History

Wednesday, 14 November 2018

තීන්දුවක් නොවන අතුරු නියෝගය (නොවැම්බර් 14 පළමුවැනි ලිපිය)


තීන්දුවක් නොවන අතුරු නියෝගය



ජනාධිපති ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී යැයි පවසා ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රෙෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් දීලා. එය නඩුු තීන්දුව නොවන බව පළමුවෙන් ම පැහැදිලි කර ගත යුතුයි. නඩුව දෙසැම්බර් 4, 5, 6 දිනවල අසා 7 වැනි දා තීන්දුව දේවි. දැනට සිදු වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීමත් තීන්දුව දෙන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට පියවර නොගැනීමටත් නියෝග කිරීම පමණයි.




මේ අතුරු නියෝගය නිසා මහින්ද රාජපක්‍ෂගේ අගමැතිකමවත් අමාත්‍ය මණ්ඩලයේ ඇමති ධුරවත් අහිමි වන්නේ නැහැ. එහෙත් රාජ්‍ය ඇමතිවරුන්ට හා  නියෝජ්‍ය ඇමතිවරුන්ට නැවතත් යම් කාලයකට තම තනතුරු හිමි වෙනවා. විශ්‍රාම වැටුප් අහිමි වූ මන්ත්‍රීන්ට නව බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. රනිල් අගමැති ධුරය දැරීම නතර කර මහින්ද අගමැති තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් කිසිවකු අධිකරණය ඉදිරියට ගියේ නැහැ. 42(4) හා 43(3) යටතේ ඒ සිදු වූවා.  රනිල් පසුගිය 26 වැනි දා සිට අගමැති නො වෙයි. ඔහු හා පිරිසක් අරලිය ගහ මන්දිරය අවභාවිතා කරනවා. එහෙත් එපමණකින් ඔහු අගමැති වන්නේ නැහැ. අරලිය ගහ මැදුර අගමැතිගේ නිල නිවාසය වුවත් එහි විලෝමය එනම් අරලිය ගහ මන්දිරයේ නැවතී සිටින අයකු අගමැති වන්නේ ය යන්න වලංගු නැහැ.



ඉස්සර නම් සිංහල සිරිතක් තිබුණා දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂකයා රටේ භාරකාරයා කියා. අරලිය ගහ මන්දිරයේ ආරක්‍ෂකයා ආරක්‍ෂක නිලධාරියකු පමණයි. සිංහල සිරිත් විරිත් නොදන්නා අය දේශපාලනයේ යෙදෙන විට නොයෙකුත් වැරදි සිදු වෙනවා. කාට කාටත් රාජ්‍ය දේපොළ අවභාවිතය පිළිබඳ ව දිනක උත්තර බඳින්න වේවි.



මා තහනම් නියෝගයේ හරි වැරදි කියන්න යන්නේ නැහැ. එය අතුරු නියෝගයක් පමණයි. මෙවැනි අතුරු නියෝග නඩුවල දෙනවා. ඒ ගැන කලබල වන්න අවශ්‍ය නැහැ. කළ යුත්තේ කුමක් දැයි කල්පනා කර සාකච්ඡාවෙන් පසු නිගමනයකට එළඹිය යුතුයි. කෙසේ වෙතත් අප පළමු කොට ම අතුරු නියෝගයට ගරු කළ යුතුයි. නීතිය අපේ නොවුණත් අප එය ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ.



අතුරු නියෝගය ගැන නැවත විනිශ්චයක් ඉල්ලන්න පුළුවන්. විනිසුරුවන් තිදෙනකුට වඩා සහභාගි වන විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කරුණු දැක්වීමට අවසර ඉල්ලන්න පුළුවන්. තවත් ව්‍යවස්ථානුකුල පියවර ගන්න පුළුවන්. එහෙත් එතෙක් අතුරු නියෝගය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ පිළිබඳ විවාදයක් නැහැ. අතුරු නියෝගය නිසා මේ වන විට ජනාධිපති වෙනත් තීරණයක් අරගන නැත්නම් බදාදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මා හිතන්නේ එය එසේ ම විය යුතු ය කියා.



ඉන් පසු ගත හැකි පියවර රාශියක් තියෙනවා. අවශ්‍ය පරිදි ඒ සාකච්ඡා කරමු.  නීතිඥ මහත්වරුන් විවිධ උපදෙස් දේවි. බලධාරීන් ඒවාට සවන් දේවි. ජනමත විචාරණයක් පැවැත්වීම, පාර්ලිමේන්තුව දෙසැම්බර් 8 වැනි දාට හෝ ඉන්පසු දිනයකට හෝ කල් දැමීම ආදිය කරන්න පුළුවන්. එහෙත් දහහතරවැනි දා පාර්ලිමේන්තුව රැස්විය යුතු යැයි මා සිතනවා. එය අධිකරණ නියෝගයට එකඟයි.



එසේ රැස්වී ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා සභාව කල් තැබිය හැකියි. ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියවීම අනිවාර්ය නොවන බව ද මෙහි දී සඳහන් කළ යුතුයි. එහෙත් අර බලය ඇත්තේ කාට ද කියා බලන්න ඔළුගෙඩි ගණන් කිරීමකට ඉඩක් නැහැ. ස්ථාවර නියෝගවලට පටහැණි දේ කරන්න බැහැ. ස්ථාවර නියෝගවලට පටහැණි දේ කිරීමට ස්ථාවර නියෝග අත්හිටුවන්නත් බැහැ. ස්ථාවර නියොාග අත්හිටුවීමේදීත් බලපාන සම්ප්‍රදාය තිබෙනවා.



ඇතැමුන්ගේ මතයක් තිබෙනවා මේ ඉඩකඩ යොදා ගනිමින් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනේවී කියා. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. එයට කල් ගත වෙනවා. ඒ අතරතුර ජනාධිපතිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර නම් 70(1) (ඇ) අනුව්‍යවස්ථාවට අනුව කතානායක ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් පිළිගෙන ඇත්නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ.  



එහෙත් දහනවයෙන් පසු  ඒ අනුව්‍යවස්ථාව නැහැ. අද ඇත්තේ පහුගිය දිනවල කතාබහට ලක් වූ 70(1) පමණයි. එබැවින් කතානායක දෝෂාභියෝගයක් පිළිගත් පමණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බාධාවක් වන්නේ නැහැ. ජනාධිපතිට 70(5) (ආ) යටතේ 62(2) අනුව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. එය 33(2) (ඇ) අනුව්‍යවස්ථාව සමග පටලවා ගන්න අවශ්‍ය නැහැ. 33(2) (ඇ) සඳහන් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අමතරව කියන වචනය දහනවවැනි සංශෝධනයට පෙරත් 33 වැනි ව්‍යවස්ථාව යටතේ තිබුණා. අප දහනවවැනි සංශෝධනයට පෙර හා පසු ව්‍යවස්ථා සංසන්දනය කරනවා නම් පටලැවිලි අඩු කර ගන්න පුළුවන්.



මැතිවරණ කොමිසමට දී ඇති නියෝගය නම් තරමක ප්‍රශ්නයක්.දෙසැම්බර් 7 වැනි දා ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කළහොත් ජනාධිපති  නිකුත් කළ ගෑසට් නිවේදනය ව්‍යවස්ථානුකූල යැයි කියා එවිට මැතිවරණ කොමිසම මැතිවරණයක් සම්බන්ධයෙන් තම කටයුතු දැනට නොකරන බැවින් ජනවාරි 5 වැනි දා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වෙනවා.   



අද ඇත්තේ ජාතික හා විජාතික බලවේග අතර සටනක්. බටහිර තානාපති කාර්යාල විජාතික බලවේග පිටුපස ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය අරාබි වසන්තයක්. විදේශ ඇමති තානාපතිවරුන් කැඳ වූ විට නොයන තානාපතිවරු කතානායකට කිසිම බලයක් නැතිව කැඳවූ විට යනවා. අද බටහිරයන්ට අවශ්‍ය සිංහල බෞද්ධකමට පහර දෙන්න. අප එයට ඉඩ දෙනවා ද?



ථෙරවාදී සංස්කෘතීන් නැසීමට බටහිරයන් උත්සාහ කරනවා. ලංකාව හා මියන්මාරය හොඳ උදාහරණ. බටහිරයන්ගේ මිනුම් දඬු අනුව අප දුප්පත් වන්න පුළුවන්. එහෙත් අප වෙනත් මිමිවලින් බැලුවෙත් පොහොසත්. අධ්‍යාපනය විසින් අප නොමග යවනු ලැබ තිබෙනවා. අප අපේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුයි. අප බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික දැනුම් ආධිපත්‍යයෙන් මිදිය යුතුයි. එතෙක් අප වෙත පටවා ඇති නීතියට ගරු කළ යුතුයි.



අධිකරණයට මේ මොහොතේ අවශ්‍ය පාර්ලිම්න්තුව විසුරුවා නොහැර නව පර්ලිමේන්තු සැසි වාරයක් ඇරඹීමයි. අපි එයට අනුගත වෙමු. එහෙත් මේ සැසිවාරයේ දී බැඳුම්කරය පිළිබඳ සියලු කෝප් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි මා සිතනවා. ජනමාධ්‍යයට ඒ වාර්තාවලට ප්‍රචාරයක් දිය හැකියි. ඩිව් ගුණසේකර වාර්තාව ඉදිරිපත් කිරීම වැළැක්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව අපට අමතක නැහැ. කිසිම බටහිර රටක් ඒ අවස්ථාවේ දී ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කටක් ඇරියේ නැහැ. බටහිරයන් කට අරින්නේ අප ගිල ගැනීමට බව අවුරුදු පන්සියකට වැඩි කාලයක් තිස්සේ අප දන්නවා.