History

Saturday, 6 October 2018

තා නොවන තෝ


තා නොවන තෝ



තමන් මහා පඬියන් යැයි සිතාගෙන සිටින බොහෝ අයට මූලික තර්ක ඥානයවත් නැති බව මා අත් දැකීමෙන් දන්නා දෙයක්. ඔවුන් සුරංගනා ලෝකවල ඉන්නෙ. මෙරට පුහු වීරයන් වෙන්න තියෙන හොඳ ම විධිය තමයි සුරංගනා කතා කියන එක. බුදුහාමුදුරුවො සුරංගනා කතා කිව්වෙ නැහැ. මේ ලෝකයේ ඇති නැති පරතරය නැති කිරීම වගේ පුහු කතා උන්වහන්සේගේ දේශනාවල ඇතුළත් වුනේ නැහැ. ඇති නැති පරතරය ලෝකයේ හැමදාමත් තියේවි. මා දන්නා අන්දමට බොහෝ දෙනා ඊනියා සමාජවාදයක් ගැන කතා කරල තියෙනවා. ඒ සමාජවාද මනෝරාජික සමාජවාද ලෙසයි මාක්ස්වාදීන් සැලකුවේ. ඒවා හොඳ සුරංගනා කතා හැටියටයි සැලකුණෙ.




මාක්ස් ඊනියා විද්‍යාත්මක සමාජවාදයක් ඉදිරිපත් කළා. ඊනියා විද්‍යාත්මක සමාජවාදය මාක්ස්වාදයෙන් වෙන් කරන්න බැහැ. ඊනියා විද්‍යාත්මක සමාජවාදයත් තවත් මනෝරාජික සමාජවාදයක් පමණයි. මොන සමාජවාදයක් ගැන කතා කළත් ඒ එක්කෝ කරුණාව, අනුකම්පාව ආදිය මත පදනම් වී කෙරෙන ප්‍රකාශයක් පමණයි. එය ඊනියා විද්‍යාත්මක ආලවට්ටම්වලින් සරසා ඉදිරිපත් කරන්නත් පුළුවන්. කරුණාව ආදිය වරදක් නොවෙයි. එහෙත් ඒ මත පදනම් වී සුරංගනා කතා කීම තමන් ම රවටා ගෙන නොදැනුවත් ව  අනික් අයත් රැවටීමක් පමණයි. ඊනියා විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන් නම් මිනිසුන් ලක්‍ෂ ගණනින් මිය ගිහින් තියෙනවා. ලංකාවෙත් විශාල පිරිසක් මිය ගියා. එහෙත් ලෝකයේ කොහේවත් ඊනියා සමාජවාදයක් ඇති වී නැහැ.



අනෙක් අතට සමහරු  ඕනෑකමින් ම අනෙක් අය රැවටීමට ඊනියා සමාජවාදයක් ගැන කතා කරනවා. ඒ බොහෝ විට ඡන්ද මගඩියක් ලෙස. අද මෙරට නම් එ ජා පක්‍ෂයත් කම්කරුවන්ගේ වෘත්තීය සමිති මෙහෙයවනවා. ඔවුනුත් සමාජවාදයක් ගැන කතා කරනවා.  චින්තනයක් ගැන කියා මෙරට ඔබින දැනුමක් ගැන කියන්නේ තවත් සමාජවාදයක් ගැන කීමට නො වෙයි. ඊනියා සමාජවාදයක් චින්තන වැඩ පිළිවෙලේ නැහැ.



අංගුලිමාල බුදුහාමුදුරුවන්ට  මහණ තෝ හිටු කියා කිව්වා. බුදුදහාමුදුරුවන් දේශනා කෙළේ තමන්වහන්සේ නැවතී ඇති බවත් අංගුලිමාල නැවතී නැති බවත්. ඒ උන්වහන්සේ ලෝකෝත්තර වශයෙන් සම්මා සම්බුද්ධත්වයට පැමිණ සසර ගමන නවතා තිබූ හෙයින්. ලෞකික ව සිංහල බෞද්ධ  චින්තනයේ නැවතිලා ඉන්න අයට දෙහි කපමින් නූතන අංගුලිමාලයන් තවමත් සිංහල බෞද්ධයන්ගේ ඇඟිලි කපමින් තැනින් තැනට යනවා. චින්තනයෙන් චින්තනයට යනවා. මේ ගමන ඉක්මන් කරනවා නම් හොඳයි කියලා හිතනවා.  මේ නූතන අංගුලිමාලයන් මහා චින්තකයන් මානව හිතවාදීන් ලෙස පෙනී සිටිනවා.



මෙරට ඊනියා උගතුන්ට තර්ක කිරීමට නොහැකි වීමට මූලික හේතුව ඔවුන්ගේ අනුමාන නීති (Rules of Inference) ගැන ඇති නො දැනුමයි. ගණිතය උගන්නා බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ද මේ දැනුම නොමැති කල අන් අය ගැන කවරේ ද? එවැනි පාඨමාලාවක් කැලණියේ ඇති කිරීමට ගත් උත්සාහයක් ඊනියා උගතුන් විසින් නැති කෙරුණා. තම නොහැකියාව වසා ගැනීමට ඇතැමුන් බර වචන යොදා ගන්නවා. සාමාන්‍ය වචන යොදා නොගෙන, නිරවුල් ව පැහැදිලි ව තර්ක නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ අනුමාන නීති නොදැනුමයි. මාක්ස්වාදය ගැන එහෙන් මෙහෙන් අහුලා ගත් අදහස් ඇති අය සිතන්නේ තමන්ට පරිපූර්ණ දාර්ශනික පද්ධතියක් ඇති බවත් අනෙක් අයට එසේ නොමැති බවත්. බොහෝ දෙනකුට චතුස්කෝටිකය තබා ද්විකෝටිකයවත් තේරෙන්නේ නැහැ. සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වන්නේ  සරල දැනුම් පද්ධතියක්. එය සිංහල බෞද්ධ යැයි කීම ඇතැමුන් නොරුස්සනවා විය හැකියි. නිවන යනු දැනුමක් නොව ඊනියා දැනුම මායාවක් බව සම්බෝධයයි.  සම්බෝධය නිවන සම්බන්ධයෙනුත් අවබෝධය ඊනියා දැනුම සම්බන්ධයෙනුත් යොදා ගන්නවා. මාක්ස්වාදීන් කිසිවකු තවම මාක්ස්වාදයේ දරිද්‍රතාවට හෝ අපෝහකයේ රූපිකයට හෝ පිළිතුරු දී නැහැ.



බොහෝ කලකට පෙර කොටි පරාජය කළ යුතු බව හා කළ හැකි බව කිව්වා. එයින් කියැවුණේ දේශපාලන නායකත්වයක් ඇතිව හමුදා මෙහෙයුම් නිසි පරිදි කළහොත් කොටි පරාජය කළ හැකි බවයි. අවසානයේ දී මහින්ද, ගෝඨාභය සහ සරත් ෆොන්සේකා ත්‍රිත්වය ඒ දේ කළා. කොටි පරාජය කළ යුතු ය හැකිය යැයි කීමෙන් හමුදා සැකැස්ම මා අතින් කෙරි යුතු බවක් කියැවෙන්නේ නැහැ. ඒ මා කියන දේ පිළිගන්නේ නම්, එය ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැඩක්.  හමුදාවට භටයන් යැවීම මගේ වැඩක් වන්නේ නැහැ. මා කිසිවකුටවත් හමුදාවට බැඳෙන්න හෝ නොබැඳෙන්න හෝ කියා නැහැ. මට එසේ කීමට අයිතියකුත් නැහැ. මට කළ හැක්කේ මා හමුදාවට බැඳීම ගැන තීරණයක් ගැනීම පමණයි. මගේ වයස අනුව හමුදාවට මා බන්දා නොගන්නා බව මා දැන සිටියා. එබැවින් ඒ තීරණය ගැනීම අවශ්‍ය වූයේ නැහැ. අනෙක් කිසිවකුට  මා කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් කියා නැහැ.



හමුදාව සටන් මෙහෙයවිය (ඊනියා යුද්ධයට) යුතු බව කීමෙන් නිගමනය වන්නේ නැහැ කිසිවකු හමුදාවට බැඳිය යුතු යැයි කී බවක්. ඒ ප්‍රස්තුත දෙක අතර ඇති තර්කානුකූල සම්බන්ධය කුමක් ? පළමුවැන්නෙන් දෙවැන්න නිගමනය බව කීම කිනම් අනුමාන නීතියකට එකඟ ද? මෙය ගණිතයෙ ප්‍රශ්නයක් නො වෙයි. පළමුවැනි ප්‍රස්තුතයෙන් දෙවැනි ප්‍රස්තුතය නිගමනය වන බව කිව හැක්කේ අනුමාන නීති නොදත් අයකුට පමණයි. එහෙත් එවැන්නන් අද ජනමාධ්‍යයේත් මුහුණු පොතේත් විශ්වවිද්‍යාලවලත් දැකිය හැකියි.



හමුදාවට සාමාජිකයන් බඳවා ගැනීමට ඒ ඒ ආයතන තියෙනවා. හමුදාවට බැඳෙන්නට ඉල්ලුම් පත යවන එක ඒ එ අයගේ වැඩක්. ඒ ඉල්ලුම් කරන්නන්ගෙන් බඳවා ගන්නේ කවුදැයි තීරණය කිරීම හමුදාවෙ වැඩක්. එය මගේවත් තගේවත් වැඩක් නො වෙයි.