History

Thursday, 1 November 2018

අරාබි වසන්තයක්


අරාබි වසන්තයක්



එංගලන්ත (අවශ්‍ය ම නම් එක්සත් රාජ්‍යය) පාර්ලිමේන්තුවෙ කියල තියෙනවා ලංකාවෙ අගමැති හැටියට පිළිගන්නෙ රනිල් වික්‍රමසිංහ කියලා. ඒක භයානක කතාවක්. එංගලන්තෙට අපේ අගමැති කවුද කියා තීරණය කරන්න බැරි බව දන්නවා. ඒත් මේ කියන්නෙ එන පොට හොඳ නැති බවයි. මේ වැඩේ පටන් ගත්තෙ රනිල් තමන්ට කැමති තානාපතිලා හා මහා කොමසාර්ස්ලා ගෙන්නලා තමන්ගෙ දුක් ගැනවිල්ල කිවුවට පස්සෙ. ඔහු සෘජුව හෝ වක්‍රව හෝ ඒ රටවලට කියා ඇත්තේ තමා ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කළ අගමැති බැවින්  අගමැති තනතුරේ කටයුතු කිරීමට අවස්ථාව සලසන්න කියා. අද ඔහුට පාර්ලිමෙන්තුවේ බහුතරයක් නැහැ. එ  ගැන අපි පස්සෙ කතා කරමු. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති නිසා රනිල් බටහිරයන් එක්ක අර බැරිවෙච්ච අරාබි වසන්තය ඇති කරන්න හදනවා.




රනිල්ට පිළිතුරු වශයෙන් මෛත්‍රිපාල තානාපතීන් හා මහා කොමසාරිස්ලා කැඳවා මහින්ද රාජපක්‍ෂ ව්‍යවස්ථානුකූල ව පත් කෙරී ඇති බව පවසා තියෙනවා. එය වරදක් නො වෙයි. රනිල්ට පිළිතුරක් දිය යුතුයි. එහෙත් ඒ පිළිතුර කිරි ගහට ඇන්නා වගේ එකක් විය යුතුයි. ඇණය හරියට ගසා තියෙද්දීත් ඇඟිල්ලට මිටි පහර එල්ල කර ගන්න එක හොඳ වැඩක් නො වෙයි. මෛත්‍රිපාල තානාපතිවරුන්ට දුන් පිළිතුර හරි නැති බවයි මා අනාගත්තා ඇති ලිපියෙන් කිවුවේ. දිය යුතුව තිබූ පිළිතුර ගැනත් මා එහි කියා ඇති. එදා මෛත්‍රිපාලට විරුද්ධ වූවන් අද මෛත්‍රිපාල වෙනුවෙන් කතා කරන්න ඒම පුදුමයක් නො වෙයි. මා මෛත්‍රිපාල වෙනුවෙන්වත් මහින්ද වෙනුවෙන්වත් කතා කරන්නේ නැහැ. දැන් පඬියකු අහන්න බැරි නැහැ මා කතා කරන්නේ රනිල් වෙනුවෙන් ද කියා.

               

එංගලන්තය හා ඉන්දියාව අපේ ප්‍රධාන විරුද්ධකාරයන් බව මා නොයෙක් වර කියා ඇති. අද ඉන්දියාව නිශ්ශබ්දයි. එයටත් හේතුවක් තියෙනවා. එංගලන්තය ප්‍රසිද්ධියේ ම රනිල්ට සහාය දක්වනවා. මෙය එංගලන්තයට කරුණු පැහැදිලි කිරීමෙන් වෙනස් කරන්න බැහැ. අප කොතෙක් කිවුවත් පාර්ලිමේන්තුව රැස්වෙලා රනිල් විශ්වාස භංගයක් ගෙනැල්ල හැකිනන් පරද්දනකන්  එංගලන්තය ඔය කතාව කියාවි. එංගලන්තයට කරුණු පැහැදිලි කිරීමෙන් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට බැරි වුවත් අප ඔවුන්ට නිසි පිළිතුරු දෙන්න ඕන.  මෛත්‍රිපාල දුන් පිළිතුර ගැන මා සෑහීමකට පත්වන්නේ නැහැ. ඔහු දැක්වූ හේතු බිඳ දමන්න අපහසු නැහැ. ඒ ඔහුට කවුරුන් නමුත් ලියා දුන් පිළිතුරක්. මේ පිළිතුරු ලියන්නන් ගැන මට පැහැදීමක් නැහැ.



නිසි පිළිතුරු නොදුන් විට එංගලන්තය ඒ දුර්වල පිළිතුරු අවියක් කර ගන්නවා. අද බටහිරයන් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලනවා. කතානායකත් ඒ අස්සෙ තමන් කැමති තානාපතිවරු පමණක් හමුවෙනවා. ඔහුට තානාපතිවරුන් කැඳවල කියන්න තියෙන්නෙ මොකක් ද? රනිල්ලා ඔහුගෙන් ඉල්ලා සිටියා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස. එහෙත් කතානායකට පාර්ලිමේන්තුව දැන් කැඳවන්න බැහැ. පාර්ලිමේන්තු සැසි වාරයක් අවසන් කර ඊළඟ සැසිවාරය මාස දෙකකට කල් දැමීමට ජනාධිපතිට පුළුවන්. වෙන කාටවත් බැහැ. අද ප්‍රායෝගික ව ගත්තම පාර්ලිමේන්තුව දවස් එකොළහකින් කල් දමා තියෙනවා. අලුත් ආණ්ඩුවට අතුරු අයවැයක් ඉදිරිපත් කරන්න කල් අවශ්‍ය බවයි කියැවෙන්නෙ. එය වැදගත් හේතුවක්. එංගලන්තය හිතන්නේ මේ දවස් එකොළහෙන් ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යයි කියල ද? 2010 අප්‍රේල් 8 වැනි දා එංගලන්ත පාර්ලිමේන්තුවේ සැසිවාරයක් කල් දැම්මා. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කල් ගැනීමට. එංගලන්ත ප්‍රජාතන්ත්‍රවාදය එදා මිය ගියේ නැහැ. එංගලන්තයේ එය කරන්නේ ඔවුන්ගේ රැජන මිස වෙන අයකු නො වෙයි.කැනඩාවේ ඕස්ත්‍රේලියාවේ පාර්ලිමේන්තු සැසිවාර කල් දමනවා. ඒ ඔවුන්ගේ අග්‍රාණ්ඩුකාරයන් විසින්. ඒ කිසි අවස්ථාවක දී ප්‍රජාතන්ත්‍රවාදය මිය ගිය බවට සාක්‍ෂි නැහැ.



කතානායකට පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. ජනාධිපති ඊළඟ සැසිවාරය නොවැම්බර් 16 ඇරඹීමට නියමිතයි. එයට පෙර කතානායකට පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. ඔහුට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අගමැති පත්කිරීම ගැන දෙවරක් දී ඇති මත ගැන ඔහු කතා කරන්නේ නැහැ. ඔහු මෙරට සිටි අපකීර්තිමත් ම කතානායකවරයා.  මේ අතර කතාබහක් යනවා සිකුරාදා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට. ඒ ආණ්ඩුව පිහිටුවන්නේ කවුද? කතානායක ද? එංගලන්ත මහා කොමසාරිස් ද? මොන ආණ්ඩුවක්වත් පිහිටුවන්න අගමැති කෙනකු ඉන්න ඕන. අගමැති පත් කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. ඒ විතරක් නොවෙයි ඇමතිවරුන් පත් කරන්නත් පුළුවන් ජනාධිපතිට විතරයි. ජනාධිපති ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැති විමසන්න ඕන, නැත්නම් උපදෙස් ගන්න ඕන. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ ඇමතිවරුන් පත් කරන්නෙ අගමැති කියලා. මේ අලුත් ආණ්ඩුව කියන්නෙ මොකක් ද? ඊනියා ජාතික ආණ්ඩුවක් කියල කියැවෙනවා. ඒත් 46(5)  අනුව්‍යවස්ථාවට අනුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පක්‍ෂයට වෙනත් පක්‍ෂ/කණ්ඩායම් සමග එකතු වී.



මෙහි වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා කියන එක පැහැදිලි නැහැ. එය පාර්ලිමේන්තු මැතිවරණයකින් ද? අද ඊයේ මැතිවරණයක් පවත්වා නැහැ. එය පසුගිය මැතිවරණය වෙන්න බැහැ. අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී සංයුතිය  වෙනස් වෙලා. එ ජා පෙරමුණට 2015 දි 106ක් ලැබුණත් කතානායක තවදුරටත් එ ජා පෙරමුණේ නො වෙයි. මන්ත්‍රීවරන් කිහිප දෙනකු මහින්දට එකතු වෙලා. අද එ ජා පෙරමුණට ඉන්න මන්ත්‍රීන් සංඛ්‍යාවට (99) වඩා මන්ත්‍රීන් සංඛ්‍යාවක් එ ජ නි සංධානය වටා ඉන්නවා. අද පාර්ලිමේන්තුවේ ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න එ ජා පෙරමුණට බැහැ. ඒ කොහොම වුණත් අලුත් ආණ්ඩුවක් හැදීමට එ ජා පෙරමුණ තීරණය කර ඇත්තේ පසුගිය 26 වැනි දා තෙක් පැවති ආණ්ඩුව දැන් නැති බව එ ජා පෙරමුණ පිළිගන්නා බැවින් ද?



මේ ඊනියා ජනවරම ගැනත් වචනයක් කියන්න ඕන. පෙබරවාරි මස පැවැත් වූ මැතිවරණය පාර්ලිමේන්තුව සඳහා නොවුණත් යම් ආකාරයකට ජනමතය ප්‍රකාශ වී ඇති අලුත් ම මැතිවරණය එයයි. එහි දී ශ්‍රී ල නි පක්‍ෂයට හා පොදුජන පෙරමුණට ඡන්ද 58%ක පමණ ප්‍රමාණයක් ලැබුණා. එදා මේ ප්‍රතිශත පෙන්වන විට මට සිරිජාතිකවාදියා කියු අයට මේ 58% වැදගත් වෙනවා. අද අලුත් ආණ්ඩුව සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් මේ   පක්‍ෂවල එකතුවෙන්. එයට අමතරව වසන්ත සේනානායක ආදීන් ද ඉන්නවා.



එබැවින් වඩාත්ම ආසන්න මැතිවරණ ප්‍රතිඵල අනුව අපට පහසුවෙන් ම උපකල්පනය කරන්න පුළුවන් අලුත් ආණ්ඩුවට 59%ක පමණ ජනවරමක් තියෙනවා කියා. එ ජා පෙරමුණට 36%කට වඩා නැහැ. ඒ ජනවරමින් ද සිකුරාදා ආණ්ඩු හදන්නෙ? ආණ්ඩුවක් හදන්නෙ මරණාධාර සමිතියක් හදනවා වගේ කිහිප දෙනකු එකතු වීමෙන් නොවෙයි. ආණ්ඩුව හදන්න ජනාධිපති කෙනකු ඉන්නවා.කතානායකලාත් රනිල්ලාත් මහා කොමසාරිස්ලාත් රාජීතලාත් චම්පකලාත් පරාජය නොපිළිගන්නේ අරාබි වසන්තයක් සඳහා ද?