History

Tuesday, 20 November 2018

එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි


එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි



ඊනියා කතානායක ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් නැහැ. සමහරවිට මුහුණ  දෙන්න බැරුව වෙන්න ඇති. ඒ කොහොම වෙතත් ඊයේ සද්ද තිබුණෙ නැහැ. ගාල ගෝට්ටි නැහැ. නියෝජ්‍ය කතානායක තම කාර්යය ඉටු කළා. ඔහු ස්ථාවර නියෝග අත්හිටුවන්න සුමන්තිරන් හෙවුවෙ නැහැ. ස්ථාවර නියෝග අනුව වැඩ කළා. ඒත් මංගල කොහේදෝ ඉඳන් කෑ ගැහුවා ආණ්ඩුවක් නැහැ කියලා. ව්‍යවස්ථාවෙ 48(2) අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරිලා කිවුවා.




මංගල එහෙම කියන්නෙ මහින්දට විරුද්ධව විශ්වාස භංග යෝජනාව සම්මත වුණා කියල හිතාගෙන. ඒත් ඒ ඊනියා විශ්වාසභංගෙ සම්මත වුණෙ නැහැ. ඒක දැන් පොඩි ළමයිනුත් දන්නවා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවලා එහෙම විශ්වාසභංගයක් තබා යෝජනාවක්වත් ගෙන එන්න බැහැ. ඊනියා විශ්වාසභංග යෝජනාව හිස් එකක්, ශූන්‍ය එකක්. එයට කිසිම වලංගුබවක් නැහැ. ඊනියා කතානායක කිවුවට ආණ්ඩු මාරු කරන්න බැහැ. ඒ සඳහා නීති රීති පිළිගත් සම්ප්‍රදාය  තියෙනවා. ඊනියා කතානායක ඒව උල්ලංඝනය කරලා අද පාර්ලිමේන්තුවට මුහුණ දෙන්න බැරිව ඉන්නවා.



නියෝජ්‍ය කතානායක කාරක සභා පිහිටුවන්න පියවර අරගෙන. පහුගිය දවස්වල ඊනියා කතානායක කාරක සභා පිහිටුවන්න විරුද්ධ වුණේ ඇයි. ඔහු ඒක පැත්තකින් තියලා ස්ථාවර නියෝග අත්හිටුවලා වැඩ අල්ලන්න හැදුවා. ඔහුට අවශ්‍ය වුණෙ බටහිරයන්ගෙ වුවමනාවට මහින්ද ඉවත් කරන්න. එයින් ගාල ගෝට්ටි ඇති වුණා. අද මධ්‍යම පන්තික පඬියන්ට ලොකු අමාරුවක් වෙලා. මේ ගාල ගෝට්ටි නිසා රටට අගෞරවයක් වෙනවලු. රටේ නම්බුව ඉවරයි කියනවා. අප වෙනත් රටක පාර්ලිමේන්තුවක කෝලාහල වුණා ම ගණන් ගන්නවා ද? අපේ රට ගැනත් අනෙක් අය කටයුතු කරන්නෙ එහෙමයි. එංගලන්තය වගේ රටවල් කිහිපයක නායකයන් හා ජනමාධ්‍යවේදීන් පමණක් ප්‍රශ්නය ගැන උනන්දුවක් දක්වාවි.



එහෙත් අප ඔවුන් ගැන කරදර වන්න අවශ්‍ය නැහැ. ඔවුන් කවදත් ලංකාව ගැන කතා කෙළෙ හොඳ හිතකින් නො වෙයි. ඔවුන් අපට කොහොමටත් විරුද්ධයි. ඔවුන් විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියටයි. අපට ඔවුන් හදන්න බැහැ. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භාවනා කළත් ඔවුන් විරුද්ධ වේවි. වැඩියෙන් විරුද්ධ වේවි. මේ කතා වැඩිපුර කියන්නෙ මධ්‍යම පාන්තික පඬියන්. ඔවුන් පසු දිනෙක නැවතත් මේ පැත්තට ඒවි.



එහෙත් අපට විසඳගන්න ඊට වඩා වැදගත් ප්‍රශ්න තියෙනවා. 113 ලබා ගන්න පුළුවන් නම් හොඳයි. බැරි වුණත් සුළුතර ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. සුළුතර ආණ්ඩු මේ රටේත් තිබිල තියෙනවා. බටහිර තානාපතින්ට මතක නැති වුණාට ඒ රටවලත් සුළුතර ආණ්ඩු තිබිල තියෙනචා. තානාපතිවරු තොත්ත බබාල වෙන්න හදනවා. සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යෑම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද පහරක් නො වෙයි.



අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙ උපරිම විශ්වාසය දිනාගත හැක්කෙ මහින්ද රාජපක්‍ෂට. ඊනියා කතානායකත් පිළිගන්නවා එ ජා පෙරමුණට වඩා නව සංධානයට මන්ත්‍රීවරුන් ඉන්නවා කියා. රනිල් අගමැති කරන්න කියල ඡන්දයක් පැවැත්වුවහොත් කී දෙනකු ඡන්දය දේවි ද? හඬින් වුවත් ඔහුට ඇත්තේ කී දෙනා ද? සජිත්ට පනහක් පමණ ඉන්න පුළුවන්. අනුරට කී දෙනෙක් ඉන්නවා ද? සුමන්තිරන්ට මේ ආදී වශයෙන් අහගෙන යන්න කාට ද වැඩිය ඉන්නෙ කියල බලන්න. ජනාධිපති ගත්ත තීරණය හරි. මහින්දට තමයි උපරිම විශ්වාසය තියෙන්නෙ.



නිවැරදි ව ගෙනෙන විශ්වාසභංගයකින් ආණ්ඩුව පැරදෙවුවොත් අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. ඊනියා විශ්වාසභංග සම්මත වීම නිසා අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නෙ මංගලලාගෙ ඔළුවෙ විතරයි.  අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරුණත් අගමැති ලෙස පත් කරන්නෙ කාව ද? එවැනි අවස්ථාවකත් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත හැකි පුද්හලයා කවුද? මහින්ද ද, රනිල් ද, සජිත් ද? අනුර දිසානායක ද, සුමන්තිරන් ද?



එ ජා පෙ වැඩ කරන්නෙ සුළුතර ආණ්ඩුවක් කියන එක නෙදැන වෙන්න බැහැ. බහුතරය නැතිවත් සුදුසු අගමැතිවරයකු යටතේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. මේ ආණ්ඩුවට 113ක් ගන්න බැරි බවක් මෙයින් කියැවෙන්නෙ නැහැ. මා කියන්නෙ 113ක් ගන්න බැරි වුණත් සුළුතර ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා.



නියෝජ්‍ය කතානායක ස්ථාවර නියෝගවලට යටත් ව කටයුතු කරන්න සූදානම් නමුත් ඊනියා කතානායකත් රනිල් අනුර සුමන්තිරන් හවුලත් එයට සූදානම් නැති බව ඔවුන් කියන කරන දෙයින් පේනවා. මේ අය ස්ථාවර නියෝග කියවලා නැතුව වෙන්න බැහැ. සම්ප්‍රදාය දන්නෙ නැතුව වෙන්න බැහැ. අද තේරීම් කාරක සභාවෙ ආණ්ඩු පක්‍ෂයට බහුතරයක් දෙනවට අනුර විරුද්ධයි. මේ නැවතත් සුළුතර ආණ්ඩුවක් කියන්නෙ මොකක් ද කියල නෙදැන කරන කතා.



ඒ අතර ආණ්ඩුවේ වැඩවලට මුදල් නොදෙන්න යෝජනාවක් ගෙනැල්ල. මුදල් පිළිබඳ පනත් යෝජනා විරුද්ධ පක්‍ෂයට ගේන්න බැරි බව ඔවුන් දන්නෙ නැතිව ද? ඊනියා කතානායක එයට ඉඩ දෙන්න යන බව පැහැදිලියි. ඊනියා කතානායකට අවශ්‍ය අගමැති වෙන්න ද? ජනාධිපති වෙන්න ද? ඔහුට ඒ දෙකෙන් එකක්වත් බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඔහුට ගෙදර යන්න නම් පුළුවන් වේවි.



ඒ කොහොම වුණත් ජාතික කඳවුරට තව හුඟක් වැඩ තියෙනවා. රට අද ආධ්‍යාත්මික ව පිරිහිලා. ඊයේත් අහන්න ලැබුණා පුතකු දෙමව්පියන් ඝාතනය කිරීම පිළිබඳ පුවතක්. මේ අධාර්මික බව නිසා මිථ්‍යාදෘෂ්ටික දේවතාවුන් බලවත් වෙලා. මේ චීවර මාසයේ රටට සෙත් පතා බෝධි පූජා දෙවියන්ට පහන් තැබීම වැනි දේ කිරීම වැදගත් වන්න තිබුණා. තව දින කිහිපයකින් කඨින පින්කම් අවසන් වුණත් එකී සත් ක්‍රියාවන් දිගට ම කරන්න පුළුවන්.



ජාතික කඳවුරෙත් විජාතික ඒජන්තයන් ඉන්නවා. ඔවුන් මහින්දට ඉතා කිට්ටුවෙන් ඉන්නවා. ඔවුන් මහින්දට වැරදි උපදෙස් දෙනවා. ඔවුන්ට මෛත්‍රිපාලත් ශ්‍රී ල නි පක්‍ෂයත් සමග බද්ධ වෛරයක් තියෙනවා. ඔවුන් බලන් ඉන්නෙ ආණ්ඩුවට 113 නැති වෙනකන්. ඔවුන් දන්නෙ නැහැ 113 ප්‍රශ්නයක් නොවන බව. ඔවුන්ටත් ජාතිකත්වයක් නැහැ. රනිල් නැත්නම් ඔවුන් එ ජා පක්‍ෂයට ගිහින් හුඟක් කල්.   



මෛත්‍රිපාල රනිල්ට අගමැති කම නොදී ඉන්න තීරණය කරලා තියෙන්නෙ රනිල් ගැන දන්න නිසා වෙන්න ඕන. ඔහුට ජනතාව සමග මුසු වෙන්න බැරි ඔහු මෙරට සංස්කෘතියේ නැති නිසයි. ඔහු සංස්කෘතියෙන් බටහිරයකු නිසයි. කුසුමාසනදේවි ටෙලි නාට්‍යයෙ දොන් ජුවන් ධර්මපාල පෙනෙන කොට මතක් වෙන්නේ කාවද? රනිල් හා රට ගැන හිතන විට අපට සිහිවන්නේ යා දෙක නොරත රත සමග පෑහීමක් නැත යන්නයි. රනිල් අවුරුදු හතරකට ආසන්න කාලයක් මෙරටට කර ඇති හදිය නොතේරෙන අය ඇත්තේ එ ජා පක්‍ෂයේටත් වඩා ජ වි පෙරමුණේ.