. එහෙම මවා ගන්න බැහැ. ඉලෙක්ට්‍රෝනය අංශුවක් ද තරංගයක් ද? එහෙමත් නැත්නම් වෙන ඉටි ගෙඩියක් ද? එය ඩිරැක් සමීකරණයේ විසඳුමක් පමණක් කිවුවොත් මොක ද කියන්නෙ. මා රසායන විද්‍යාව අසමත් කියා කියනවා ද? දැන් අපි භෞතික විද්‍යාවෙ ඉන්නෙ. මා භෞතික විද්‍යාව නම් සමත් වුණා. ඒත් විද්‍යාඥයෙක් වෙන්න බැරි වුණා.



අපි නිවුටන්ට නැවතත් යමු. නිවුටන්ට අවකාශයක් හා කාලයක් තිබුණා. ඒක කොහොම ඇති වුණා ද  කියන්න එයා දැන සිටියෙ නැහැ. කාන්ට් කෙළෙ ඒකට බොරු දාර්ශනික කතාවක් ගොතපු එක විතරයි. කාන්ට් කිවුව කාලය හා අවකාශය ප්‍රාගානුභූත (a priori) කියා. ලොකු වචනයක්. සුපුරුදු පරිදි ම ලොකු වචනවලින් ලොකු දෙයක් කියැවෙන්නෙ නැහැ. කාන්ට කියන්නෙ අප පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ලබන්න ඉස්සෙල්ල කාලය හා අවකාශය තිබුණ කියලා. ඒ කියන්නෙ කාලය හා අවකාශය පංචෙන්ද්‍රිය ගෝචර දේට කලින් කියලා. ප්‍රාග් කියන්නෙ පෙර ඉස්සෙල්ල කියන එකට. ඒත් ඉස්සෙල්ල කියන්නෙ කාලයෙ අර්ථ දැක්වෙන දෙයක්. පෙර පසු ආදිය කාලයෙ තියෙන දේ. දැන් මේ කියන්නෙ අනුභූතිය ලබා ගන්න පෙර කාලය තිබුණ කියලා. කාලය ප්‍රාගානුභූත කියල කියන්නෙ පෙර කියන සංකල්පය යොදා ගෙන. ඒත් පෙර තියෙන්නෙ කාලය දැන ගත්තට පස්සෙ. දැන් කාලය ගැන කතා කරන්න කාලය දැන ගත්තට පස්සෙ තියෙන සංකල්පයක් යොදා ගන්න පුළුවන් ද?



කාන්ට්ගෙ කතාව නිවුටන් එක්ක හරියනවා කියලා හිතමු. අයින්ස්ටයින් මොකක් ද කිව්වෙ. ඔහු අවකාශය හා කාලය වෙන වෙන ම ගත්තේ නැහැ. අවකාශ –- කාලය  එකක් ලෙස ගත්තෙ . කමක් නැහැ කියමුකො. ඔහු ඊට වඩා භයානක කතාවක් කිවුව. ඔහු කිවුව අවකාශ- කාලය නිර්ණය වෙන්නෙ (ලැබෙන්නෙ) ද්‍රව්‍ය හා විකිරණවලින් කියලා. ද්‍රව්‍ය කියන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර වූවක්. එහෙම නැත්නම් ද්‍රව්‍යවාදීන් වහ කාලා මැරෙයි. වහ ද්‍රව්‍යයක් හින්ද කමක් නැහැ. ඒත් ප්‍රශ්නය එය නො වෙයි. අයින්ස්ටයින්ට අනුව අවකාශ -කාලය නිර්ණය වෙන්නෙ ද්‍රව්‍යවලට පස්සෙ. එතකොට අවකාශ -– කාලය ප්‍රාගානුභූත වෙන්නෙ නැහැ. දැන් කාන්ට්ගෙ ගෝලයො මොකද කියන්නෙ. අවකාශ –- කාලය පශ්චාතානුභූත වෙනවා. සමහරවිට ඒක පශ්චාත්නූතනවාදී ද දන්නෙ නැහැ.



ඒකත් අමකක කරමු. අර රවුන් ගහන ඉලෙක්ට්‍රෝනවලට මොක ද කරන්නෙ. ඒවට ඔය කියන අවකාශ - කාලයත් හරියන්නෙ නැහැ. දැන් අවකාශ  - කාලය පශ්චාතානුභූත වෙන්නෙත් නැහැ. අනේ මන්ද කාලෝ නැහැ කාන්ට්!